අමෙරිකාවේ ණය සීමාව ඉහළ නැංවීමට එකඟතාවක්

අමෙරිකානු ණය සීමාව ඉහළ නැංවීමට සහ ණය පැහැර හැරීම වළක්වා ගැනීමට අමෙරිකානු ජනාධිපතිවරයා සහ රිපබ්ලිකන් පක්ෂය අතර එකඟතාවක් ඇති කරගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඊට අදාළ ගිවිසුමකට එළඹීමට නියමිත බව අමෙරිකානු කථානායක කෙවින් මැකාති ප්‍රකාශ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඒ අනුව, අමෙරිකානු ඩොලර් ට්‍රිලියන 31.4කින් ණය සීමාව ඉහළ නැංවීම සඳහා අමෙරිකානු ජනාධිපතිවරයා සහ රිපබ්ලිකන් පක්ෂ නායකයා අතර එකගතාව පළවී ඇති බවයි සඳහන් වන්නේ.

සාමාන්‍ය පෙළ සිසුන් වෙනුවෙන් සිසු සැරිය අඛණ්ඩව ක්‍රියාත්මක වෙයි

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ “සිසු සැරිය” බස් රථ සේවාව ක්‍රියාත්මක කිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.

සිසු සැරිය බස් රථ සේවාව පාසල් නිවාඩුව ලබාදීමත් සමග නතර කිරීම සාමාන්‍යයෙන් සිදුවන බවත් කෙසේ නමුත් විභාග අපේක්ෂයකන්ගේ පහසුව සඳහා සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ අඛණ්ඩව එම බස් සේවාව ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවයි එහි අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය නිලාන් මිරැන්ඩා සඳහන් කළේ.

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය හෙට (29) ආරම්භ වීමට නියමිත අතර එය ලබන මස 08 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි.

ජනපති යළි දිවයිනට

සිංගප්පූරුවේ සහ ජපානයේ සංචාරයක නිරත වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ යළි දිවයිනට පැමිණ තිබෙනවා.

පසුගිය අඟහරුවාදා දිවයිනෙන් පිටත්ව ගිය ජනාධිපතිවරයා සිංගප්පූරු සංචාරයෙන් අනතුරුව ජපානය බලා පිටත්ව ගොස් තිබුණා.

ඊයේ (27) රාත්‍රී මැලේසියාවේ ක්වාලාලාම්පූර් සිට මැලේසියානු ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් ජනාධිපතිවරයා දිවයිනට පැමිණි බවයි සඳහන් වන්නේ.

නතාෂා එදිරිසූරිය අත්අඩංගුවට

පසුගියදා කොළඹ පැවති උත්සවයකදී ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකළ නතාෂා එදිරිසූරිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

රටින් පිටවීමට උත්සාහ කිරීමේදී ඇය ඊයේ (27) රාත්‍රීයේ කටුනායක ගුවන් තොටුපොළේදී අපරාධ පරීක්ෂණ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළේ.

දිනේෂ් ෂාෆ්ටර් මවගෙන් DNA වාර්තා කැඳවන ලෙසට නියෝග

අභිරහස් ලෙස මිය ගිය ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර්ගේ දේහය පිළිබඳව දෙවන පශ්චාත් මරණ පරික්ෂණය ඊයේ (26) දිනයේ කරාපිටිය රෝහලේදී සිදුකළා.

එහිදී අදාළ පරික්ෂණ සඳහා ඔහුගේ මවගෙන් DNA සම්පාල වාර්තාවක් කැඳවන ලෙසට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත්වරයා විසින් නි‍යෝග කොට තිබෙනවා.

ඒ අනුව දිනේෂ් ෂාෆ්ටර්ගේ මව විසින් රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත DNA සාම්පල ලබාදීමට කටයුතු කර ඇති බවත් වැඩිදුරටත් වාර්තා වනවා.

කටුනායක ගුවන්තොටුපොළේ ප්‍රභූ පර්යන්තයේ ආරක්ෂාව තර කිරීමට පියවර

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ප්‍රභූ මගී පර්යන්තයේ නිරීක්ෂණ කටයුතු සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරන ලෙසට ජනාධිපතිවරයාගෙන් උපදෙස් ලැබී ඇති බව ශ්‍රී ලංකා රේගුව පවසනවා.

ඒ අනුව අදාළ නිරික්ෂණ කටයුතු සඳහා දැනට යොදවා ඇති නිලධාරීන් සංඛ්‍යාව වැඩි කිරීමටද මෙහිදී අවධානය යොමුව ඇති බවයි වාර්තා වන්නේ.

2021 සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කෙරේ

2021 අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කොට තිබෙනවා.

ඒ අනුව නැවත සමීක්ෂණයක් සඳහා අයදුම් කළ අයට https://www.doenets.lk/examresults යන සබැඳියට පිවිසීමෙන් අදාළ ප්‍රතිඵල ලබාගත හැකි බවයි විභාග දෙපාර්තමේන්තුව පවසා සිටියේ.

2021 වසරේ සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි අයදුම්කරුවන් 80,272 දෙනෙකු ප්‍රතිඵල නැවත සමීක්ෂණය කරන ලෙස අයදුම්පත් යොමු කොට තිබුණා.

කංසා වගා කිරීමට නියමු ව්‍යාපෘතියක් ආරම්භ කරනවා – දිලුම් අමුණුගම

ආයෝජන මණ්ඩලය (BOI) යටතේ ආයෝජකයෙකු සමඟ කංසා වගා කිරීමේ නියමු ව්‍යාපෘතියක් නුදුරේදීම ආරම්භ කරන බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පවසනවා.

මෑතකදී නිකුත් කළ විශේෂඥ කමිටු වාර්තාව මගින් ආයෝජන මණ්ඩලය යටතේ නියමු ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට අනුමැතිය ලබාදි ඇති බවයි අමාත්‍යවරයා පවසන්නේ.

ඒ සඳහා ආයෝජකයින් හා විශේෂඥයන් සමග සාකච්ඡා කරමින් සිටින බවද, අදාළ ආයෝජකයින් කංසා වැවීමට පමණක් නොව අවම නිෂ්පාදනයන් සැකසිය යුතු අතර එමඟින් රටට ආදායමක් උපයා ගත හැකි බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පවසනවා.

පුත්තලමේ පාසලක ගුරුවරයෙකුට පහර දුන් සිසුන්ට ඇප

පුත්තලම ප්‍රදේශයේ පාසලක විනය භාර ගුරුවරයාට පහර දුන් සිසුන් 21 දෙනෙකු අද (26) පුත්තලම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප කොන්දේසි මත මුදාහැර තිබෙනවා.

පසුගිය 23 වනදා මෙම පහරදීම සිදුව තිබූ අතර එහිදී සිදුවීම සම්බන්ධයෙන් සිසුන් 04 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුණා.

එමෙන්ම ඊයේ (25) දිනයේ තවත් සිසුන් 17 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුණා.

මෙම සිසුන් පිරිස මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත සිසුන් පිරිසක් බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

ජෙරම් ප්‍රනාන්දුගෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක්

තමාව නීතිවි‍රෝධී ලෙස අත්අඩංගුවට ගැනීමේ සුදානමක් පවතින බව දන්වමින් ජෙරම් ප්‍රනාන්දු විසින් සිය නීතිඥවරුන් මාර්ගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇති බව වාර්තා වනවා.

අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස පොලිස්පතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා, එහි අධ්‍යක්ෂවරයා සහ පරිගණක අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා නම් කොට තිබෙනවා.

එමෙන්ම‍ ඔහු සිය පෙත්සම හරහා තමාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගැනීමට වළක්වාලමින් නියෝගයක් නිකුත් කරන ලෙසද ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.