නොරොච්චෝලේ ඉතිරි ජනන යන්ත්‍ර දෙකත් මේ මාසයේ ජාතික පද්ධතියට

නොරොච්චෝලේ බලාගාරයේ පළවන හා දෙවන ජනන යන්ත්‍ර දෙක මේ මාසය ඇතුළත ජාතික පද්ධතියට එක් කිරීමට නියමිත බව ලංකා විදුලි බල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඉංජිනේරු නොයෙල් ප්‍රියන්ත පවසනවා.

තුන්වෙනි ජනන යන්ත්‍රය මේ වනවිටත් ජාතික පද්ධතියට එක් කර ඇති බවයි ඔහු පවසා සිටියේ.

රට පුරා විදුලිය විසන්ධි වීමත් සමග නොරොච්චෝලේ බලාගාරයේ පළවන ජනන යන්ත්‍රය අක්‍රිය වූ අතර, නොරොච්චෝලේ දෙවැනි ජනන යන්ත්‍රය ද මේ වනවිට අක්‍රීයව පවතිනවා.

අධිවේගයේ කොක්මාදූව හුවමාරුවෙන් පිටවන රියැදුරන්ට දැනුම් දීමක්

කොක්මාදුව හුවමාරුවෙන් පිටවී කනංකේ දෙසට ගමන් කළ නොහැකි මට්ටමට තවදුරටත් ගංවතුර තත්ත්වයක් පවතින බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසනවා.

පවතින අධික වැසි තත්ත්වයත් සමග ජලයෙන් යටවීම හේතුවෙන් මෙම තත්ත්වය ඇති වී තිබෙනවා.

මේ හේතුවෙන් කොළඹ සිට ගමන් ගන්නා රථවාහන පාලටුව අන්තර් හුවමාරුවෙන් ද මත්තල සිට පැමිණෙන රථවාහන ගොඩගම හුවමාරුවෙන් ද පිටවීමට කටයුතු කරන ලෙසයි සියලුම රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ.

ජාතික අක්ෂි රෝහලේ වෛද්‍ය වර්ජනය අවසන්

කොළඹ අක්ෂි රෝහලේ සංකේත වැඩ වර්ජනය අවසන් කර ඇති බව වාර්තා වනවා.

ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව සංකේත වැඩ වර්ජනය අවසන් කළ බවයි රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය නිවේදනය කරන්නේ.

අද (14) උදෑසන 08.00 ට කොළඹ අක්ෂි රෝහලේ සංකේත වැඩ වර්ජනයක් ආරම්භ වීමට නියමිත බවට නිවේදනය කර තිබුණා.

ආගමික වැරදි විමර්ශනයට පොලීසියේ වෙනම ඒකකයක්

සමාජ මාධ්‍ය ජාල ඔස්සේ සිදුකෙරෙන ආගමික වැරදි සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට වෙනම ඒකකයක් ස්ථාපිත කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව පවසනවා.

ඒ අනුව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ උපදෙස් අනුව මෙම ඒකකය ස්ථාපිත කර ඇති බවයි සඳහන් වන්නේ.

වැඩබලන පොලිස්පතිවරයා විසින් පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයට සමාජ මාධ්‍ය ජාලා හරහා සිදුකරන ආගමික වැරදි සම්බන්ධයෙන් පැමිණිලි භාරගැනීමට වෙනමම ඒකකයක් ස්ථාපිත කිරීමට උපදෙස් ලබාදී ඇති බවයි සඳහන් වන්නේ.

මේ සම්බන්ධ පැමිණිලි මහජනතාවට 0112 300 637 අංකය ඔස්සේ දැනුම්දීමේ හැකියාව ඇති අතර ccid.religious@police.gov.lk විද්‍යුත් ලිපිනය මඟින්ද යොමු කිරීමේ හැකියාව පවතිනවා.

ජාතික අක්ෂි රෝහලේ වෛද්‍යවරුන් අද සංකේත වර්ජනයක

කොළඹ ජාතික අක්ෂි රෝහලේ වෛද්‍යවරුන් අද (14) එක්දින සංකේත වැඩ වර්ජනයක් ප්‍රකාශයට පත්කර ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

ඒ අනුව අද පෙරවරු 8.00 සිට එම වර්ජනය ආරම්භ කරන බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැඩිදුරටත් සඳහන් කළේ.

බදු වංචා කරන අයට අනුකම්පා නොකර වහා අයකර ගන්න – පාඨලී

තිරිඟු පිටි හා සීනි ආනයනයේදී අනිසි ලාභ උපයාගත් පාර්ශවයන්ගෙන් නියමිත බදු අයකර ගැනීමට කටයුතු කරන ලෙස පාර්ලිමේන්තු ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවේ සභාපති පාඨලී චම්පික රණවක දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදුන්නා.

බිලියන 173 ක් බදු එකතු කරගත හැකිව පවතින බවත්, එය අයකර ගැනීමට ලියුම් යැවීමෙන් පලක් නොවන බවත්, හිඟ බදු අයකර ගැනීමේ ක්‍රමවේදයක් දෙසැම්බර් 31 ට පෙර වහාම සකසා ගන්නා ලෙසයි එහිදී ඔහු එහිදී පවසා සිටියේ.

විශාල බදු ප්‍රමාණයක් අයකර ගැනීමෙන් මිනිසුන් අපහසුතාවයට පත්ව ඇති බවද, බදු නොගෙවන අයට අනුකම්පා නොකර අදාළ කටයුතු වහාම ඉටු කරන ලෙසයි එහිදී ඔහු වැඩිදුරටත් උපදෙස් ලබාදුන්නේ.

ජාතික අක්ෂි රෝහලේ වෛද්‍යවරුන් හෙට සංකේත වර්ජනයක

කොළඹ ජාතික අක්ෂි රෝහලේ වෛද්‍යවරුන් හෙට (14) එක්දින සංකේත වැඩවර්ජනයක් ප්‍රකාශයට පත්කර ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

ඒ අනුව හෙට පෙරවරු 8.00 සිට එම වර්ජනය ආරම්භ කරන බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැඩිදුරටත් සඳහන් කළා.

අත්අඩංගුවට ගත් චීවරධාරියා දෙසැම්බර් 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරයට

විශ්ව බුද්ධ නමින් හඳුන්වාගනිමින් බුදුදහමට අපහාස වන අයුරින් සමාජ මාධ්‍යයේ හැසිරුණු චීවරධාරියාව එළඹෙන 19 වනදා දක්වා රිමාන්ඩ් බන්ධානාගාරගතකර තිබෙනවා.

ඒ අනුව සැකකාර චීවරධාරියා අද (13) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදී ඇති බවයි සඳහන් වන්නේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශයට ලද පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනයකට අනුව සැකකාර චීවරධාරියා ඊයේ (12) අත්අඩංගුවට ගෙන තිබුණා.

රනිල් වැල් පාලමෙන් එගොඩ කළේ මහින්දවයි, බැසිල්වයි, ගෝඨාවයි, නාමල්වයි – විපක්ෂ නායක

ජනාධිපතිවරයා වැල් පාලමෙන් එගොඩ කළේ, මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ හා නාමල් රාජපක්ෂව බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවැනි වාරිකය ලැබුණු බවට ආණ්ඩුව විශාල ප්‍රමාණයෙන් කතා කලද දෙවැනි වාරිකය ලබාගත්තේ විදුලිය සහ වැට් බදු වැඩි කර ජනතාව පීඩනයට පත් කරමින් බවයි විපක්ෂ නායකවරයා සඳහන් කළේ.

රජය විවිධ ප්‍රකාශ කරමින් වැට් සහ විදුලිය වැඩි කරමින් ජනතාව මරණ මංචකයට ගෙන යමින් රට බංකොළොත් කෙරූ පිරිස දිව්‍ය ලෝකයට රැගෙන යමින් ඇති බවද විපක්ෂ නායකවරයා සඳහන් කළා.

මම අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරනවා – රොෂාන් රණසිංහ

අයවැය තෙවනවර කියවීමේ ඡන්ද විමසීමේදී අයවැයට විරුද්ධව ඡන්දය භාවිත කරන බව, හිටපු ක්‍රීඩා අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ පවසනවා.

අද (13) පැවැත්වෙන පාර්ලිමේන්තුවේ පැවති විවාදයට එක්වෙමින් ඔහු සඳහන් කළේ, තමන් මීට පෙර සිතාගෙන සිටියේ ඡන්දය ලබාදීමෙන් වැළකී සිටීමට බවයි.

රජය කටයුතු කරන ආකාරයෙන් තමා අයවැයට විරුද්ධව ඡන්දය භාවිත කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.