සද්ධාරතන හිමි යළි රිමාන්ඩ්

පුජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමි ජූලි 12 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කර තිබෙනවා.

ආගම් අතර අසමගිය පැතිරවීමේ චෝදනා මත පුජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමි අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණා.

ඒ අනුව අද (05) එම නඩුව යළි කැඳවූ අවස්ථාවේදී කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් එම නියෝගය ලබාදී ඇති බවයි වැඩි දුරටත් සඳහන් වන්නේ.

රෝහල් හා සෞඛ්‍ය ආයතන වල කළු විරෝධතා සතියක් ආරම්භ කරනවා – ඖෂධවේදීන්ගේ සංගමය

අද (05) සිට රෝහල්වල කළු විරෝධතා සතියක් ආරම්භ කරන බව රජයේ ඖෂධවේදීන්ගේ සංගමය පවසනවා.

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවතින ගැටලුවලට විසඳුම් ලබාදෙන ලෙසට ඉල්ලමින් මෙම කළු විරෝධතා සතිය පවත්වන බවයි එම සංගමය සඳහන් කළේ.

එමෙන්ම මහජන පෙත්සමක්ද අත්සන් කිරීමට කටයුතු කරන බවයි රජයේ ඖෂධවේදීන්ගේ සංගමය වැඩිදුරටත් සඳහන් කළේ.

නතාෂා එදිරිසූරියට කොළඹ මහාධිකරණයෙන් ඇප

නතාෂා එදිරිසූරිය ඇප මත නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය නියෝග කර තිබෙනවා.

අද උදෑසන කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේ, ඇය ජුලි 12 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි.

කෙසේ නමුත් ඇය විසින් ඉදිරිපත් කළ පෙත්සමක් සලකා ලැබීමෙන් අනතුරුව කොළඹ මහාධිකරණය විසින් ඇයට ඇප ලබාදීමට නියෝග කර ඇති බවයි සඳහන් වන්නේ.

බෞද්ධ ආගමට අපහාස වන අයුරින් ප්‍රකාශයක් සිදුකළායැයි යන චෝදනාව මත නතාෂා එදිරිසූරිය පසුගිය මැයි 27 වනදා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණා.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ ප්‍රදේශ දෙකකට නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමක් නිකුත් කෙරේ

නුවරඑළිය දිස්ත්‍රික්කය සඳහා ජාතික ගොඩනැඟිලි පර්යේෂණ ආයතනය විසින් නායයෑම් පූර්ව අනතුරු ඇඟවීමේ පණිවිඩයක් නිකුත් කර තිබෙනවා.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව හා නුවරඑළිය ප්‍රදේශ සඳහා මෙම අනතුරු ඇඟවීම නිකුත් කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

තද සුළං පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

ගොඩබිම් ප්‍රදේශ සඳහා තද සුළං පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, වයඹ සහ උතුරු මැද පළාත්වලත් හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී 50 – 60ක පමණ තද සුළං ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.

64a3e9f6b6b50

ලෝක බැංකුවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 250 ක්

ලෝක බැංකුවෙන් ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 250 ක මුදලක් ලබාදී තිබෙනවා.

ඒ අනුව මෙරට අයවැය සහාය සඳහා ලෝක බැංකුවෙන් ලබාදෙන අමෙරිකානු ඩොලර් මිලියන 500 ක මුදලෙන් අමෙරිකානු ඩොලර් මිලියන 250 ක මුදලක් මෙලෙස ලබාදී ඇති බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ සඳහන් කළේ.

ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 700ක මුදලක් ලබාදීමට ලෝක බැංකුව පසුගියදා අනුමැතිය ලබාදී තිබුණා.

දින 05කට පසු බැංකු සහ කොටස් ගණුදෙනු අද ආරම්භ වෙයි

‍දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා පසුගිය සිකුරාදා වෙන්කරන ලද විශේෂිත බැංකු නිවාඩුවත් සමඟ දින 05ක දීර්ඝ නිවාඩුවකින් පසුව සියලු බැංකු අද (04) සිට විවෘත කර තිබෙනවා.

ඒ අනුව ගනුදෙනුකරුවන්ට සාමාන්‍ය පරිදි බැංකු වෙතින් සිය සේවාවන් ඉටු කරගැනීමේ හැකියාව පවතිනවා.

මේ අතර දින 05කට පසුව කොටස් වෙළෙඳපොළ ද අද සිට ක්‍රියාත්මක වන බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

ලියාපදිංචි කොටස් සහ සුරැකුම්පත් සම්බන්ධයෙන් ගැසට් නිවේදනයක් නිකුත් කෙරේ

‍ලියාපදිංචි කොටස් සහ සුරැකුම්පත් සම්බන්ධයෙන් නියෝග කිහිපයක් ඇතුළත් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව පසුගිය 28 වන දින වනවිට පවතින කොටස් හෝ සුරැකුම්පත් පරිවර්තනය හෝ හුවමාරු කිරීමට හිමිකරුවන්ට අවස්ථාව ලබා දීමට නියමිත බවයි අදාළ ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ.

භාණ්ඩාර බැදුම්කර සඳහා පොලී ගෙවීම සහ පරිවර්තනය හෝ හුවමාරු කිරීම සඳහා වන ක්‍රමවේදය සකස් කිරීමට අමාත්‍යංශ ලේකම්ට සහ රාජ්‍ය ණය අධිකාරිය වෙත බලය පවරා ඇති අතර භාණ්ඩාර බැඳුම්කර සකස් කිරීමේදී සහ නිකුත් කිරීමේදී දරන ලද ඕනෑම වියදමක් ගෙවීම සඳහා භාණ්ඩාගාර සකස් කිරීම සහ නිකුත් කිරීමේ බලය ද අදාළ නිලධාරින් වෙත පවරා ඇති බවයි සඳහන් වන්නේ.

මුදල් ආර්ථික ප්‍රතිසංස්කරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.

අදාළ ගැසට් නිවේදනය පහතින්.

64a38428c2c67pdf_page_0

64a38428d18c7pdf_page_1

පෞද්ගලික විශ්ව විද්‍යාලවල අධ්‍යාපනය හැදැරීමට පොලී රහිත ණය සඳහා අයදුම් කිරීම අද ආරම්භ වෙයි

උසස් පෙළ හැදෑරු සිසුන් 5,000 කට පෞද්ගලික විශ්ව විද්‍යාලවල අධ්‍යාපනය හැදැරීමට පොලී රහිත ණය ලබාදීමේ ව්‍යාපෘතිය සඳහා අයදුම් කිරීම හෙට (04) සිට ආරම්භ කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

ඒ අනුව 2019, 2020, 2021 යන වසරවල උසස් පෙළ හැදෑරු සිසුන් සඳහා මෙම අවස්ථාව හිමිවන බවත්, ජුලි 04 වනදා සිට අගෝස්තු 07 වනදා දක්වා මේ සඳහා අයදුම් කිරීමට හැකි බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

අයැදුම්පත් www.studentloans.mohe.gov.lk වෙබ් අඩවිය ඔස්සේ මාර්ගගතව යොමු කළ හැකි අතර එම වෙබ් අඩවියට පිවිස පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමයේ ශිෂ්‍ය අත්පොත පරිශීලනය කර අදාල සියලු තොරතුරු ලබා ගත හැකියාව පවතිනවා.

සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළව විරෝධතා දින 4 ක් ප්‍රකාශයට පත් කරයි

සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළව අද (04) සිට විරෝධතා දින 4 ක් ප්‍රකාශයට පත් කර ඇති බව ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමය පවසනවා.

ඒ අනුව එහි ප්‍රධාන ලේකම් පූජ්‍ය ටැම්පිටියේ සුගතානන්ද හිමියන් සඳහන් කළේ, ඉල්ලීම් 8 ක් මුල් කර ගනිමින් මෙම විරෝධතා පැවැත්වෙන බවයි.

සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළ සියලු පාර්ශවයන්ගේ සහභාගීත්වයෙන් දීප ව්‍යාප්තව විරෝධතා පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි පූජ්‍ය ටැම්පිටියේ සුගතානන්ද හිමියන් වැඩිදුරටත් සඳහන් කළේ.