සුඩානයෙන් ගලවාගත් ලාංකිකයන් පිරිසක් දිවයිනට පැමිණෙයි

අර්බුදකාරී වතාවරණයක් නිර්මාණය වී ඇති සුඩානයෙන් ගලවාගත් ශ්‍රී ලාංකිකයන් පිරිසක් ඊයේ (29) රාත්‍රීයේ දිවයිනට පැමිණ තිබෙනවා.

මෙලෙස පැමිණ තිබුණු පිරිස 14ක් බවයි වාර්තා වන්නේ.

ඊයේ (29) දිනයේ ද සූඩානයෙන් මුදාගත් ශ්‍රී ලාංකිකයන් පිරිසක් සෞදි අරාබියේ ජෙඩා නුවර වෙත රැගෙන ආ බව වාර්තා වනවා.

ඊයේ දිනයේ දී කොරෝනා ආසාදිතයින් 05 දෙනෙකු වාර්තා වෙයි

ඊයේ (29) දිනයේ දී නව කොවිඩ්-19 ආසාදිතයින් 05 වාර්තා වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා.

13ae962b8cffbfb6e960d10e5100249c

2021 වසරේ අප්‍රේල් මාසයෙන් පසුව ඉහළම විදේශ ප්‍රේෂණ ප්‍රමාණය වාර්තා වෙයි

2021 අප්‍රේල් මාසයේ සිට ඉහළම අගය වාර්තා කරමින්, 2022 වසරේ මාර්තු මාසයේ දී ලැබුණු ඇ.ඩො මිලියන 318 ට සාපේක්ෂව 2023 වසරේ මාර්තු මාසයේ දී විදේශ සේවා නියුක්තියකයන්ගෙන් ලැබුණු විදේශ ප්‍රමාණය ඇ.ඩො මිලියන 568ක් දක්වා ඉහළ ‍ගොස් ඇති බව මහ බැංකුව පවසනවා.

එමෙන්ම විදේශ රැකියාවන් සඳහා මාර්තු මාසයේ දී මෙරටින් පුද්ගලයින් 24,176ක් පිටත්ව ගොස් ඇති බවත් ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාවල වැඩිදුරටත් සඳහන් වනවා.

මාර්තු මාසයේ කාර්මික භාණ්ඩ අපනයන ආදායම පහත වැටිලා – ශ්‍රී ලංකා මහ බැංකුව

ඇඟලුම් අපනයන ආදායම් සැලැකිය යුතු මට්ටමකින් පහළ යාමත් සමඟ 2023 වසරේ මාර්තු මාසයේ දී කාර්මික භාණ්ඩ අපනයන ආදායම 2022 වසරේ මාර්තු මාසයට සාපේක්ෂව පහත වැටී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකු පවසනවා.

ඒ අනුව ඇඟලුම් අපනයනය කරන ප්‍රධාන වෙළෙඳපොළ වන අමෙරිකා එක්සත් ජනපදය, යුරෝපා සංගමය සහ එක්සත් රාජධානිය වැනි රටවලට සිදුකළ ඇඟලුම් අපනයන පහත වැටී ඇති බවයි වාර්තා වන්නේ.

නැව් සඳහා යොදාගන්නා ඉන්ධන අපනයන මිල ගණන්වල සාමාන්‍යය පහළ යෑම හේතුවෙන් ඛනිජ තෙල් නිෂ්පාදිත අපනයන ආදායමද පහළ ගොස් ඇති අතර, කෙසේ වෙතත් 2023 වසරේ මාර්තු මාසයේ දී යන්ත්‍රෝපකරණ සහ යාන්ත්‍රික උපකරණ, මැණික්, දියමන්ති, ස්වර්ණාභරණ සහ රබර් නිෂ්පාදිත ආදායම ඉහළ ගොස් තිබෙනවා.

දිස්ත්‍රික් 03ක් සඳහා පූර්ව නාය යෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කරයි

මහනුවර දිස්ත්‍රික්කයේ උඩපලාත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය, බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුමුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට සහ කෑගල්ල දිස්ත්‍රික්කයේ කෑගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය සඳහා නායයෑමේ පූර්ව අනතුරු නිකුත් කොට තිබෙනවා.

ඊයේ (29) පස්වරු 4.00 සිට අද (30) පස්වරු 04:00 දක්වා බලපැවැත්වෙන පරිදි මෙම අනතුරු ඇඟවීම් ‍නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ක‍ටයුතු කොට තිබුණා.

සුඩානයේ සිටි තවත් ශ්‍රී ලාංකිකයන් පිරිසක් සෞදි අරාබිය වෙත ගෙන එයි

අර්බුදකාරී තත්ත්වයක් ඇතිව තිබෙන සුඩානයේ සිටි තවත් ශ්‍රී ලාංකිකයන් 06 දෙනෙකු සෞදි අරාබියේ ජෙඩා නුවර වෙත රැගෙනවිත් ඇති තිබෙනවා.

අදාළ පිරිස ජෙඩාහි ශ්‍රී ලංකා වැඩ බලන කොන්සල් ජනරල් විසින් භාරගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මීට පෙරද තවත් ශ්‍රී ලාංකිකයන් 13 දෙනෙකු ජෙඩා නුවර වෙත ගෙන ඒමට කටයුතු කර තිබුණා.

IMF මගින් ණය ලබා ගැනීම වරදක් නෑ, මමත් සහාය ලබාගත්තා – මෛත්‍රීපාල සිරිසේන

වත්මන් ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හරහා මුදල් ලබා ගැනීම පිළිබඳ කිසිදු වරදක් නොමැති බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.

තමා ජනාධිපති ධූරය දරන සමයේ ආණ්ඩුව පවත්වාගෙන යාමටද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලබා ගත් බවත්, මීට වසර 45කට පෙරද රොනීද මැල් මුදල් ඇමතිවරයාගේ කාලයේදී පවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මුදල් ලබා ගෙන ඇති බවයි හිටපු ජනාධිපතිවරයා පවසා සිටියේ.

නමුත් මෙලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලබා ගන්නා මුදල් වංචාවෙන්, දූෂණයෙන් තොරව ආයෝජනය කළ යුතු බව පෙන්වා දෙන ඔහු වැඩිදුරටත් පවසා සිටියේ මීට වසර 20ක් 25ක් තිස්සේ සිදුවී ඇත්තේ මෙලෙස ලබා ගන්නා විදේශ ණය, ප්‍රදාන සහ දේශීය ණය මුදල් පවුල්වාදය තුළ සොරකම් කිරීම බවත්, ඒ හේතුවෙන් අද ඇතිවී තිබෙන දුගීභාවය ඇතුළු ප්‍රශ්න රාශියක් පැන නැගීමට එය හේතුවී ඇති බවයි.

IMF යෝජනා පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත වෙයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාව සඳහා නම් සකස් කරන ලද ගිවිසුම ක්‍රියාත්මක කිරීම සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබාගැනීම සඳහා වූ යෝජනාව වැඩි ඡන්දයෙන් ඊයේ (28) දිනයේ සම්මත වුණා. එහිදී යෝජනාව සඳහා පක්ෂ ඡන්ද 120ක් හිමිව තිබූ අතර විපක්ෂව හිමිව තිබුණේ ඡන්ද 25ක් පමණයි. ඒ අනුව වැඩි ඡන්ද 95කින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුම ක්‍රියාත්මක කිරීමට අනුමැතිය හිමිව තිබුණා.

මෙවර ජාතික වෙසක් උත්සවය හලාවත දී

ජාතික වෙසක් දින සැමරුම් උත්සවය හලාවත කැබැල්ලෑවල ශ්‍රී රතනසිරි පිරිවෙන් විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට නියමිතව තිබෙනවා.

මෙවර වෙසක් ‍සතිය මැයි 02 වනදා සිට 08 වනදා දක්වා යෙදී තිබෙනවා.

එම වෙසක් සතිය නිමිත්තෙන් දිවයින පුරා ආගමික වැඩසටහන් රැසක් සංවිධානය කර ඇති බවද බුද්ධ ශාසන, ආගමික කටයුතු හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශ ලේකම් සෝමරත්න විදානපතිරණ පවසා සිටියා.

කෘෂිකාර්මික සහ වතුකරයේ ගැටලු විසඳීමට කඩිනම් පියවර ගන්නා ලෙස ජනපතිගෙන් උපදෙස්

කෘෂිකාර්මික නවීකරණ සැලැස්ම ක්‍රියාත්මක කිරීමට රජය කැපවී සිටින බවත්, කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ ගැටලුවලට මෙන්ම වතුකරයේ ජනතාව මුහුණ දී ඇති ගැටලු සඳහා ද කඩිනම් විසඳුම් ලබාදිය යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

වැවිලි ප්‍රතිසංස්කරණ කමිටුවේ (PRC) සාමාජිකයන් සමඟ පසුගියදා ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකට එක් වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

ඉඩම් ගැටලුව ඇතුළු කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ මතුව ඇති ගැටලු සහ අභියෝග පිළිබඳ මෙහිදී පුළුල්ව විමසා බලා ඇති අතර, දැනට විසඳුම් ලබාදෙමින් තිබෙන මහවැලි ඉඩම් ගැටළුව පිළිබඳව ද අවධානය යොමු කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කළේ.