භාණ්ඩ රැස​ක ආනයනය සීමා ලබන සතියේ සිට ලිහිල් කරනවා – මුදල් රාජ්‍ය ඇමති

ආනයන කරනු ලබන භාණ්ඩ 300ත් 400ත් අතර ප්‍රමාණයක ආනයන සීමා ලිහිල් කිරීමට තීරණය කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

ඒ අනුව ලබන සතියේ සිට එම ආනයන සීමා ලිහිල් කිරීමට පියවර ගන්නා බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සඳහන් කළේ.

මෙරට විදේශ සංචිත ප්‍රමාණය ශක්තිමත් කරගෙන ඇති බවත් මේ වන විට ඩොලර් බිලියන 3 ක පමණ විදෙස් සංචිතයක් ඇති බවද රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

දිස්ත්‍රික්ක 4කට නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ

පවතින වර්ෂාපතන කාලගුණ තත්ත්වයත් සමග දිවයිනේ දිස්ත්‍රික් 04 කට නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබෙනවා.

ඒ අනුව මාතර, රත්නපුර, ගාල්ල සහ කළුතර යන දිස්ත්‍රික්ක සඳහා එම නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ.

මාතර දිස්ත්‍රික්කයේ, පිටබැද්දර, විශේෂයෙන් කළුබෝවිටියාන ප්‍රදේශවලට සහ ගාල්ල දිස්ත්‍රික්කයේ නාගොඩ හා නෙළුව ප්‍රදේශවලටත් කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට, පාලින්දනුවර, මතුගම, අගලවත්ත හා බුලත්සිංහල යන ප්‍රදේශවල ජනතාවට මෙලෙස නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බවයි සඳහන් වන්නේ.

පොසොන් පොහොයට සමගාමීව සිරකරුවන් පිරිසකට ජනපති සමාව

පොසොන් පොහොයට සමගාමීව බන්ධනාගාරගතව සිටින සිරකරුවන් පිරිසක් වෙත ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් විශේෂ රාජ්‍ය සමාවක් ලබාදීමට තීරණය කර තිබෙනවා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල අනුව එම සමාව ලබාදිමට නියමිත බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඒ අනුව නියමයන් සහ කොන්දේසි කිහිපයක් මත සිරකරුවන් සඳහා එම විශේෂ සමාව ලබාදීමට නියමිත අතර දඩ මුදල් නොගෙවීම මත බන්ධනාගාර ගතව සිර දඬුවම් විඳින සිරකරුවන් ඇතුළු පිරිසකට මෙලෙස විශේෂ රාජ්‍ය සමාවක් ලබාදීමට නියමිතයි.

ඵලදායී ව්‍යාපාර යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා සංගායනා ක්‍රමයක් හඳුන්වා දෙනවා – ජනපති

ජාතික පරිවර්තන මාර්ග සිතියම පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අද (01) විශේෂ ප්‍රකාශයක් සිදු කළා.

ජනපති ජාතිය අමතා සිදුකළ විශේෂ ප්‍රකාශයේ වැදගත් කරුණු පහතින්.

* රට ක්‍රමයෙන් සහනදායි මට්ටමකට එළඹෙමින් සිටිනවා.

* දුර්වලව තිබූ ආර්ථිකය කිසියම් මට්ටමකින් මේ වනවිට ස්ථාවර වෙමින් පවතින අතර මේ තත්ත්වය උදා වුනේ අනුගමනය කළ නිවැරදි පිළිවෙත් නිසයි.

* දුශ්කරතා විඳදරාගත් රටවැසියන්ට ස්තූතිවන්ත වන අතර තව යම් කාලයක් මේ මාර්ගයේ ගමන් කිරීම මඟින් දුෂ්කරතා හා පීඩාවන් අවම කර යහපත් ආර්ථිකයක් නිර්මාණය කර ගැනීමට හැකියාව ලැබෙනවා.

* මෙම ක්‍රියාමාර්ග ජනප්‍රිය නොවන දුෂ්කර තීරණ විය හැකියි.

* ඉදිරියට රට ගොඩ නැගීමට කටයුතු කරනේ ප්‍රධාන කරුණු 4 ක් මුල් කර ගනිමින්.

* රාජ්‍ය මූල්‍ය ප්‍රතිසංස්කරණ යටතේ නව ආර්ථික ප්‍රතිපත්ති හඳුන්වා දෙන අතර අනවශ්‍ය වියදම් අඩු කිරීමට පියවර ගන්නවා.

* ආයෝජන ප්‍රවර්ධනය යටතේ රජය සහ පෞද්ගලික අංශය අතර ප්‍රබල සහයෝගීතාවක් ඇති කිරීම සඳහා ආයෝජන සංගායනාවක් පැවැත්වීමට කටයුතු කරනවා.

* සමාජ ආරක්ෂණ ජාලය යටතේ විද්වතුන් සම්බන්ධ කර ගනිමින් දිළිඳු ජන කොටස්වලට අවශ්‍ය සහාය ලබාදීමට කටයුතු කරනවා.

* දූෂණ විරෝධී පිළිවෙත් ක්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපති කාර්ය සාධක බලකායක් පිහිටුවීමට කටයුතු කරනවා.

* රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංකරණය යටතේ පාඩු ලබන රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු ආරම්භ කර තියෙනවා.

* මෙම සංගායනාවයන්ගෙන් ලැබෙන යෝජනා මහජන දිනයකදී ජනතාව වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කරනවා.

* මෙම වසරේ දෙවන කාර්තුව නිමාවීමට ප්‍රථම සංගායනා ක්‍රියාවලිය ආරම්භ කිරිමට කටයුතු කරනවා එමෙන්ම තුන්වන කාර්තුවේදී කාර්ය සාධක බලකායන් ජනතාවට විනිවිද පෙනෙන ආකාරයෙන් ජනතාව හමුවේ තබනවා.

* ජාතික ප්‍රතිසංවිධාන සැලැස්ම මෙම වසරේ අවසාන කාර්තුවේදී ඉදිරිපත් කිරිමට බලාපොරොත්තු වෙනවා.

* මෙම වැඩසටහන රටම ඉලක්කරගත් වැඩසටහනක්.

ඉන්ධන හිඟයක් පිළිබඳ​ව කලබලවෙන්න එපා – කංචන

ඛනිජ තෙල් නීතිගත සංස්ථාව හා ලංකා IOC සමාගම් සතුව ප්‍රමාණවත් ඉන්ධන තොග ඇති බැවින් ඉන්ධන හිඟයක් පිළිබඳව කලබල නොවන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

ඉන්ධන මිල අඩුවීමක් අපේක්ෂාවෙන් ඉන්ධන පිරවුම්හල් හිමියන් විසින් ඇනවුම් ලබානොදීම නිසා පවතින තත්ත්වය මතුව ඇති බවයි Twitter පණිවිඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

අවම තොග පවත්වා ගෙන නොගිය ඉන්ධන පිරවුම්හල්වල බලපත්‍රය සමාලෝචනය කර අත්හිටුවන ලෙස ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් ඉල්ලා සිටින බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

4249b75ebd15e05f14395673a04db97d

ජුලි මාසයේදී බස් ගාස්තු සංශෝධනයක් සිදු කිරීමට හැකිවේවි – ගැමුණු

ජූලි මාසයේ සිදු කෙරෙන බස් ගාස්තු සමාලෝචනයේදී බස් ගාස්තු සංශෝධනයක් සිදු කිරීමට හැකිවනු ඇති බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසනවා.

ඒ අනුව ඉකුත් මාසයේ ඩීසල් මිල රුපියල් 15 කින් අඩුවීමක් සිදුවූ අතර එහි වාසිය ජනතාවට ලබාදීමේ අරමුණින් ජූලි මස 01 වනදා සිදුකරන බස් ගාස්තු සමාලෝචනයේදී එහි වාසිය ලබාදීමට රජයට බලකරන බවයි ඔහු සඳහන් කළේ.

භාණ්ඩවල මිල ගණනය කිරීම්, අමතර කොටස්වල මිල සහ අනෙකුත් දෑ වල මිල ගණන් ගණනය කර ජූලි 01 දා බස් ගාස්තු සංශෝධනය සිදුකළ යුතු බවයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න වැඩිදුරටත් සඳහන් කළේ.

බෘනෝ දිවාකර රිමාන්ඩ් කෙරේ

අත්අඩංගුවට ගත් බෘනෝ දිවාකර ජුනි 07 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කර තිබෙනවා.

මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින නතාෂා එදිරිසූරියට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් ඔහු ඊයේ (31) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.

සතොස අත්‍යාවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල පහළ දමයි

ලංකා සතොස භාණ්ඩ වර්ග 06ක මිල ගණන් පහළ දැමීමට කටයුතු කර ඇති බව එම ආයතනය පවසනවා.

ඒ අනුව පාන් පිටි, ලොකු ළූණු, රතු පරිප්පු, සුදු සීනි, කඩල හා දේශීය සුදු නාඩු සහල් මිල මෙලෙස අඩු කිරිමට කටයුතු කර ඇති බවයි සඳහන් වන්නේ.

අඩු වූ මිල සහ නව මිල පහතින්.

* පාන් පිටි 1Kg – රු.15 කින් (නව මිල රු.210)
* ලොකු ළූණු 1Kg – රු.14 කින් (නව මිල රු.115)
* රතු පරිප්පු 1Kg – රු.11 කින් (නව මිල රු.314)
* සුදු සීනි 1Kg – රු.10 කින් (නව මිල රු.229)
* කඩල 1Kg – රු.05 කින් (නව මිල රු.545)
* දේශීය සුදු නාඩු සහල් 1Kg – රු.04 කින් (නව මිල රු.175)

මාසිකව ලක්ෂයකට වඩා උපයන්නන් සහ ඇතැම් වෘත්තිකයන් අද සිට බදු සඳහා ලියාපදිංචි වීම අනිවාර්ය කෙරේ

ශ්‍රී ලංකාව තුළ මාසිකව රු.100,000 කට වඩා ගෙවීමක් ලබන සියලු පුද්ගලයන් සහ ක්ෂේත්‍ර කිහිපයක නියැලෙන පුද්ගලයන් අද (01) සිට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වීම අනිවාර්යය කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව වෛද්‍ය, ඉංජිනේරු, නීතිඥ, ගණකාධිකාරී, බැංකු ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක වෘත්තිකයන් ද, ව්‍යාපාර, දේපළ හෝ ඇතැම් වාහන හිමිකාරීත්වය දරණ පුද්ගලයන්ද මෙලෙස ලියාපදිංචි වීම අනිවාර්ය බවයි මුදල්, ආර්ථික ස්ථායිකරණ අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ.

ලියාපදිංචි වීම අනිවාර්ය සියලු පිරිස පහතින්.

* ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි වෛද්‍යවරුන්
* ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ ලියාපදිංචි සාමාජිකයින්
* ශ්‍රී ලංකා සහතිකලත් කළමනාකරණ ගණකාධිකාරී ආයතනයේ සාමාජිකයින්
* ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ සාමාජිකයින්
* ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ සංගමයේ සාමාජිකයින්
* ශ්‍රී ලංකා වාස්තු විද්‍යාඥයින්ගේ සංගමයේ සාමාජිකයින්
* ශ්‍රී ලංකා ප්‍රමාණ සමීක්ෂකයින්ගේ ආයතනයේ සාමාජිකයින්
* ශ්‍රේෂ්ඨාධිකරණ නීතීඥවරුන්
* ප්‍රාදේශීය ලේකම්වරයා යටතේ ව්‍යාපාර ලියාපදිංචි කර ඇති පුද්ගලයින්
* මෝටර් රථ දෙපාර්තමේන්තුවේ වාහන ලියාපදිංචි කර ඇති පුද්ගලයින් (ත්‍රී රෝද රථ, මෝටර් බයිසිකල් සහ අත් ට්‍රැක්ටර් හැර)
* ශ්‍රී ලංකාවේ නිශ්චල දේපළක් මිල දී ගෙන ඇති ‌හෝ අත්පත් කරගෙන ඔප්පුවක් හුවමාරු කර ගෙන ඇති පුද්ගලයින්
* මාසිකව සේව්‍ය-සේවක දෙපාර්ශවයෙන්ම එක්ව රු.20,000 ට වැඩි දායකත්ව මුදලක් ඕනෑම පාරිතෝෂිත අරමුදලකට හිමිකම් කියනු ලබන සේවකයින්
* දේශීය අධිකාරීන්ගෙන් ගොඩනැගිලි අනුමත සැලසුමක් ලැබූ ඕනෑම අයෙකු
* ශ්‍රී ලංකාව තුළ මාසිකව රු.100,000 ක් හෝ වාර්ෂිකව රු.1,200,000 ක ගෙවීමක් ලබන වෙනත් ඕනෑම අයෙකු

මහ බැංකුව පොලී අනුපාත ලිහිල් කරයි

මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) ලිහිල් කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර තිබෙනවා.

ඒ අනුව තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) 13%ක් ලෙසත් නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) 14%ක් ලෙසත් අඩු කිරීමට මුදල් මණ්ඩලය තීරණය කර ඇති බවයි සඳහන් වන්නේ.

මීට පෙර තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) 15.50% ක් ලෙසත් නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) 16.50% ක් ලෙසත් පැවතුණා.