දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම හරහා සාමාන්‍ය තැන්පතුවලට කිසිදු බලපෑමක් නැහැ – මහාචාර්ය චරිත හේරත්

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම හරහා සාමාන්‍ය තැන්පතුවලට කිසිදු බලපෑමක් සිදු නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් පවසනවා.

සාර්ව ආර්ථිකයට සිදුවන බලපෑම මගින් සියලුදෙනාට බලපෑමක් වන නමුත් මේ හරහා සාමාන්‍ය තැන්පතුවලට කිසිදු බලපෑමක් සිදු නොවන බවයි ඔහු පෙන්වා දෙන්නේ.

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් අදහස් පළ කිරීමේදී වගකීමකින් කටයුතු කළ යුතු බවත්, දේශපාලඥයින් ලෙස රට තුළ ආන්දෝලනයක් ඇති කිරීමට විපක්ෂය සූදානම් නොමැති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් සඳහන් කරන්නේ.

හඟුරන්කෙත තරුණයාගේ ඝාතනය සම්බන්ධයෙන් පුද්ගලයින් 8 ක් අත්අඩංගුවට

පහරදීමකින් බරපතළ තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටිය දී මියගිය හඟුරන්කෙත තරුණයාගේ ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන් 8 දෙනෙක් පොලීසියට භාරවී තිබෙනවා.

ඒ අනුව එම පිරිස මහනුවර පොලීසියට භාරවීමෙන් අනතුරුව අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දුව සඳහන් කළේ.

මුහුණට මිරිස් කුඩු ගසා, හිසට මිටියකින් පහරදී බරපතළ තුවාල ලබා රෝහල්ගතව සිට මියගිය තරුණයාගේ ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන් අත්අඩංගුවට නොගැනීමට විරෝධය පා හඟුරන්කෙත පොලීසියට ගම්වාසීන්ගෙන් දැඩි විරෝධයක් එල්ලවී තිබුණා.

ඊයේ (26) රාත්‍රියේ එම පිරිස කලහාකාරීව හැසිරීම හේතුවෙන් තත්ත්වය පාලනයට පොලීසිය විසින් අහසට වෙඩි ප්‍රහාර 38 ක් පමණ තබා තිබුණා.

උසස් පෙළ විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ අද ඇරඹෙයි

2022 (2023) අ.පො.ස. උසස් පෙළ විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ අද (27) ආරම්භ වනවා.

ඒ අනුව සෞන්දර්යය සහ තාක්ෂණවේදය විෂය කාණ්ඩ සඳහා වන ප්‍රායෝගික පරීක්ෂණ මෙලෙස පැවැත්වීමට නියමිත බවයි සඳහන් වන්නේ.

අදාළ නිවේදනය පහතින්.

649a45b23f792

පියත් නිකේෂල අත්අඩංගුවට

සමාජ මාධ්‍ය ක්‍රියාකාරී පියත් නිකේෂල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගිය වසරේ ජනාධිපතිවරයාගේ නිවසට ගිනි තැබීමේ සිදුවීමේදී සමාජ මාධ්‍ය ඔස්සේ සජීවී විකාශයක් සිදුකිරීමට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීමෙන් පසු මොහු අත්අඩංගුවට ගෙන ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

ශ්‍රී ලංකා තායිලන්ත නිදහස් වෙළෙඳ ගිවිසුම පිළිබඳ සාකච්ඡා සාර්ථකයි

ශ්‍රී ලංකා තායිලන්ත නිදහස් වෙළෙඳ ගිවිසුම (SLTFTA) පිළිබඳ පස්වැනි සාකච්ඡා වටය අද (26) පෙරවරුවේ කොළඹදී ආරම්භ වී තිබෙනවා.

කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ පැවති එහි සමාරම්භක සැසිවාරය ඇමතු ජාත්‍යන්තර වෙළෙඳ කාර්යාලයේ ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායමේ ප්‍රධාන සාකච්ඡාකරු කේ.ජේ. වීරසිංහ සඳහන් කළේ, එකඟ වූ කාල රාමුවට අනුව ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා – තායිලන්ත නිදහස් වෙළඳ ගිවිසුමට අදාළ සාකච්ඡාවල ප්‍රගතිය පිළිබඳව තෘප්තිමත් විය හැකි බවයි.

මීළඟ සාකච්ඡා වටය 2023 අගෝස්තු 21 සිට 23 දක්වා තායිලන්තයේ පැවැත්වීමට නියමිත බවත් 2024 මාර්තු මාසයේදී  ගිවිසුමට අත්සන් තැබීමට නියමිත බවයි ඔහු සඳහන් කළේ.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

6499739e75c39pdf_page_0

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියට එරෙහිව පෙත්සමක්

රජය විසින් සිදුකිරීමට යෝජිත දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ අනුව රජය විසින් සිදුකිරීමට යෝජිත දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතුවලදී සේවක අර්ථසාධක අරමුදල සහ සේවා නියුක්තිකයින්ගේ භාර අරමුදලෙන් ලබාගත් ණය කප්පාදු කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මෙම පෙත්සම ගොනුකර ඇති බවයි සඳහන් වන්නේ.

අන්තර් සමාගම් සේවක සංගමය සහ එහි සභාපති වසන්ත සමරසිංහ ඇතුළත් හය දෙනෙකු විසින් පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා.

දේශබන්දුට එරෙහි සිතාසියක් බලරහිත කිරීමට නියෝගයක්

කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් වෙත නිකුත් කර තිබූ සිතාසියක් බලරහිත කරමින් අභියාචනාධිකරණය රිට් ආඥාවක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව දේශබන්දු තෙන්නකෝන් ඉදිරිපත් කළ රිට් පෙත්සමක තීන්දුව ලබාදෙමින් අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල විසින් මෙම නියෝගය ලබාදී ඇති බවයි සඳහන් වන්නේ.

අරගලකරුවන් ජනාධිපති මන්දිරයට ඇතුළු වූ අවස්ථාවේ එහි තිබී රුපියල් එක්කෝටි හැත්තෑ අට ලක්ෂයකට අධික මුදල් සොයා ගැනීමේ සිද්ධියට අදාළව සැකකරුවකු වශයෙන් පෙනී සිටින ලෙස දන්වා කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් වෙත මෙම සිතාසිය නිකුත් කර තිබුණා.

මේ අතර පසුගිය වසරේ මැයි මස 9 වන දා ගාලු මෝදර “ගෝඨා ගෝ ගම” අරගලයට පහරදීමේ සිද්ධියට අදාළව සැකකරුවකු ලෙස දේශබන්දු තෙන්නකෝන් නම් කරන ලෙස නීතිපතිවරයා විසින් නිකුත් කර ලිපියක් ද අභියාචනාධිකරණය විසින් බලරහිත කරමින් රිට් ආඥාවක් නිකුත් කර තිබෙනවා.

ජනපති යළි දිවයිනට පැමිණෙයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ යුරෝපා සංචාරය නිමා කරමින් අද (26) උදෑසන යළි දිවයිනට පැමිණ තිබෙනවා.

ඒ අනුව අද උදෑසන 09.10 ට පමණ ජනාධිපතිවරයා දිවයිනට පැමිණ ඇති බවයි සඳහන් වන්නේ.

දීර්ඝ බැංකු නිවාඩුව තුළ බැංකු කටයුතු සිදුකිරීමට බාධාවක් නැහැ – මහ බැංකු අධිපති

දීර්ඝ බැංකු නිවාඩුවක් ප්‍රකාශයට පත් කළද ජනතාවට අත්‍යවශ්‍ය බැංකු කටයුතු සිදුකිරීමට අවශ්‍ය පහසුකම් සලසා ඇති බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා.

ඒ අනුව සාමාන්‍ය නිවාඩු දිනවල සිදුකරන බැංකු ගනුදෙනු, ATM, Online බැංකු ගනුදෙනු සහ අන්තර්ජාලය හරහා කරන බැංකු ගනුදෙනුවලට කිසිම බාධාවක් නොමැති බවයි මහ බැංකු අධිපතිවරයා සඳහන් කළේ.

සමහර බැංකු, නිවාඩු දිනවලත් ක්‍රියාත්මක වන බවත් එම කිසිම බැංකු ගනුදෙනුවකට මේ තුළ කිසිම බාධාවක් නොමැති බවත් දීර්ඝ බැංකු නිවාඩු දිනයන්වල පවා ජනතාවට අවශ්‍ය කරන බැංකු කටයුතු කරගැනීමට සියලු පහසුකම් සලසන බවත් මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.

ගිනිඅවි ගැන ඔත්තු ලබාදෙන පිරිස් වෙත ලබාදෙන ත්‍යාග මුදල් වැඩි කෙරේ

නීති විරෝධී ගිනි අවි සහ අත් බෝම්බ සම්බන්ධව පොලිසියට තොරතුරු ලබාදෙන පිරිස් වෙත සහ එම වැටලීම් සිදුකරන පොලිස් නිලධාරීන්ට මෙතෙක් ලබාදුන් මුදල් ත්‍යාග වැඩි කිරීමට පොලීසිය තීරණය කර තිබෙනවා.

ඒ අනුව පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නගේ උපදෙස් පරිදි අදාළ තීරණය ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය අංශය සඳහන් කළේ.

එහි මූලික පියවර වශයෙන් අද (25) දිනයේ සිට ලබන මස 31 වන දින දක්වා කාලය තුළ සිදුකරන වැටලීම්වලදී අත්අඩංගුවට ගනු ලබන නීතිවිරෝධී ගිනිඅවි සහ අත්බෝම්බ වෙනුවෙන් ලබාදෙන ත්‍යාග මුදල් වැඩිකර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

අදාළ ත්‍යාග මුදල් පහතින්.

6497d84617bca