නැව් අනතුරු ගැන සෙවීමට විශේෂ කාරක සභාවක් පත්කෙරේ

නිව් ඩයමන්ඩ් සහ එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුරු පිළිබඳව කරුණු සොයා බලා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත්කර ඇති බව කතානායකවරයා පවසනවා.

ඒ අනුව 14 දෙනෙකුගෙන් යුත් එම කාරක සභාවේ සභාපතීත්වයට වෛද්‍ය රමේෂ් පතිරණ නම් කර ඇති බවයි කතානායක මහින්ද යාපා අබේවර්ධන සඳහන් කළේ.

අදාළ සාමාජිකයන් පහතින්.

* ආචාර්ය සුරේන් රාගවන්
* ඩයනා ගමගේ
* මහාචාර්ය ජී.එල් පීරිස්
* නීතිඥ රවුෆ් හකීම්
* විජිත හේරත්
* ආචාර්ය සරත් වීරසේකර
* නිරෝෂන් පෙරේරා
* අජිත් මාන්නප්පෙරුම
* නිමල් ලාන්සා
* තුෂාර ඉඳුනිල්
* වෛද්‍ය කාවින්ද හේෂාන් ජයවර්ධන
* අකිල එල්ලාවල
* නාලක බණ්ඩාර කෝට්ටේගොඩ
* නීතිඥ මධුර විතානගේ

ජුනි 15 සිට ඖෂධ මිල 16% කින් අඩු කිරීමට පියවර ගන්නවා – කෙහෙලිය රඹුක්වැල්ල

ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ඉහළ යෑම හමුවේ ඖෂධ මිල අඩු කිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල පවසනවා.

ඒ අනුව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි ඖෂධ මිල ජුනි 15 වනදා සිට 16%කින් අඩු කිරීමට කටයුතු කරන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

ගොඩනැඟිලිවල ඓතිහාසික පෞරාණිකත්වයට හානි නොවන අයුරින් නවීකරණය කර ආයෝජන අවස්ථා ලබාදීමට අවධානය

ඉපැරණි ගොඩනැගිලි පෞරාණිකත්වය ආරක්ෂා වන පරිදි නවීකරණය කර ආයෝජන අවස්ථා සඳහා ලබාදීමට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් විදේශ ආයෝජකයින් සමග සාකච්ඡා කරමින් සිටින බවයි අමාත්‍ය ප්‍රසන්න රණතුංග ජෝර්ජියාවේ ශ්‍රී ලංකා කොන්සල් Nino Makhviladze ඇතුළු ජෝර්ජියානු ආයෝජකයින් පිරිසක් සමග පැවති සාකච්ඡාවකදී සඳහන් කර තිබෙන්නේ.

නාගරික සංවර්ධන අධිකාරිය යටතේ පාලනය වන මෙරට පෞරාණික ගොඩනැගිලි සුදුසු පරිදි ආයෝජන අවස්ථා සඳහා යොදා ගැනීම සම්බන්ධයෙන් සහ ජෝර්ජියානු ආයෝජකයින් වෙත එම ආයෝජන අවස්ථා ලබා දීමට ඇති හැකියාව සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කර තිබෙනවා.

කොළඹ “ගෆූර් ගොඩනැගිල්ල” සහ කොළඹ “එයිටි ක්ලබ්” ගොඩනැගිල්ල වැනි ස්ථාන කිහිපයක් මේ සඳහා හඳුනාගෙන ඇති බවත්, එම ගොඩනැඟිලිවල ඓතිහාසික පෞරාණිකත්වයට හානි නොවන අයුරින් ඒවා නවීකරණය කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරනවා.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

ad87c3ea140b890cf70203b822d243bc

විකාශන අධිකාරී පනත සම්මත උනොත් රටේ මාධ්‍ය නිදහස සම්පූර්ණයෙන්ම වෙනස් වනවා – ජී.එල්. පීරිස්

යෝජිත විකාශන අධිකාරී පනත ගෙන ඒමේ යෝජනාව හුදෙක් දේශපාලන තීන්දුවක් මත ගනු ලැබූවක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල් පීරිස් පවසනවා.

ඒ අනුව මෙම පනත සම්මත කරන ලද දවසේ සිට මෙරට ඇති මාධ්‍ය නිදහස පිළිබඳ තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස් වන බවයි අද (05) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.

මෙම පනත සම්මතවී මාස තුනක් තුළ ගුවන්විදුලි, රූපවාහිනී ඇතුළු ආයතන නව බලපත්‍රයක් ලබාගත යුතු බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල් පීරිස් වැඩිදුරටත් සඳහන් කළේ.

තිළිණි ප්‍රියමාලිට එරෙහි නඩුවක් අගෝස්තු 11 වනදා දක්වා කල් තැබේ

තිළිණි ප්‍රියමාලිට එරෙහි නඩුවක් අගෝස්තු මස 11 වනදා දක්වා කල්තැබීමට කොළඹ මහාධිකරණය නියෝග කර තිබෙනවා.

වාහනයක් ලබාදෙන බව පවසා මාතර ප්‍රදේශයේ පුද්ගලයෙකුගෙන් රුපියල් ලක්ෂ 80ක මුදලක් ලබාගෙන සාවද්‍ය පරිහරණය කිරීම සම්බන්ධයෙන් මෙම නඩුව ගොනුකර තිබෙනවා.

මෙම නඩුව අද (05) කොළඹ මහාධිකරණ විනිසුරුවරයා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී තිලිණි ප්‍රියමාලි අධිකරණයේ පෙනී නොසිටි අතර ඇය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරිය සඳහන් කළේ, තම සේවාදායිකාව අසනීප තත්ත්වයෙන් කොළඹ පෞද්ගලික රෝහලක නේවාසිකව ප්‍රතිකාර ලබන බවයි.

ඒ අනුව නඩුව අගෝස්තු මස 11 වනදා යළි කැඳවීමට නියම කළ විනිසුරුවරයා එදින පිළිගත් වෛද්‍ය වාර්තාවක් සමග විත්තිකාරිය අධිකරණය හමුවේ පෙනී සිටිය යුතු බවට මෙහිදී නියෝග කර ඇති බවයි සඳහන් වන්නේ.

මීගොඩ ප්‍රදේශයේ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් තුවාල ලබයි

මීගොඩ වල්පිට ගැමුණු මාවතේ දී අද (05) උදෑසන සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබෙනවා.

තුවාල ලැබූ පුද්ගලයා මේ වනවිට හෝමාගම මුලික රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

සිද්ධියෙන් තුවාල ලබා ඇත්තේ 62 හැවිරිදි පුද්ගලයෙක්.

ලෝක පරිසර දිනය අදයි

ලෝක පරිසර දිනය අදට (05) යෙදී තිබෙනවා.

“ප්ලාස්ටික් දූෂණය පිටුදකිමු” යන්න මෙවර ජගත් පරිසර දිනයේ තේමාව බවයි මධ්‍යම පරිසර අධිකාරිය සඳහන් කරන්නේ.

මේ යටතේ වැඩසටහන් කිහිපයක් සංවිධානය කර ඇති බව මධ්‍යම පරිසර අධිකාරිය සඳහන් කරනවා.

ජගත් පරිසර දිනයේ ප්‍රධාන උත්සවය කොළඹ පිටකොටුව ප්‍රදේශයේ අද පැවැත්වීමට නියමිතව තිබෙනවා.

මෝසම් වැසි තත්ත්වයත් සමඟ ඩෙංගු රෝග ව්‍යාප්තිය වර්ධනය විය හැකියි – ඩෙංගු මර්දන ඒකකය

ඉදිරි මෝසම් වැසි තත්ත්වයත් සමඟ ඩෙංගු රෝග ව්‍යාප්තිය වර්ධනය විය හැකි බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.

ඒ අනුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල 72 ක් ආවරණය වන පරිදි ජුනි 14, 15, 16 දිනවල විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවයි එම ඒකකය සඳහන් කළේ.

මේ සඳහා සෞඛ්‍ය අමාත්‍යංශය, ත්‍රිවිධ හමුදාව හා පොලීසියේ සහයෝගය ලැබී ඇති බවත්, මෙහිදී නිවෙස් පරිශ්‍ර පරික්ෂාව සහ මහජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීමට නියමිතව තිබෙන බවත් සඳහන් වෙනවා.

ප්‍රදේශ කිහිපයකට නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ

පවතින අයහපත් කාලගුණයත් සමඟ ප්‍රදේශ කිහිපයකට නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව ගාල්ල, කළුතර, බදුල්ල යන දිස්ත්‍රික්ක සඳහා මෙම නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය සඳහන් කළේ.

ගාල්ල දිස්ත්‍රික්කයේ නෙලුව, නාගොඩ හා ඇල්පිටිය ප්‍රදේශ සඳහාත් කළුතර දිස්ත්‍රික්කයේ පාලින්දනුවර, වලල්ලාවිට, අගලවත්ත හා බුලත්සිංහල යන ප්‍රදේශ සඳහා මෙම නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

එසේම බදුල්ල දිස්ත්‍රික්කයේ පස්සර ප්‍රදේශය සඳහාත් මෙම නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම වැළැක්වීම පිළිබඳ ශ්‍රී ලංකාවේ මීළඟ ප්‍රවේශය නුදුරේදීම ක්‍රියාවට නංවනවා – ජනපති

මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම වැළැක්වීම පිළිබඳ ශ්‍රී ලංකාවේ මීළඟ ප්‍රවේශය නුදුරේදීම ක්‍රියාවට නංවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

රටේ ව්‍යාපාර කිරීමේ පහසුව, ව්‍යාපාර ශ්‍රේණිගත කිරීම සහ විදේශ ආයෝජන ආකර්ශණය කර ගැනීමේ හැකියාව කෙරෙහි එය සෘජුවම බලපාන බවයි ජාතික නීතිඥ සමුළුවේ දෙවන දිනය අමතමින් ජනාධිපතිවරයා සඳහන් කළේ.

මුදල් විශුද්ධිකරණයට සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීමට එරෙහිව පවතින නීති රාමුවේ ඇති හිඩැස් කඩිනමින් හඳුනා ගැනීමේ වැදගත්කම මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා සඳහන් කළේ, එසේ නොවුණහොත් ශ්‍රී ලංකාව නැවත වාරයක් උපායමාර්ගික ඌනතා සහිත රටක් ලෙස ලැයිස්තුගතවීමේ අවධානමක් ඇති බවයි.