සාමාන්‍ය පෙළ විභාගය වෙනුවෙන් පාසල් නිවාඩුව නිවේදනය කෙරේ

ලබන මැයි මස 27 වනදා සිට ජුනි 11 දක්වා පාසල් නිවාඩුව ලබා දෙන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.

ඒ අනුව මැයි 29 වනදා සාමාන්‍ය පෙළ විභාගය ආරම්භවීම හේතුවෙන් මෙලෙස නිවාඩු ලබාදෙන බවයි අධ්‍යාපන අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

එක්ස්ප්‍රස් පර්ල් වන්දි වාර්තා ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ මෝසම සලකා බැලීමට දින නියම වෙයි

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමේ සිද්ධියට අදාළ වන්දි වාර්තා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස සමුද්‍ර දූෂණ වැළැක්වීමේ අධිකාරිය වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනු කෙරුණු මෝසමක් සලකා බැලීම සඳහා ලබන 24 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබෙනවා.

පරිසර යුක්ති කේන්ද්‍රය ඉදිරිපත් කර තිබූ එම මෝසම අද (12) ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී මෙම නියෝගය සිදුකර ඇති බවයි සඳහන් වන්නේ.

නෞකාව ගිනිගැනීම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කර වන්දි පිළිබඳව නිගමනය කිරීම සඳහා සමුද්‍ර දූෂණ වැළැක්වීමේ අධිකාරිය විසින් විද්වත් කමිටුවක් පත් කළ බවත්, අදාළ නෞකා අනතුර නිසා මෙරට පරිසරයට අමෙරිකානු ඩොලර් බිලියන හයක පමණ පාඩුවක් සිදුවී ඇති බව එම කමිටුව විසින් නිර්දේශ කර තිබෙන බවයි එහිදී පරිසර යුක්ති කේන්ද්‍රය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නේ.

එම වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙස සමුද්‍ර දූෂණ වැළැක්වීමේ අධිකාරිය වෙත නියෝගයක් නිකුත් කරන ලෙස එම මෝසම මඟින් ඉල්ලා තිබෙනවා.

ගංගා කිහිපයක ජල මට්ටම ඉහළට

අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔය සහ කැළණි, කළු, ගිං සහ නිල්වලා යන ගංගාවල ජල මට්ටම සැළකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

මේ වන තෙක් ගංවතුර අවදානමක් නොමැති වූවද පවතින වැසි තත්ත්වය හමුවේ අවධානයෙන් පසුවීම වැදගත් බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින මෝඛා චණ්ඩ සුළි කුණාටුවේ බලපෑමෙන් දිවයිනේ ප්‍රදේශ රැසකට තවදුරටත් වැසි අපේක්ෂා කරන බවයි කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

කළුතර දැරියගේ මරණය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු රිමාන්ඩ් කිරීමට නියෝග

කළුතරදී 16 හැවිරිදි දැරියක් අභිරහස් ලෙස මියයාමේ සිද්ධියට අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු එළඹෙන 26 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගතකර තිබෙනවා.

ඔහු අද (12) කළුතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදී ඇති බවයි සඳහන් වන්නේ.

පසුගියදා අත්අඩංගුවට ගත් ඔහු දින දෙකක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය අවසර ලබාදී තිබුණා.

අද සිට කොළඹ ඩෙංගු මර්දනයට විශේෂ වැඩසටහනක්

විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් අද (12) සිට සති දෙකක කාලයක් පුරා කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ ක්‍රියාවට නැංවීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව මෙම වැඩසටහන මගින් මදුරුවන් බෝ වන ස්ථාන පවත්වාගෙන යන පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවයි සඳහන් වන්නේ.

මැයි මස 26 වනදා දක්වා මෙම වැඩසටහන ක්‍රියාත්මක බවයි කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුවන් විජේමුණි සඳහන් කළේ.

ලොව පළමු ජාත්‍යන්තර පරිසර විශ්ව විද්‍යාලය ශ්‍රී ලංකාවේ ඇති කරනවා – ජනපති

ලොව පළමු ජාත්‍යන්තර පරිසර විශ්ව විද්‍යාලය ශ්‍රී ලංකාවේ ඇති කරමින් දේශගුණ විපර්යාසවලට මුහුණදීම සඳහා ලෝකයට සහාය ලබාදෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

දේශගුණික විපර්යාස අද ලෝකයටම අභියෝගයක් වුවද ඒ පිළිබඳ පර්යේෂණ සිදු කිරීමට මධ්‍යස්ථානයක් නොමැති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා රටවල් රැසක් සහභාගී කරවා ගනිමින් එම කටයුත්ත සිදු කිරීමට ශ්‍රී ලංකාව මුල පුරා ඇති බවද සඳහන් කළා.

කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති 10 වන පරිසර නියමු ජනාධිපති පදක්කම් ප්‍රදානෝත්සවය අමතමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

චීනයෙන් තවත් ගුවන් ගමන් වාර 3ක් ශ්‍රී ලංකාවට

ජුලි මාසයේ සිට සතියකට ගුවන් ගමන් වාර 03ක් ශ්‍රී ලංකාව වෙත ක්‍රියාත්මක කිරීමට එයා(ර්) චයිනා ගුවන් සමාගම තීරණය කර තිබෙනවා.

ඉදිරි මාසවලදී එම ගුවන් ගමන් වාර සංඛ්‍යාව තවත් ඉහළ යනු ඇති බවයි සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සඳහන් කළේ.

කාලීන සංවර්ධන අවශ්‍යතාවන්ට ගැළපෙන පරිදි ඉඩම් අණ පනත් සංශෝධනයට ජනපතිගෙන් උපදෙස්

කාලීන සංවර්ධන අවශ්‍යතාවයන්ට ගැළපෙන පරිදි මෙරට ඉඩම් සම්බන්ධයෙන් පවතින අණ පනත් සංශෝධනය කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ අදාළ නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා. ඒ අනුව එම කාර්යය කඩිනම් කර ගැනීම සඳහා සුදුසු කමිටුවක් පත්කර ගන්නා ලෙස ද ජනාධිපතිවරයා දැනුම්දී ඇති බවයි සඳහන් වන්නේ. ඉඩම් කළමනාකරණ ආයතනයන්හි අණ පනත්වල ප්‍රතිපාදන සංශෝධනය කිරීම හා නව රෙගුලාසි ඇතුළත් කිරීම පිළිබඳ ඉඩම් අමාත්‍යාංශය ඇතුළු අදාළ ආයතනවල නිලධාරීන් සමඟ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී මෙම උපදෙස් ලබාදී ඇති බවයි සඳහන් වන්නේ.

d79cb88f7c4300b973df542fc27c32fc

සතියක දුම්රිය වර්ජනයක් ගැන අනතුරු ඇඟවීමක්

අමාත්‍යවරයා සමඟ අඟහරුවාදා පැවැත්වෙන සාකච්ඡාවේ දී නිසි විසඳුමක් නොලැබුණහොත් සතියක වැඩ වර්ජනයක් ආරම්භ කරන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසනවා.

ඒ අනුව එම සංගමයේ සභාපති, සුමේධ සෝමරත්න සඳහන් කළේ, එළැඹෙන අඟහරුවාදා දින අමාත්‍යවරයා සමග සාකච්ඡාවක් ලබාදී ඇති බවයි.

එම සාකච්ඡාවේදී සාධනීය පිළිතුරක් ලබා දේවියැයි අපේක්ෂා කරන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය වැඩිදුරටත් සඳහන් කළා.

ආසියාවේ සමගියට බාධා වන කිසිදු කාර්යයක් සඳහා ශ්‍රී ලංකාව අනුබල ලබා දෙන්නේ නෑ – ජනපති

ආසියාවේ සමගියට බාධා වන කිසිදු කාර්යයක් සඳහා ශ්‍රී ලංකාව අනුබල ලබා නොදෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ආසියානු භූ දේශපාලනය සහ පැසිපික් කලාපයේ දේශපාලනය අතර බොහෝ වෙනස්කම් තිබෙන බවත්, එම වෙනස්කම් හඳුනා ගනිමින් සාමය හා ස්ථාවරත්වය රැක ගැනීමට කටයුතු කළ යුතු බවයි ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ.

ඉදිරි දශක දෙක තුළදී ශ්‍රී ලංකාව ශක්තිමත් ආර්ථිකයක් ඇති රටක් ලෙස ඉදිරියට ගෙන යාමට නම් නොබැඳි ප්‍රතිපත්තිය, පංචශීලය හා ආසියානු ප්‍රතිපත්තිය ප්‍රයෝජනයට ගත යුතු බවයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කළේ.

ආසියාවේ ඉදිකළ ප්‍රථම සම්මන්ත්‍රණ ශාලාව වන කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව ඉදිකර වසර 50 ක් සපිරීම නිමිත්තෙන් ඊයේ (10) පස්වරුවේ පැවති උත්සවයට සහභාගී වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

29b39387ef422d5502fe2bcd461bbce5

ddd5b7f7e98fd8c9b5be93001bc9d5cf