CEYPETCO සභාපති ඉල්ලා අස්වෙයි

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සහ ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තයේ සභාපති මොහොමඩ් උවයිස් සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.
ඒ අනුව ඉල්ලා අස්වීමේ ලිපිය විදුලි හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා වෙත භාරදී ඇති බවයි සඳහන් වන්නේ.
පෞද්ගලික හේතුවක් මත තමන් සිය ධුරයෙන් ඉල්ලා අස්වන බව දැනුම්දුන් බවයි X පණිවිඩයක් නිකුත් කරමින් විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා සඳහන් කරන්නේ.
අදාළ X පණිවිඩය පහතින්.

651cb85174dd9

උසස් පෙළ පැවැත්වෙන දිනය ඉදිරි දින කිහිපය තුළ ප්‍රකාශයට පත් කරනවා – අධ්‍යාපන ඇමති

උසස් පෙළ විභාගය පැවැත්වෙන දිනය ඉදිරි දින කිහිපය තුළ ප්‍රකාශයට පත් කරනු ඇති බව, අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.

ඒ අනුව විභාග කොමසාරිස්වරයා විසින් ඉදිරි දින කිහිපය තුළදී අදාළ දිනය ප්‍රකාශයට පත් කරන බවයි එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

මානව හිමිකම් කොමිසමේ වාර්තාව රජය ප්‍රතික්ෂේප කරනවා – ජනපති

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ වාර්තාව තම රජය ප්‍රතික්ෂේප කරන බව ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

DW News සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කළා.

එහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ, පාස්කු ප්‍රහාරය ඇතුළු කිසිදු කරුණක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තර පරීක්ෂණයක් සිදු නොකරන බවයි.

විදේශීය දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයින් දෙදෙනෙක් අත්අඩංගුවට

නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ විදේශීය දුම්වැටි තොගයක් සමඟ ගුවන් මගීන් දෙදෙනෙකු අද (03) අලුයම අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම දුම්වැටි තොගයේ වටිනාකම රුපියල් එක් කෝටි විසිහය ලක්ෂයක් බවයි රේගු දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඔවුන් විසින් රැගෙන ආ ගමන් මලු තුළ විදේශීය දුම්වැටි 53,200ක් අඩංගු දුම්වැටි කාටූන් 266ක් සඟවා ගෙන සිටියදී රේගු නිලධාරීන් විසින් සොයාගෙන අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුව ඒ පිළිබඳව විධිමත් රේගු පරීක්ෂණයක් පවත්වා මොවුන් විසින් රැගෙන ආ නීතිවිරෝධී දුම්වැටි සියල්ල රාජසන්තක කර ඇති අතර සැකකරුවන් දෙදෙනාට රුපියල් ලක්ෂය බැගින් රුපියල් ලක්ෂ දෙකක මුදලක් ගෙවන ලෙස ද නියෝග කර තිබෙනවා.

ලෝක අමද්‍යප දිනය අදයි

ලෝක අමද්‍යප දිනය අදට යෙදී තිබෙනවා.

ඒ වෙනුවෙන් අද දිනයේ මත්ද්‍රව්‍ය නිවාරණ වැඩ සටහන් රැසක් සංවිධානය කර ඇති බවයි සඳහන් වන්නේ.

ගොවිබිම්, පතල් සහ කර්මාන්තවල වැඩකරන සේවකයින්ගේ වැටුප මත්පැන් පානය සඳහා වියදම් කිරීම හේතුවෙන් යුරෝපා රටවල පවුල් විසින් ඉදිරිපත් කළ විරෝධතා සැලකිල්ලට ගනිමින් ලෝක අමද්‍යප දිනයක් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

අමද්‍යප දිනය හේතුවෙන් අද දිනයේ සියලුම සුරාසැල් වසා තැබෙන බවයි සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සීමා කරන පනත් දෙක සඳහාම එරෙහි විය යුතුයි – සාලිය පීරිස්

ඔන්ලයින් ආරක්ෂණ පනත සහ ත්‍රස්ත විරෝධී පනත යන පනත් කෙටුම්පත් දෙකම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම්වලට පටහැනි බව නීතිඥ සාමූහිකය පවසනවා.

මෙම පනත් හරහා රටේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ සත්‍ය දැන ගැනීමට ජනතාවට තිබෙන අයිතිය සීමාවන බවයි ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් පෙන්වා දෙන්නේ.

මෙම පනත් කෙටුම්පත් දෙක සඳහාම එරෙහිවිය යුතු බවද, මෙම පනත් කෙටුම්පත් සම්මත වුවහොත් දශක ගණනාවක් යන තෙක් එහි ඵල විපාක විඳීමට සිදුවන බවද ඔහු අවධාරණය කරනවා.

ආණ්ඩුව දන්නවා ඔවුන් ගන්න කිසිම ක්‍රියාමාර්ගයකින් රටේ ප්‍රශ්න විසඳෙන්නෙ නෑ කියලා – හරිනි අමරසූරි​ය

පවතින රජය ගන්නා කිසිදු ක්‍රියාමාර්ගයකින් රට තුළ තිබෙන ප්‍රශ්න නොවිසඳෙන බව ඔවුන් දන්නා බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරිනි අමරසූරිය පවසනවා.

ඒ හේතුවෙන් ඉදිරියේදී ජනතාවගෙන් රජයට එරෙහිව විශාල විරෝධතාවයක් එන්නට නියමිත බැවින්, මේ වන විට රජය විසින් ජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය මර්දනය කිරීම වෙනුවෙන් පනත් සකස් කරමින් සිටින්නේ ඊට සූදානම් වීමට බවද ඇය පෙන්වා දෙනවා.

ප්‍රතිත්‍රස්ත පනත සහ ඔන්ලයින් ආරක්ෂණ පනත යන පනත් දෙකම රජය විසින් ගෙන එන්නේ ඉදිරියේදී පැමිණීමට නියමිත විරෝධතාවලදී ජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය මර්දනය කිරීමට බවද ඇය වැඩිදුරටත් පෙන්වා දෙනවා.

ඉන්ධන මිල වැඩි වුනත් අඩු වුනත් අපි ගාස්තු ප්‍රකාශ කරන්නේ නැහැ – ත්‍රීරෝද රථ සංගම්

ඉන්ධන මිල ඉහළ ගියද පහළ ගියද තම සංගමය ගාස්තු ප්‍රකාශ කිරීමක් සිදු නොකරන බව සමස්ත ලංකා ත්‍රීරෝද රථ රියදුරන්ගේ වෘත්තීය සමිතිය පවසනවා.

ඒ අනුව එහි සභාපති ලලිත් ධර්මසේකර සඳහන් කළේ, මෙලෙස මාසයෙන් මාසය ඉන්ධන මිල සංශෝධනය කිරීමේදී ත්‍රීරෝද රථ ගාස්තු ප්‍රකාශ කිරීම මගියාට සහ ත්‍රීරෝද රථ රියදුරටන්ටද ගැටලුවක්වී ඇති බවයි.

පාසල් වෑන් රථ ප්‍රවාහන ගාස්තු සංශෝධනය නොකිරීමට තීරණය කරයි

ඉන්ධන මිල සංශෝධනයත් සමඟ පාසල් වෑන් රථ ප්‍රවාහන ගාස්තු සංශෝධනයක් සිදු නොකිරීමට තීරණය කළ බව අන්තර් දිස්ත්‍රික් පාසල් ළමුන් ප්‍රවාහන සේවා සංගමය පවසනවා.

ඒ අනුව එහි සභාපති එන්.එම් හරිස්චන්ද්‍ර සඳහන් කළේ, දරුවන්ගේ දෙමව්පියන්ටද දීමනා වැඩිවීමක් හෝ පඩි වැඩිවීමක් සිදුවී නොමැති බැවින් ඔවුන්ද අපහසුතාවට පත්වීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි.

බස් ගාස්තු අවම වශයෙන් 5% කින් වැඩි කළ යුතුයි – බස් සංගම්

ඉන්ධන මිල සංශෝධනයත් සමඟ අවම වශයෙන් 5% ක බස් ගාස්තු වැඩිවීමක් සිදුවිය යුතු බව සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා.

ඒ අනුව එහි ප්‍රධාන ලේකම් අංජන ප්‍රියංජිත් සඳහන් කරන්නේ ගියවර ගාස්තු සංශෝධනයේදී අවම බස් ගාස්තුව සංශෝධනයක් සිදු නොවූ බවත් මෙවර අවම බස් ගාස්තුවද සංශෝධනය විය යුතු බවයි.

ඩීසල් වැඩිවීම නිසා කෙටි දුර ධාවන බස් රථයක් දිනකට රුපියල් 1000 ක් සහ දුර ගමන් සේවා බස් රථද දිනකට රුපියල් 2000 ත් 2500 ත් අතර පාඩුවක් ලැබීමට සිදුව ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න සඳහන් කරන්නේ රුපියල් 10 කින් ඩීසල් වැඩිවීම මත බස් ගාස්තු සංශෝධනයකට යාමට නොහැකි බවයි.