එක්ස්ප්‍රස් පර්ල් වන්දි ගැන වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස නියෝගයක්

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමේ සිද්ධියෙන් පීඩාවට පත්වූවන්ට වන්දි ගෙවීමේ ක්‍රියාදාමය සහ එහි ප්‍රගතිය පිළිබඳ වාර්තාවක් මීළඟ දින අධිකරණය හමුවේ ගොනු කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නීතිපතිවරයාට නියෝග කර තිබෙනවා.

එම පෙත්සම් අද (10) විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී ධීවර ප්‍රජාව වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සිද්ධියෙන් පීඩාවට පත් ධීවර ප්‍රජාවට මෙතෙක් වන්දි ලැබී නොමැති බවට චෝදනා කර සිටියා.

එම අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිස්ටර් ජනරාල්වරයා සඳහන් කළේ, මීට අදාළව අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතින බවයි.

පීඩාවට පත්වූවන්ට වන්දි ගෙවීමේ ක්‍රියාදාමය නොපමාව සිදුවිය යුතු බවත් ඒ සඳහා පහසුකම් සැලසීමට පියවර ගන්නා ලෙස විනිසුරු මඩුල්ල විසින් අතිරේක සොලිස්ටර් ජනරාල්වරයාට නියෝග කර තිබෙනවා.

මනම්පිටිය බස් අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවට

පොළොන්නරුව මනම්පිටිය ප්‍රදේශයේ කොටලීය පාළමෙන් බස් රථයක් ඔයට පෙරළී සිදුවු අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරා මේ වන විට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වේගයෙන් ධාවනය කර ඇති බස් රථය රියදුරුට පාලනය කරගත නොහැකිව අනතුරට පත් වන්නට ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

අදාළ බස්රථ රියදුරුට එරෙහිව මීට පෙර ද අන්තරාදායක රිය පැදවීම සම්බන්ධයෙන් දඩ නියම කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව සඳහන් කළේ.

පළාත් පාලන ආයතන යළි කැඳවීමේ කෙටුම්පතට එරෙහිව පැෆරල් සංවිධානය ශ්‍රේෂ්ඨාධිකරණයට

පළාත් පාලන ආයතන යළි කැඳවීම සඳහා පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති කෙටුම්පතට එරෙහිව අද (10) දිනයේදී ශ්‍රේෂ්ඨාධිකරණයට කරුණු වාර්තා කරන බව පැෆරල් සංවිධානය පවසනවා.

මෙම පනත් කෙටුම්පත මගින් පැහැදිළිව ආණඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වන බව පෙනී යන බවයි එහි විධායක අධ්‍යක්‍ෂ රෝහණ හෙට්ටිආරච්චි සඳහන් කළේ.

මෙය පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස ඉදිරිපත් වුවද මෙය ආණ්ඩුවේ ආශිර්වාදය සහිතව සිදුකරන බවට පෙනී යන බවත්, පළාත් පාලන මැතිවරණය තවදුරටත් කල් තැබීමට ගත හැකි සියලු ක්‍රියාමාර්ග ආණ්ඩුව ගනිමින් සිටින බවයි රෝහණ හෙට්ටිආරච්චි වැඩිදුරටත් සඳහන් කළේ.

බස් රථයක් හා කන්ටේනර් රථයක් ගැටී සිදුවූ අනතුරකින් පුද්ගලයින් දෙදෙනකු මරුට

අඹන්පොළ ප්‍රදේශයේ දී අද (10) අලුයම සිදුවූ තවත් බස්රථ අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තවත් 29 දෙනෙකු තුවාල ලබා ඇති බව පොලීසිය පවසනවා.
තුවාල ලැබූ පිරිස මේ වනවිට රෝහල්ගත කර ඇති බවයි සඳහන් වන්නේ.
වන්දනා චාරිකාවක් ගොස් යළි නිවෙස් බලා ගමන් කරමින් සිටි බස් රථයක් අඹන්පොළ ප්‍රදේශයේ දී මාර්ගයේ අයිනේ නවතා තිබු කන්ටේනර් රථයක ගැටීමෙන් එම අනතුර සිදුව ඇති බවයි සඳහන් වන්නේ.

මනම්පිටිය බස් රථ අනතුරෙන් මියගිය සංඛ්‍යාව 10 දක්වා ඉහළට

පොළොන්නරුව මනම්පිටිය කොතලිය පාලම අසලදී සිදුවූ බස් රථ අනතුරෙන් මියගිය සංඛ්‍යාව 10 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව අනතුරෙන් තුවාල ලැබූ පුද්ගලයින් 40 කට වැඩි පිරිසක් රෝහල්ගතකර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
පොළොන්නරුවේ සිට කාත්තන්කුඩි දක්වා ගමන්ගත් බස් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇති අතර පොළොන්නරුවේ ගල්ලෑල්ලට නුදුරු කොටලීය පාලම අනතුරු බහුලව සිදුවන පටු පාලමක් බවයි ප්‍රදේශවාසීන් සඳහන් කරන්නේ.

විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු පැනවීම සම්බන්ධයෙන් නව නීති හඳුන්වාදීමට පනත් කෙටුම්පතක්

පාර්ලිමේන්තුවේ අනුමැතියකින් තොරව විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු පැනවීම වළක්වාලීම සදහා නව පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වී තිබෙනවා.

ඒ අනුව පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පතක් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න විසින් අදාළ පනත් කෙටුම්පත ඉදිරිපත් කර ඇති බවයි සඳහන් වන්නේ.

එම නව පනත් කෙටුම්පත මඟින් විශේෂ වෙළද භාණ්ඩ බදු පැනවීම සම්බන්ධයෙන් නව නීති හදුන්වාදීමට බලාපොරොත්තු වන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න වැඩිදුරටත් සඳහන් කළේ.

පොලිස්පති ධූරය ගැන තීරණයක් ගැනීමට අද විශේෂ සාකච්ඡාවක්

පොලිස්පති ධූරය සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා ජනාධිපතිවරයා සහ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් අතර සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව එම සාකච්ඡාවේදී පුරප්පාඩුවී ඇති පොලිස්පති ධූරය සඳහා පත් කරන්නේ කවුරුන්ද යන්න සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට නියමිතව ඇති බවයි සඳහන් වන්නේ.

මේ වන විට පොලිස්පතිවරයෙකු නොමැතිව දින 14 ක කාලයක් ගතවී තිබෙනවා.

ඉදිරියේදී තවදුරටත් ආනයන සීමා නිදහස් කිරීමට කටයුතු කරනවා – මහ බැංකු අධිපති

මෙරට ආර්ථිකය ප්‍රකෘතිමත් වීම වසරේ දෙවන අර්ධයේදී දැකගත හැකි බව මහ බැංකු අධිපති, ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා.

මේ වන විට ඇති සියලුම දත්ත මගින් පෙන්වා දෙන්නේ පාරිභෝගිකයින්ගේ විශ්වාසය නැවත ඇති වී ඇති බව යැයි CNBC විදෙස් නාලිකාව සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් මහ බැංකු අධිපතිවරයා සඳහන් කළේ.

රජය මේ වන විටත් ආනයන සීමා බොහෝමයක් ලිහිල් කර ඇති අතර ඉදිරියේදී තව දුරටත් ආනයන සීමා නිදහස් කිරීමට කටයුතු කරන බව මහ බැංකු අධිපති, ආචාර්ය නන්දලාල් වීරසිංහ වැඩිදුරටත් සඳහන් කළා.

නව පොලිස්පතිවරයෙක් පත් කිරීම ඉක්මනින් සිදුකරනවා – අගමැති

ඉතාමත් ඉක්මණින් පොලිස්පති ධුරය සම්බන්ධයෙන් පත් කිරීමක් ජනාධිපතිවරයා විසින් සිදුකරනු ඇති බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසනවා.

පාර්ලිමේන්තුවේදී ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා කළ විමසීමකට පිළිතුරු ලබාදෙමින් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ, පොලිස් සේවාව පිළිබඳ සියලු කටයුතු මේ වන විට දිස්ත්‍රික්ක පොලිස් ප්‍රධානීන් විසින් සිදු කරගෙන යන බවයි.

ඒ අනුව ව්‍යවස්ථාදායක සභාව ඕනෑම අවස්ථාවක කැඳවා අදාළ පත්වීම අනුමත කිරීමේ හැකියාව පවතින බවයි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන වැඩිදුරටත් සඳහන් කළේ.

සෑම පරිපාල​න ග්‍රාම නිලධාරීවරයෙකුම සාම විනිසුරුවරයෙකු බවට පත් කරමින් ගැසට් නිවේදනයක්

සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකම ස්ථිර හා සක්‍රීය සේවයේ නියුතු සෑම පරිපාලන ග්‍රාම නිලධාරියෙකුම නිල බලයෙන් සාමදාන විනිශ්චයකාරවරයෙකු කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ විසින් අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇති බවයි සඳහන් වන්නේ.

අදාළ ගැසට් නිවේදනය පහතින්.

64a78cf35d1fdpdf_page_0