නව පනත හරහා ආයුර්වේද ක්ෂේත්‍රයට අදාළව රට තුළ කංසා වගාකිරීමේ බලය ලැබෙනවා – සිසිර ජයකොඩි

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත නව පනත් කෙටුම්පත ඔස්සේ ආයුර්වේද ක්ෂේත්‍රයට අදාළව රට තුළ කංසා වගා කිරීමේ බලය ලැබෙන බව දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි පවසනවා.

නීතිමය ප්‍රතිපාදන නොමැතිව කංසා වගා කළහොත් සිරගත වීමට සිදුවිය හැකි බවත්, ඉදිරිපත් කරන නව පනත සම්මත වන දිනය අනුව මෙහි කාල රාමුව තීරණය වන බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

ඒ අනුව ආයුර්වේද කොමසාරිස් විසින් ඒ සඳහා වන රෙගුලාසි පැනවිය යුතු බවයි දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි වැඩි දුරටත් සඳහන් කළේ.

මුහුදුබඩ සහ ප්‍රධාන දුම්රිය මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

මාතර සිට පැමිණි දුම්රියක් කොළඹ කොටුව දුම්රිය ස්ථානය ආසන්නයේදී පීලි පැනීමකට ලක්වී තිබෙනවා.

මේ හේතුවෙන් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ සහ ප්‍රධාන දුම්රිය මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුවිය හැකි බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

රටේ මුල්‍ය බංකොලොත්භාවයට හේතු සොයන්න සාගර කාරියවසම්ගේ ප්‍රධානත්වයෙන් විශේෂ කාරක සභාවක්

රට මුල්‍ය බංකොලොත්භාවයට පත්වූයේ කෙසේද යන්න පිළිබඳව සොයා බැලීම සඳහා විශේෂ කාරක සභාවක් පත් කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව මේ සඳහා සාගර කාරියවසම් මන්ත්‍රීවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත්කළ බවයි කථානායක මහින්ද යාපා අබේවර්ධන සඳහන් කළේ.

නව ගුවන් හමුදාපති ජනපති හමුවෙයි

නව ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ ඊයේ (05) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවී තිබෙනවා.

එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ 19 වන ගුවන් හමුදාපතිවරයා ලෙස පසුගියදා පත්වීම් ලබාගත්තා.

ධූරයට පත්වීමෙන් පසු නව ගුවන් හමුදාපතිවරයා සාම්ප්‍රදායානුකූලව ජනාධිපතිවරයා හමු වූ අතර ජනාධිපතිතුමා වෙත සමරු තිළිණයක් ද පිළිගැන්වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

මෙරට නිල සංචිත වත්කම් ගැන මහ බැංකුවෙන් දැනුම්දීමක්

ශ්‍රී ලංකාවේ නිල සංචිත වත්කම් ප්‍රමාණය සම්බන්ධයෙන් මහ බැංකුව නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව 2023 ජුනි මස අවසන් වන විට දළ නිල සංචිත ප්‍රමාණය, අමෙරිකානු ඩොලර් බිලියන 3.5 ක් බවයි සඳහන් වන්නේ.

ඒ සඳහා චීන මහජන බැංකුවේ හුවමාරු පහසුකම ද ඇතුළත් බවයි මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කළේ.

පොලී අනුපාත ලිහිල් කිරීමට මහ බැංකුව තීරණය කරයි

මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) තවදුරටත් ලිහිල් කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර තිබෙනවා.

ඒ අනුව තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) 11%ක් ලෙසත් නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) 12%ක් ලෙසත් අඩු කිරීමට  මුදල් මණ්ඩලය තීරණය කර ඇති බවයි සඳහන් වන්නේ.

හැටන් සහ නුවරඑළිය අධ්‍යාපන කලාපවල සියලුම පාසල් අද සහ හෙට වසා දැමේ

හැටන් සහ නුවරඑළිය අධ්‍යාපන කලාපයට අයත් සියලුම රජයේ පාසල් අද (06) සහ හෙට (07) වසා දැමීමට තීරණය කර තිබෙනවා.

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මෙම තීරණය ගත් බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

මුතුරාජා යළි ලංකාවට ලබා දෙන්නේ නැහැ – තායිලන්ත පරිසර ඇමති

මුතුරාජා හස්තියා යළි ශ්‍රී ලංකාවට ලබා නොදෙන බව තායිලන්ත පරිසර අමාත්‍ය වරවුට් සිල්පා ආචා පවසා ඇති බව එරට මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අනුව මෙරට නායක ස්වාමීන් වහන්සේ නමක් විසින් හස්තියා යළි ලබාදෙන බවට සිදුකළ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් එරට පරිසර අමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබෙනවා.

මුතුරාජා හස්තියා මේ වන විට තායි රජුගේ භාරයේ පසුවන බවත්, ඔහු නව පරිසරයට ඉක්මනින් හුරුවෙමින් ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

2023 මහනුවර ඇසළ පෙරහැර පැවැත්වෙන දින ප්‍රකාශයට පත් කරයි

2023 ඇසළ පෙරහැර පැවැත්වෙන දින මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ඒ අනුව කුඹල් පෙරහැර අගෝස්තු 21 සිට අගෝස්තු 25 දක්වා පැවැත්වීමට නියමිත අතර රන්දෝලි පෙරහැර අගෝස්තු 26 සිට අගෝස්තු 30 දක්වා පැවැත්වීමට නියමිතයි.

64a550e820456

කංසා නියමු ව්‍යාපෘතිය ආයෝජකයන් 11 සමඟ ඉදිරියට ගෙනියනවා – ඩයනා

කංසා නියමු ව්‍යාපෘතිය සඳහා ආයෝජනය කිරීමට ආයෝජකයින් 11 දෙනෙකු සිටින බව රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ පවසනවා.

ඒ අනුව මේ තුළින් වසරකට ඩොලර් බිලියන 4 – 5 ත් අතර ප්‍රමාණයක ආදායමක් රටට ගෙන ඒමට බලාපොරොත්තු වන බවයි රාජ්‍ය අමාත්‍යවරිය සඳහන් කළේ.

තමා සිටින තෙක් මෙම ව්‍යාපෘතිය අසාර්ථකවීමට ඉඩ ලබා නොදෙන බවත් මේ තුළින් රටට විශාල විදේශ විනිමය ප්‍රමාණයක් ලබාගත හැකි බවද රාජ්‍ය අමාත්‍යවරිය පෙන්වා දෙනවා.