උසස් පෙළ දෙමළ මාධ්‍ය පිළිතුරු පත්‍ර ඇගයීම ඇරඹේ

උසස් පෙළ දෙමළ මාධ්‍යය පිළිතුරු පත්‍ර ඇගයීමේ මූලික කටයුතු අද (21) ආරම්භ කළ බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව විෂයයන් කිහිපයකට අදාළව පාලක පිළිතුරු පත්‍ර සළකුණු පටිපාටිය සම්මත කර ගැනීමේ ක්‍රියාවලිය මේ වන විට සිදු වෙමින් පවතින බවයි සඳහන් වන්නේ. විභාග කොමසාරිස් ජනරාල් එච්.ජේ.එම්.සී. අමිත් ජයසුන්දර සඳහන් කර සිටියේ හින්දු ධර්මය, ක්‍රිස්තියානි ධර්මය, හින්දු ශිෂ්ටාචාරය, භරත නැටුම්, පෙරදිග සංගීතය, කර්නාටක සංගීතය, බටහිර සංගීතය, චිත්‍ර, නාට්‍ය හා රංග කලාව සහ හින්දි යන විෂයයන්ට අදාළව එම කටයුතු ආරම්භ කර ඇති බවයි. යාපනය, කොළඹ, මඩකලපුව, ගම්පහ, කලුතර සහ කුරණෑගල යන නගර ආශ්‍රිත පිළිතුරු පත්‍ර ඇගයීම් මධ්‍යස්ථානවල දී එම කටයුතු සිදු කෙරෙන බවත් විභාග කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේ. මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

88421251fe6ef116f8542698a0ea8cfe

යුරෝපා සංගමයෙන් යූරියා පොහොර කෘෂිකර්ම අමාත්‍යාංශය​ට ලබාදීම හෙට

යුරෝපා සංගමය හා එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය විසින් මෙවර යල කන්නයේ දී ගොවි ජනතාවට යුරියා පොහොර සහනාධාරයක් ලබාදෙන බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසනවා.

රුපියල් මිලියන 15,000 ක යුරියා පොහොර හා කෘෂි උකරණ කට්ටල රැසක් කෘෂිකර්ම අමාත්‍යාංශයට නිල වශයෙන් භාරදීම හෙට (22) දින සිදු කරන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

පොළොන්නරුව, හම්බන්තොට, බදුල්ල, අම්පාර, මාතලේ, පුත්තලම හා කුරුණෑගල ඇතුලු දිස්ත්‍රික්ක 07ක හෙක්ටෙයාර් බාගයකට වඩා අඩු ඉඩම් ප්‍රමාණයක වී වගා කරන ගොවි පවුල් 71,000කට නොමිලයේ කිලෝ ග්‍රෑම් 50ක යුරියා පොහොර මිටියක් බැගින් ලබාදීම ද සිදු කිරීමට නියමිතයි.

එසේම රටේ උසස් තත්ත්වයේ බීජ, වී සැකසීමේ නව තාක්ෂණික ක්‍රම හා ඒවාට අවශ්‍ය උපාංග ලබා දීම ද සිදු කිරීමට නියමිත බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.

විදුලිබල ඇමති හා වෘත්තීය සමිති අතර හමුවක්

ලංකා විදුලිබල බණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරිමේ වැඩපිළිවෙල සම්බන්ධයෙන් විදුලි වෘත්තීය සමිති නියෝජිතයින් දැනුවත් කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා.

ඒ අනුව අමාත්‍ය කංචන විජේසේකර විසින් සියලු වෘත්තීය සමිති කැඳවා අදාළ ක්‍රියාවලිය සම්බන්ධයෙන් නිශ්චිත පැහැදිලි කිරිමක් සිදුකළ බවයි සඳහන් වන්නේ.

විදුලිබල ක්ෂේත්‍රයට සම්බන්ධ වෘත්තීය සමිති 31 ක නියෝජිතයින් මෙම සාකච්ඡාව සඳහා සහභාගි වී ඇති අතර ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සඳහා ඔවුන් විසින් ද මෙහිදී යෝජනා ඉදිරිපත් කර තිබෙනවා.

ප්‍රතිසංස්කරණ ව්‍යුහය සකස් කිරීමට අදාළ ඉදිරි කටයුතු වලදී එම යෝජනා සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමට සූදානම් බවයි එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

පාස්කු ඉරිදා ඛේදවාචකය​ට අද​ට වසර හතරයි

2019 වසරේ අප්‍රේල් 21 වෙනිදාට යෙදුණු පාස්කු ඉරුදිනයේ කුරිරු ත්‍රස්ත ප්‍රහාරය එල්ල වී අදට වසර හතරක් ගතවනවා.

කතෝලික දේවස්ථාන 03 කට හා කොළඹ ප්‍රධාන පෙලේ හෝටල් 03ක් ඇතුළු ස්ථාන 08ක් ඉලක්ක කර ගනිමින් ත‍්‍රස්තවාදීන් විසින් මෙම මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාව එල්ල කර තිබුණා.

එදිනම දෙමටගොඩ පිහිටි නිවාස සංකීර්ණයක සහ දෙහිවල ලැගුම්හලකද කුඩා පිපිරීම් සිදුවුණා. මෙම සියලු පිපිරීම්වලින් පුද්ගලයන් 269 දෙනෙක් පමණ මියගිය අතර විදේශිකයන් 45 දෙනෙක් සහ පොලිස් නිලධාරීන්ද ඇතුළුව අවම වශයෙන් 500 ක් පමණ මෙම සිදුවීමෙන් තුවාල ලැබුවා.

ප්‍රහාරය සිදුවී වසර හතරක් ගතවන අද දිනයේදී දිවයින පුරා කතෝලික පල්ලි ඇතුලු විවිධ ස්ථාන වලදී මියගිය අය සිහිපත් කිරීම සඳහා විවිධ වැඩසටහන් සංවිධානය කර තිබෙනවා.

පාස්කු වින්දිතයින්ට යුක්තිය ඉල්ලා පා ගමනක් පවත්වයි

කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේ සිට කොච්චිකඩේ ශාන්ත අන්තෝනි සිද්ධස්ථානය දක්වා පාගමනක් ඊයේ (20) රාත්‍රියේ ආරම්භ කර තිබෙනවා.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට සිව් වසරක් සපිරීම නිමිත්තෙන් මෙම පාගමන පැවැත්වූ බවයි සඳහන් වන්නේ.

මේ අතර පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ සිව්වන වර්ෂ පූර්ණය අද (21) දිනයේ, ප්‍රහාරයෙන් මියගිය තැනැත්තන් සිහිකරමින් වින්දිතයින්ට යුක්තිය ඉල්ලා සිටිමින් කොච්චිකඩේ ශාන්ත අන්තෝනි සිද්ධස්ථානයේ සිට කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානය දක්වා ජන පවුරක් නිර්මාණය කිරීමට නියමිතව තිබෙනවා.

අදත් ප්‍රදේශ කිහිපයක සිරුරට දැනෙන උෂ්ණත්වය සෙල්සියස් අංශක 39-45 අතර මට්ටමක

දිවයිනේ ප්‍රදේශ කිහිපයක උෂ්ණත්වය අද (21) දිනයේ ද අවධානය යොමුකළ යුතු මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව උතුරු, උතුරු මැද, නැගෙනහිර හා වයඹ සහ බස්නාහිර පළාත්වල මෙන්ම හම්බන්තොට සහ මොණරාගල දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මෙලෙස මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය සෙල්සියස් අංශක 39-45 අතර මට්ටමක පවතින බවයි සඳහන් වන්නේ.

එම ප්‍රදේශවල ජනතාව ප්‍රමාණවත් ලෙස ජලය පානය කිරීම වැනි සෞඛ්‍ය අංශවලින් ලබාදී ඇති උපදෙස් අනුව කටයුතු කරන ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

අදාළ නිවේදනය පහතින්,

18a7aa775eae01093698456eaf964b02

3e793420ffd1c3e905eb0448c882828e

අමෙරිකානු තානාපතිනිය හා අධිකරණ ඇමති අතර හමුවක්

ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනි ජූලි චන්ග් සහ අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ අතර හමුවක් අද (20) කොළඹ දී පවත්වා තිබෙනවා.

ජාත්‍යන්තර එකඟතා වලට අනුකූල නොවන ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පතේ කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවත් එම පනත් කෙටුම්පතේ කරුණු සම්බන්ධයෙන් ජනතාව අතර සහ පාර්ලිමේන්තුව තුළ පුළුල් අදහස් හුවමාරුවක් අවශ්‍ය බවත් ඇය පෙන්වා දෙනවා.

එසේම අදහස් ප්‍රකාශ කිරීමේ හෝ රැස්වීමේ නිදහස සීමා නොකර ත්‍රස්තවාදයට එරෙහිව සටන් කිරීම සඳහා ඵලදායි මෙවලමක් ලෙස නීති සම්පාදනය ක්‍රියා කරන බව සහතික කිරීම සඳහා සිවිල් සමාජය, ශාස්ත්‍රාලිකයින් සහ නීති සම්පාදකයින් ඇතුළු සියලුම දෙනාගේ අදහස් සලකා බැලීම වැදගත් බවයි ඇය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ Twitter පණිවිඩය පහතින්.

a21fb9f6c46798d120ec6390c0f742ee

91a035415a3958fc0929173bdd0f034d

හිටපු ජනපති නිල නිවසේ ඉෆ්තාර් උත්සවයක්

ඉස්ලාම් ආගමික ඉෆ්තාර් උත්සව අවස්ථාවක් ඊයේ (19) හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පවත්වා තිබෙනවා.

මෙම අවස්ථාවට ඉස්ලාම් ආගමික නායකයින්, අමාත්‍යවරුන්, තානාපතිවරුන් ඇතුළු පිරිසක් සහභාගී වූ බවයි සදහන් වන්නේ.

6 ශ්‍රේණිය සඳහා පාසල්වලට ඇතුළත් වීමේ අභියාචනා අයදුම්පත් Online ක්‍රමයට

2022 වර්ෂයේ පැවැත්වූ 05 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව පරීක්ෂණයේ ප්‍රතිඵල මත 2023 වර්ෂයේ 06 ශ්‍රේණිය සඳහා පාසල්වලට ඇතුළත් වීමේ අභියාචනා ඉදිරිපත් කිරීම Online ක්‍රමයට සිදුකිරීම සඳහා අයදුම්පත් කැඳවා ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.

අද (20) දින දහවල් 12.00 සිට මැයි මස 08 දින රාත්‍රී 12.00 දක්වා මේ සඳහා කාලය ලබාදී ඇති බවයි සඳහන් වන්නේ.

https://g6application.moe.gov.lk/#/ යන ‍වෙබ් සබැඳිය වෙත පිවිසීමෙන් මාර්ගගත අභියාචනා අයදුම්පත් ඉදිරිපත් කිරීමට හැකියාව පවතින අතර පාසල් ඉල්ලුම් කිරීමට අදාළ පාසල් සංගණන අංක (Census No.) සහිත ලේඛනය www.moe.gov.lk වෙබ් අඩවියට පිවිසීම මඟින් ලබාගත හැකි බවයි අධ්‍යාපන අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළේ.

ජාතික ගමනාගමන කොමිෂන් සභාව පුර්ණ ඩිජිටල්කරණය කිරීම ආරම්භ කරයි

ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ දත්ත පද්ධති ක්‍රියාවලිය ස්වයංක්‍රීයකරණය කිරීමේ ව්‍යාපෘතිය නිල වශයෙන් දියත් කිරීම ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් සිදුකර තිබෙනවා.

මෙම ව්‍යාපෘතිය යටතේ ජාතික ගමනාගමන කොමිෂන් සභාව තුල සිදුවන සේවාව ස්වයංක්‍රීය පරිගණක වැඩසටහනක්‌ හරහා ක්‍රියාත්මක වන අතර කිසිඳු බාහිර බලපෑමකින් තොරව පද්ධතිය ක්‍රියාත්මක වන බවයි සඳහන් වන්නේ.

පැය 24 පුරාම ක්‍රියාත්මක වන පාලක මැදිරිය හරහා අඛණ්ඩව රැස් කෙරෙන දත්ත විශ්ලේෂණය කිරීම තුළින් ආයතනික කාර්යයන් සඳහා මෙන්ම ඉදිරියේදී ආරක්ෂක අංශය සහ නීතිමය කටයුතු ඇතුලු අනෙකුත් අංශ සඳහාත් විශාල ප්‍රයෝජනයක් වන බවයි සඳහන් වන්නේ.