ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙල ගැන විදුලි අධිකාරිවරුන්ගේ සංගමයේ නිළධාරීන් සමඟ සාකච්ඡාවක්

විදුලිබල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙල පිළිබඳව විදුලි අධිකාරිවරුන්ගේ සංගමයේ නිළධාරීන් සහ අමාත්‍ය කංචන විජේසේකර අතර ඊයේ (19) සවස සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

ඒ අනුව යෝජිත ක්‍රියාවලිය වෙනුවෙන් ඔවුන්ගේ යෝජනා ඉදිරිපත් කරන ලද බවයි විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය සඳහන් කළේ.

එමෙන්ම එම ක්‍රියාවලිය විනිවිදභාවයෙන් සිදු කල යුතු බවත්, සේවකයන් පිළිබඳව කටයුතු කිරීමේදී සැලකිය යුතු කරුණු පිළිබඳවත් ඔවුන් යෝජනා ඉදිරිපත් කර තිබෙනවා.

දෙමුහුන් සූර්යග්‍රහණයක් අද

අද (20) දින සූර්යග්‍රහණයක් සිදුවන අතර එය දෙමුහුන් සූර්යග්‍රහණයක් ලෙස හඳුන්වනු ලබන බව කොළඹ විශ්වවිද්‍යාලයයේ තාරකා විද්‍යා සහ අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්‍ෂ මහාචාර්ය චන්දන ජයරත්න පවසනවා.

එකම සූර්යග්‍රහණය තුළ එය පූර්ණ සූර්යග්‍රහණයක සිට වළයාකාර සූර්යග්‍රහණයක් දක්වා මාරුවීම එයට හේතුව බවයි ඔහු සඳහන් කළේ.

ශ්‍රී ලංකා සම්මත වේලාවට අනුව මෙම සූර්යග්‍රහණය, අද පෙරවරු 7.04 ට ඉන්දියන් සාගරයෙන් ආරම්භ වී දහවල් 12.29 ට පැසිෆික් සාගරයෙන් අවසන් වීමට නියමිතයි.

කෙසේ වෙතත්, අවාසනාවන්ත ලෙස මෙම ස්ථාන දෙක ද සාගරයේ මැද පිහිටා ඇති බැවින් එම සූර්යග්‍රහණය ශ්‍රී ලංකාවට මෙන්ම ලෝකයේ බොහෝ රටවලටද දෘෂ්‍යමාන නොවන බවයි සඳහන් වන්නේ.

අධ්‍යාපන ක්ෂේත්‍රය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කිරීම අනුමත කරන්නේ නැහැ – විශ්වවිද්‍යාල ආචාර්යවරුන්

අධ්‍යාපන ක්ෂේත්‍රයේ පවතින වෘත්තිමය ගැටලු මඟහැර යෑමේ උපක්‍රමයක් ලෙස එය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කිරීම අනුමත නොකරන බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසනවා.

ඒ අනුව අධ්‍යාපන ක්ෂේත්‍රයේ පවතින ගැටලු විසඳීම සඳහා බලධාරීන් සාධනීය ලෙස කටයුතු කිරීම වැදගත් බවයි එහි සභාපති මහාචාර්ය ශ්‍යාම් බන්නැහැක සඳහන් කළේ.

යම්කිසි සේවාවක් අත්‍යවශ්‍ය සේවාවක් විය යුත්තේ, ඒ සේවාවේ තිබෙන වැදගත්කම සහ ඒ සේවාව හරහා රටේ ජනතාවට ලබාදිය හැකි සේවය පිළිබඳව සලකා බලා බවයි ඔහු සඳහන් කළේ.

විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ විධායක කමිටුව ඉදිරි දින කිහිපය තුළ රැස්වී උපරිම දෙයක් සිදුකිරීමට සූදානමින් සිටින බවයි මහාචාර්ය ශ්‍යාම් බන්නැහැක වැඩිදුරටත් සඳහන් කළේ.

ආයතන කිහිපයක් ලබන සතියේ කෝප් කමිටුව හමුවට

ශ්‍රීලංකන් ගුවන් සමාගම, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඇතුළු ආයතන කිහිපයක් එළඹෙන පාර්ලිමේන්තු සතියේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව හමුවට කැඳවීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව ලබන 25 වනදා ‘අපනයන ණය රක්ෂණ සංස්ථාව’ කෝප් කමිටුව හමුවට කැඳවා ඇති අතර ලබන 26 වනදා ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව කැඳවා ඇති බවයි සඳහන් වන්නේ.

එසේම ශ්‍රීලංකන් ගුවන් සමාගම ලබන 27 වනදා කෝප් කමිටුව හමුවට කැඳවා ඇති අතර ලබන 28 වනදා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව කැඳවා තිබෙනවා.

වෘත්තීය පුහුණු අධිකාරිය මැයි මස 9 වනදා කාරක සභාව හමුවට කැඳවීමට නියමිත අතර 2023.03.23 වනදා පැවති කෝප් කමිටු රැස්වීමේදී ලබාදුන් නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය මෙහිදී විමර්ශනය කිරීමට නියමිතයි.

අදත් ප්‍රදේශ කිහිපයක උෂ්ණත්වය සෙල්සියස් අංශක 39-45 අතර මට්ටමක

දිවයිනේ ප්‍රදේශ කිහිපයක උෂ්ණත්වය අද (20) දිනයේ ද අවධානය යොමුකළ යුතු මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව උතුරු, උතුරු මැද, නැගෙනහිර හා වයඹ පළාත්වල මෙන්ම හම්බන්තොට සහ මොණරාගල දිස්ත්‍රික්කවලට මෙලෙස උෂ්ණත්වය සෙල්සියස් අංශක 39-45 අතර මට්ටමක පවතින බවයි සඳහන් වන්නේ.

ඒ අනුව එම ප්‍රදේශවල ජනතාව ප්‍රමාණවත් ලෙස ජලය පානය කිරීම වැනි සෞඛ්‍ය අංශවලින් ලබාදී ඇති උපදෙස් අනුව කටයුතු කරන ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

රිලවුන් චීනයට යැවීම ගැන චීන තානාපති කාර්යාලයෙන් නිවේදනයක්

රිලවුන් 100,000 ක් චීනය වෙත ලබාදෙන ලෙස ඉල්ලීමක් කර ඇති බවට පලවන මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් මෙරට චීන තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව වන සතුන් සහ ශාක ආනයනය සහ අපනයනය අධීක්‍ෂණය කරන සහ කළමනාකරණය කරන ප්‍රධාන රජයේ දෙපාර්තමේන්තුව වන චීන ජාතික වන විද්‍යා සහ තණබිම් පරිපාලනය සඳහන් කර ඇත්තේ තමන් එවැනි ඉල්ලීමක් සම්බන්ධයෙන් නොදන්නා බවයි.

වඳවීමේ තර්ජනයට ලක්ව ඇති වන සත්ත්ව හා වෘක්ෂලතා විශේෂවල (CITES) ජාත්‍යන්තර වෙළඳාම පිළිබඳ සම්මුතියේ කොටස්කරුවෙකු ලෙස චීනය 1988 දී දැනටමත් සංශෝධන කිහිපයක් සමඟ වනජීවී ආරක්ෂණ නීතිය සම්මත කර ඇති බවයි චීන තානාපති කාර්යාලය පෙන්වා දෙන්නේ.

චීන රජය සෑම විටම වනජීවී ආරක්ෂාව සඳහා විශාල වැදගත්කමක් ලබා දෙන අතර ජාත්‍යන්තර වගකීම් සක්‍රීයව ඉටුකරන බවයි චීන තානාපති කාර්යාලය Twitter පණිවිඩයක් නිකුත් කරමින් වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ.

aefceaec18ff6033329cc3ba9fb74840

ප්‍රතිව්‍යුහගත කිරීමේ මාර්ග සිතියම ගැන සියලු පාර්ශව දැනුවත් කිරීමට පියවර

කැබිනට් අනුමැතිය හිමිවූ විදුලිබල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගත කීරීමේ මාර්ග සිතියම සහ යෝජිත කාල රාමුව සම්බන්ධයෙන් සියලුම පාර්ශව දැනුවත් කිරීමට අමාත්‍යවරයා හා ප්‍රතිව්‍යුහගත කිරීමේ කමිටුව පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව අද උදෑසන විදුලිබල මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ විදුලි ඉංජිනේරුවන්ගේ සංගමය, අමාත්‍යවරයා සහ කමිටුව අතර සාකච්ඡාවක් පවත්වා ඇති බවයි එම අමාත්‍යංශය සඳහන් කළේ.

එහිදී මෙම යෝජිත ක්‍රියාවලිය වෙනුවෙන් ඔවුන්ගේ සම්පුර්ණ සහය ලබාදීමට කටයුතු කරන බව ජ්‍යෙෂ්ඨ විදුලි ඉංජිනේරුවන්ගේ සංගමය පවසා ඇති බවයි සඳහන් වන්නේ.

පවතින ගැටලු සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සමඟ සාකච්ඡා කළ යුතුයි – ජෝසප් ස්ටාලින්

පවතින ගැටලු සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සමඟ සාකච්ඡා කළ යුතු බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් පවසනවා.

එකිනෙකාට චෝදනා කරමින් කුමන්ත්‍රණ කරමින් පිළිතුරු පත්‍ර ඇගයීම තවත් කල් යාම තුළින් සිදුවන්නේ දරුවන්ට අසාධාරණයක් බවයි ඔහු සඳහන් කරන්නේ.

ඒ අනුව විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සමඟ සාකච්ඡා කර විසඳුමකට පැමිණිය යුතු බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ.

පැළ සිටුවීමේ නැකත හෙට

2023 සිංහල හා දෙමළ අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර අතර අවසන් නැකත වන පැළ සිටුවීමේ නැකත හෙට දිනට (20) යෙදී ඇති බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසනවා.

ඒ අනුව හෙට දිනයේ පෙරවරු 6.38ට යෙදෙන පැළ සිටුවීමේ නැකත තුළ ඵලයක් දෙන බහු වාර්ෂික බෝග පැළයක් රෝපණය කරන ලෙස කෘෂිකර්ම අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

“නැකතට පැළයක් – ඵලයක් දෙන පැළයක් සිටුවමු” තේමාව යටතේ මෙවර පැළ සිටුවීමේ නැකත සැමරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් සියලු කටයුතු සූදානම් කර ඇති බවයි එම අමාත්‍යංශය සඳහන් කළේ.

මෙහි ප්‍රධාන උත්සවය හෙට දින (20) පෙරවරු 6.38ට අඟුණකොළපැලැස්ස ගොවිජන සේවා මධ්‍යස්ථානයේ දී කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීරගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතයි.

ජාතික ඉෆ්තාර් උත්සවය ජනපති හා අගමැති ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ දී

ඉස්ලාම් බැතිමතුන්ගේ රාමසාන් උපවාස මාසය නිමිත්තෙන් පවත්වනු ලබන ජාතික ඉෆ්තාර් උත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් ඊයේ (18) පස්වරුවේ අරලියගහ මන්දිරයේදී පවත්වා තිබෙනවා.

ජාතික සමගිය ඇති කිරීම වෙනුවෙන් ඉස්ලාම් බැතිමතුන් පසුගිය දශක ගණනාවක සිට සක්‍රිය දායකත්වයක් ලබා දී ඇති බවයි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මෙහිදී සඳහන් කළේ.

එය අනාගතය සඳහාත් ගෙන යමින් සමෘද්ධිමත් ශ්‍රී ලංකාවක් ගොඩනැගීමට දායක වන ලෙසත් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මෙහිදී ඉස්ලාම් බැතිමතුන්ගෙන් ඉල්ලා තිබෙනවා.