හජ් උත්සවය අදයි

ඉස්ලාම් බැතිමතුන් මහත් හරසරින් සමරනු ලබන හජ් උත්සවය අදට (29) යෙදී තිබෙනවා.

ඇති නැති පරතරය සහ විවිධ භේද දුරලා සමානාත්මතාව, සහෝදරත්වය ඇති කිරීම හජ් උත්සවයේ ප්‍රධාන අරමුණ බවයි සඳහන් වන්නේ.

ඉස්ලාම් දින දර්ශනයේ අවසන් මාසය වන දුල්හජ් මාසයේ දහවන දිනයේදී හජ්ජි උත්සවය මෙලෙස ඉස්ලාම් බැතිමතුන් සමරනු ලබනවා.

ජපානය බලා පිටත්ව ගිය ශ්‍රීලන්කන් ගුවන් යානයක් කාර්මික දෝෂයක් නිසා යළි කටුනායකට

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ (BIA) සිට ජපානයේ Narita බලා පිටත් වූ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානයක් නැවත කොළඹට පැමිණ තිබෙනවා.

ඒ අනුව මෙලෙස යළි පැමිණ ඇත්තේ, UL 454 දරණ ගුවන් යානය බවයි සඳහන් වන්නේ.

ගුවන් යානයේ කාර්මික දෝෂයක් හේතුවෙන් පැය 02 කට පසු යළි කොළඹට පැමිණ ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

විදුලි ගාස්තු සංශෝධනය ගැන තීරණය සිකුරාදා

විදුලි ගාස්තු සංශෝධනය කිරීම සම්බන්ධයෙන් විදුලිබල මණ්ඩලය විසින් ඉදිරිපත් කර ඇති යෝජනාවලිය පිළිබඳව ලබන සිකුරාදා දිනයේ තීරණයක් ගන්නා බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසනවා.

ඒ අනුව කොමිෂන් සභාව ලබන 30 වන සිකුරාදා දිනයේ රැස්වී ඒ පිළිබඳ තීරණයක් ගැනීමට නියමිත බවයි එහි සභාපති මහාචාර්ය මංජුල ප්‍රනාන්දු සඳහන් කළේ.

අදාළ යෝජනාවලිය සම්බන්ධයෙන් මහජන අදහස් විමසීම ඊයේ (27) දිනයෙන් අවසන් කෙරුණා.

කැලණිවැලි මාර්ගයේ දුම්රිය ගමනාගමනය යථා තත්ත්වයට

කැලණිවැලි දුම්රිය මාර්ගයේ දුම්රිය ගමනාගමනය යථා තත්ත්වයට පත්කර තිබෙනවා.

ඒ අනුව අද (28) සවස කැලණිවැලි දුම්රිය මාර්ගයේ දුම්රිය ගමනාගමනය සාමාන්‍ය පරිදි සිදුවන බවයි සඳහන් වන්නේ.

බොරැල්ල කොටා පාර දුම්රිය ස්ථානය ආසන්නයේදී කොළඹ කොටුව සිට කොස්ගම බලා ධාවනය වූ දුම්රියක මැදිරි දෙකක් ඊයේ (27) පස්වරුවේ පීලිපැනීමකට ලක්වීම හේතුවෙන් දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වුණා.

විශේෂඥ වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට තීරණය කෙරේ

රජයේ සේවයේ නියුතු විශේෂඥ වෛද්‍යවරුන්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 63 දක්වා දීර්ඝ කිරීමට අදාළ සෞඛ්‍ය අමාත්‍යංශයේ තීරණය අද (28) මෝසමක් මාර්ගයෙන් අභියාචනාධිකරණයට දැනුම් දී තිබෙනවා.

අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලබන තීරණයකට යටත්ව වයස අවුරුදු 63 දක්වා රජයේ සේවයේ නියුතු විශේෂඥ වෛද්‍යවරුන්ට මෙලෙස සේවා කාලය දීර්ඝ වන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා සිය මෝසම මඟින් සඳහන් කර තිබෙන්නේ.

ඒ අනුව පෙත්සම්කාර වෛද්‍යවරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා සඳහන් කර ඇත්තේ, මෙම දැනුම්දීම සම්බන්ධයෙන් තම සේවාදායකයින් සෑහීමට පත්වන බවයි.

පෙත්සමකට විරෝධතා ගොනුකිරීමට බදියුදීන්ට කල් ලබාදෙයි

අභියාචනාධිකරණය දුන් නියෝගයක් ක්‍රියාත්මක නොකිරීම තුළින් අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් ගොනුකර ඇති පෙත්සමට අදාළ විරෝධතා ගොනුකිරීම සඳහා අභියාචනාධිකරණය විසින් හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ට කල් ලබාදී තිබෙනවා.

විල්පත්තු වනාන්තර කලාපය ආසන්නයේ පිහිටි මරයිච්චුකඩ්ඩි සහ කරඩික්කුලි වනාන්තර එළිපෙහෙළි කිරීමේ සිද්ධියට අදාළ රීට් පෙත්සම සම්බන්ධයෙන් අභියාචනාධිකරණය දුන් නියෝගයක් ක්‍රියාත්මක නොකිරීම තුළින් අධිකරණයට අපහාස කළේ යැයි ඔහුට එරෙහිව චෝදනා එල්ලවී තිබෙනවා.

එම පෙත්සම අද (28) අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී ඉදිරිපත් වූ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව අදාළ විරෝධතා ජූලි මස 21 වනදාට පෙර ගොනුකරන ලෙස හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ට නියෝග කර ඇති බවයි සඳහන් වන්නේ.

පසුව පෙත්සම සලකා බැලීම සඳහා අගෝස්තු මස 28 වනදා කැඳවන ලෙස විනිසුරු මඩුල්ල නියෝග කර තිබෙනවා.

500% කින් පමණ වැඩිකල විදුලි බිල 3% කින් අඩුකිරීම ජනතාව නොමග යැවීමක් – ඕමල්පේ සෝභිත හිමි

විදුලිබිල 50% කින් පමණ අඩු කිරීමට ආණ්ඩුව පියවර ගත යුතු බව පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමි පවසනවා.

ඒ අනුව 500% කින් පමණ වැඩි කළ විදුලි බිල ජුලි මස 01 වනදා සිට 3% කින් අඩු කිරීමට කටයුතු කිරීම ජනතාව නොමඟ යැවීමක් බවයි උන්වහන්සේ පෙන්වා දෙන්නේ.

500% කින් වැඩි කළ විදුලි බිල 3% කින් අඩු කිරීම ජනතාවට නොදැනෙන බවත්, නමුත් ඇමතිවරයාට නම් එය දැනෙන බවද උන්වහන්සේ සඳහන් කළා.

විදුලිබිල දරා ගැනීමට නොහැකිව දේශීය කර්මාන්ත ගණනාවක් වසා දැමීමට කටයුතු කර ඇති බවත්, ජනතාවට දැනෙන ලෙස විදුලිබිල අඩු කිරීමක් කළ යුතු නම් එය 50% කින් අඩු කිරීමට කටයුතු කළ යුතු බවයි පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමි වැඩිදුරටත් සඳහන් කළේ.

කැලණිවැලි මාර්ගයේ දුම්රිය ගමනාගමනයට තවදුරටත් බාධා

කැලණිවැලි දුම්රිය මාර්ගයේ දුම්රිය ගමනාගමනයට තවදුරටත් බාධා එල්ල වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව අද (28) අලුයම 4.00ට පමණ දුම්රිය පීලිගත කිරීමේ කටයුතු අවසන් කළ ද මාර්ගයේ නඩත්තු කටයුතු තවදුරටත් සිදුකරමින් පවතින බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

බොරැල්ල කොටා පාර දුම්රිය ස්ථානය ආසන්නයේදී කොළඹ කොටුව සිට කොස්ගම බලා ධාවනය වූ දුම්රියක මැදිරි දෙකක් ඊයේ (27) පස්වරුවේ පීලිපැනීමකට ලක්ව තිබුණා.

මහාවංශය, යුනෙස්කෝ ලෝක වාර්තාමය උරුමයක් ලෙස ප්‍රකාශයට පත්කරයි

යුනෙස්කෝ සංවිධානය විසින් ‘මහාවංශය’ ලෝක වාර්තාමය උරුමයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබෙනවා.

මහාවංශය යුනෙස්කෝ සංවිධානය විසින් හදුන්වා දී ඇත්තේ ලොව දීර්ඝතම නොබිඳුණු ඓතිහාසික වාර්තාවලින් එකක් ලෙසයි.

එය බුදුන් වහන්සේ, අශෝක අධිරාජ්‍යයා සහ ලෝක ආගමක් ලෙස බුදුදහමේ නැගීම පිළිබඳව සුවිශේෂි තොරතුරු අඩංගු ආසියාවේ වැදගත් ඓතිහාසික මූලාශ්‍රයක් ලෙසයි යුනෙස්කෝ සංවිධානය වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ.

විදුලි ගාස්තු සංශෝධනය ගැන මහජන අදහස් විමසීම අද

යෝජිත විදුලි ගාස්තු සං‍‍ශෝධනය සම්බන්ධයෙන් මහජන අදහස් ලබාගැනීම සඳහා විශේෂ මහජන උපදේශන සැසියක් අද (27) පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව අද පෙරවරු 09.00 සිට මධ්‍යහ්න 12.00 දක්වා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී එම මහජන උපදේශන සැසිය පැවැත්වීමට නියමිත බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව සඳහන් කළා.

වෘත්තීය සමිති, සිවිල් සංවිධාන සාමාජිකයින් ඇතුළු ඕනෑම අයෙකුට මේ සඳහා අදහස් ලබාදීමට හැකියාව පවතින බව මහජන උපයෝගීතා කොමිසම සඳහන් කළා.