ලබන මාසයේ සිට ඉන්ධන සලාකය ඉහළ දමනවා – කංචන විජේසේකර

එළඹෙන මාසයේ ඉන්ධන මිල සංශෝධනයත් සමඟ දැනට ලබාදී ඇති ඉන්ධන සලාකය ඉහළ දැමීමට තීරණය කළ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මූල්‍ය, වාණිජ සහ අලෙවි අංශ සමග ඊයේ (25) පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගත් බවයි අමාත්‍යවරයා ට්විටර් සටහනක් තබමින් පවසා සිටියේ.

047543d40af80b3eefe822ba9d3a37f7

තෙවන කන්නයක් වගා කරන්න ලොකු උත්සාහයක් ගන්නවා – මහින්ද අමරවීර

රටේ සියලු ‍ගොවි ජනතාවගෙන් කඩිනමින් නැවත වගා කටයුතු ආරම්භ කරන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර ඉල්ලීමක් කර සිටිනවා.

අමාත්‍යවරයා කියා සිටියේ මෙවර යල සහ මහ කන්නයට අමතරව තෙවන කන්නයක් වගා කිරීමට උත්සාහයක් දරන බවයි.

ජලාශවල ප්‍රමාණවත් තරම් ජලය ඇති බැවින් යල කන්නයෙන් පසුව ඊළඟ කන්නයට පෙර ගොවීන්ට අතිරේක ආදායමක් ලබාගැනීමට ඉන් හැකියාව ලැබෙනු ඇති බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

ව්‍යාපාරික දිනේශ් ෂාෆ්ටර්ගේ සිරුර පිළිබඳව දෙවන පශ්චාත් මරණ පරික්ෂණය අද

පංච පුද්ගල අධිකරණ විශේෂඥ වෛද්‍ය කමිටුවක් ඉදිරියේ දී ව්‍යාපාරික දිනේශ් ෂාෆ්ටර්ගේ සිරුර පිළිබඳව දෙවන පශ්චාත් මරණ පරික්ෂණය අද (26) දි‍නයේ සිදුකිරීමට නියමිතව තිබෙනවා.

කරාපිටිය ශික්ෂණ රෝහලේදී අදාළ පශ්චාත් මරණ පරික්ෂණය සිදුකිරීමට නියමිත අතර ඒ සඳහා ඔහුගේ සිරුර ඊයේ (25) දිනයේ දී යළි ගොඩගැනීමට ද කටයුතු කළා.

බලපිටිය අධිකරණය ඉදිරිපිටදී සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකුට තුවාල

අම්බලන්ගොඩ කළාප අධ්‍යාපන කාර්යාලයට අනුයුක්තව සේවයේ නිරතව සිටි ගුරුවරයෙකු සිය යතුරුපැදි‌යෙන් ගමන් කරමින් සිටියදී බලපිටිය අධිකරණය ඉදිරිපිට දී වෙඩි ප්‍රහාරයකට ලක්ව තිබෙනවා.

ඒ අනුව වෙඩි ප්‍රහාරයට ලක්වූ අදාළ ගුරුවරයා ප්‍රතිකාර සඳහා මේ වන විට රෝහල් ගතකර ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

නව කම්කරු නීති පද්ධතිය ජුනි මාසය මුලදී කෙටුම්පත් කරනවා – මනූෂ නානායක්කා​ර

නව කම්කරු නීති පද්ධතිය ජුනි මාසය මුල වන විට කෙටුම්පත් කිරීමට අපේක්ෂා කරන බවත්, එම දල කෙටුම්පත ආයෝජන කලාප ද ඇතුළුව සියලුම ක්ෂේත්‍රවල වැඩ කරන ජනතාව වෙත ඉදිරිපත් කර ඔවුන්ගේ අනුමැතිය ලබාගැනීමට අපේක්ෂා කරන බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර පවසනවා.

අමාත්‍යවරයා අවධාරණය කර සිටියේ නව කම්කරු නීතිය පිළිබඳව සමාජයේ සෑම ස්ථරයකම කතාබහක් ඇති විය යුතු බවයි.

එහිදී සමාජයේ සෑම ස්ථරයකම මෙම කම්කරු නීතිය පිළිබඳව යෝජනා, චෝදනා, විරෝධතා සහ සැක සංකා ඉදිරිපත් විය යුතු බව පෙන්වා දෙන අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ එමඟින් අදාළ කටයුත්ත වඩාත් ශක්තිමත්ව කරගෙන යා හැකි බවයි.

පොසොන් පොහොයට සමගාමීව පැවැත්වෙන දන්සැල් ලියාපදිංචිය ඇරඹේ

පොසොන් පොහොය දිනයට සමගාමීව පැවැත්වෙන දන්සැල් ලියාපදිංචි කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.

දන්සැල් පැවැත්වීමට බලාපොරොත්තු වන පිරිස් තම ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට ගොස් සියලු විස්තර ලබාදී ලියාපදිංචි වීමේ හැකියාව පවතින බවයි එහි උප සභාපති කේ.ඒ.පී. බොරලැස්ස සඳහන් කළේ.

ඉන් පසු අදාළ දන්සැල්වල සංවිධායක කමිටු ගෙන්වා දන්සැල පැවැත්විය යුතු ආකාරය සම්බන්ධයෙන් අවශ්‍ය උපදෙස් ලබාදෙනු ඇති බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය වැඩිදුරටත් සඳහන් කළේ.

මේ වසරේ සිව්වන කාර්තුව වන විට උද්ධමනය තනි අගයකට පැමිණෙන බවට සහතික කරනවා – මහ බැංකු අධිපති

උද්ධමනය පාලනයකින් තොරව ඉහළ යාම වැළැක්වීම සඳහා තීරණාත්මක පියවර රැසක් ගැනීමට සිදුවූ බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා.

ඒ අනුව 70% ක් දක්වා උපරිමයකට ගිය උද්ධමනය මේ වන විට 30% මට්ටමට පැමිණ ඇති බවත් මෙම වසරේ සිව්වන කාර්තුව හෝ ඊට පෙර උද්ධමනය තනි අගයකට පැමිණෙන බවට සහතික කරන බවයි මහ බැංකු අධිපතිවරයා සඳහන් කළේ.

ජාත්‍යන්තර කම්කරු සංවිධානය (ILO) විසින් සංවිධානය කරන ලද සම්මන්ත්‍රණයකට එක්වෙමින් මහ බැංකු අධිපති ආචාර්ය නන්න්දලාල් වීරසිංහ මේ බව සඳහන් කළා.

ජනපති රනිල් වික්‍රමසිංහ Nikkei සංසදය අමතයි

ගෝලීය ජනගහනයෙන් 60%කගේ නිවහන ලෙස සහ ගෝලීය වර්ධනයට ප්‍රධාන දායකත්වය සපයන ලෝකයේ විශාලතම ආර්ථිකය ලෙස ආසියාවේ වැදගත්කම ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධාරණය කර තිබෙනවා.

ටෝකියෝ හි පැවති ආසියාවේ අනාගතය පිළිබඳ Nikkei සංසදය අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කර තිබෙනවා.

චීනයේ ප්‍රකෘතිමත්වීම, ඉන්දියාවේ දේශීය ඉල්ලුම සහ ජපානය සහ දකුණු කොරියාව වැනි දියුණු ආර්ථිකයන්හි දායකත්වයේ සහායෙන් කලාපයේ අඛණ්ඩ වර්ධනය සඳහා ඇති හැකියාවද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දී ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

ජනපති හා යොෂිහිඩේ සුගා අතර හමුවක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මීට සුළු මොහොතකට පෙර ජපානයේදී හිටපු අග්‍රාමාත්‍ය යොෂිහිඩේ සුගා හමුවී තිබෙනවා.

එහිදී රටේ ආර්ථික ප්‍රකෘතිය පිළිබඳව කරුණු දැක්වූ ජනාධිපතිවරයා යළි මෙරටට පැමිණ ආයෝජනය කරන ලෙස ජපානයට ආරාධනා කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

අත්අඩංගුවට ගත් රත්‍රං තොගය මගේ නෙ‍ාවෙයි – අලි සබ්රි රහීම්

අත්අඩංගුවට ගත් රත්‍රං තොගය තමාගේ නොවන බව පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් පවසනවා.

ඒ අනුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් සඳහන් කළේ, එය තමාගේ මිතුරෙකුට අයත් බවයි.

නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ රත්‍රං සහ ස්මාට් දුරකථන සමග රේගු භාරයට ගෙන සිටි පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් හට රුපියල් මිලියන 7.5 ක දඩයක් නියම කර ඊයේ (24) මුදා හැරුණා.