රට බංකොලොත් වීමට හේතු සොයන්න විපක්ෂයෙන් විකල්ප කමිටුවක්

රට බංකොලොත් වීමට හේතු සෙවීම සඳහා ආණ්ඩුව විසින් පත්කළ කමිටුව වෙනුවට විපක්ෂය විසින් විකල්ප කමිටුවක් පත්කිරීමට තීරණය කළ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

රට බංකොලොත්භාවයට පත්කිරීම සම්බන්ධයෙන් සොයා බැලීමට පසුගියදා ආණ්ඩුව විසින් පත්කළ කමිටුව පටු දේශපාලන අභිප්‍රාය මුදුන් පමුණුවා ගැනීම සඳහා යොදා ගැනීමට ගත් කූට උපායමාර්ගයක් බවයි නිවේදනයක් නිකුත් කරමින් විපක්ෂ නායකවරයා පෙන්වා දෙන්නේ.

ආණ්ඩුව විසින් යෝජනා කොට ඇති තේරීම් කාරක සභාවේ සංයුතියත් එහි සභාපති ධුරයට රට බංකොලොත්භාවට පත්වන විට බලයේ සිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්වරයා පත්කිරීම පිළිබඳත් විමසා බලන විට, ආණ්ඩුවේ නිරුවත පැහැදිලි වන බවයි විපක්ෂ නායකවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

64b386f458bf0

අද බස්නාහිර ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

අද (16) පෙරවරු 08.30 සිට පස්වරු 05.00 දක්වා බස්නාහිර පළාතේ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක් සිදුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා.

ඒ අනුව පෑලියගොඩ, වත්තල, ජාඇළ, කටුනායක, සීදුව නගර සභා බල ප්‍රදේශවලට සහ කැලණිය, වත්තල, බියගම, මහර, දොම්පේ, කටාන, මිනුවන්ගොඩ යන ප්‍රාදේශීය සභා බල ප්‍රදේශවලටත් ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ කොටසකටත් මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවයි සඳහන් වන්නේ.

සපුගස්කන්ද විදුලි උපපොළෙහි හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද දිනයේ පැය අට හමාරක කාලයක් බියගම ජල පවිත්‍රාගාරයට ජලය සැපයීම අත්හිටුවීමට සිදුවීම හේතුවෙන් මෙලෙස ජල කප්පාදුවක් සිදුවන බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය වේගවත් විය යුතුයි – IMF

G20 පොදු යාන්ත්‍රණයට ඇතුළත් නොවුවද ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය ප්‍රගතියක් ලබමින් අඛණ්ඩව ක්‍රියාත්මක වන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසනවා.

ඒ අනුව එම ක්‍රියාවලිය වේගවත් විය යුතු අතර සාකච්ඡා පැවැත්වෙන කාලය තුළ ණය ගැති රටවලට යම් සහනයක් හිමිවිය යුතු බවයි එහි සන්නිවේදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා ජූලි කොසැක් සඳහන් කළේ.

අමෙරිකාවේ, වොෂින්ටන් හී පැවැති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මාධ්‍ය හමුවකදී ඇය මේ බව ප්‍රකාශ කර තිබෙනවා.

හෙට කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 14 ක ජල කප්පාදුවක්

හෙට (15) කොළඹ ප්‍රදේශ කිහිපයක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

ඒ අනුව කොළඹ 01, 02, 03, 04 සහ කොළඹ 07, 08, 09, 10, 11, 12, 13, 14, 15 යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවීමට නියමිතයි.

හෙට පෙරවරු 8.00 සිට රාත්‍රී 10 දක්වා පැය 14.00 ක කාලයක් ජල කප්පාදුවක් සිදුකිරීමට නියමිත බවයි සඳහන් වන්නේ

EPF- ETF ණය කපා හැරීමට එරෙහි පෙත්සම් සලකා බැලීමට දින නියම කෙරේ

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී සේවක අර්ථ සාධක අරමුදල සහ සේවා නියුක්තිකයින්ගේ භාර අරමුදලෙන් ලබාගත් ණය කප්පාදු කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සම් සලකා බැලීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කර තිබෙනවා.

අදාළ පෙත්සම් සලකා බැලීම සඳහා ලබන 27 වනදා කැඳවන ලෙසයි ශ්‍රේෂ්ඨාධිකරණය අද (14) නියෝග කර තිබෙන්නේ.

පෙත්සම් අද කැඳවූ අවස්ථාවේදී ඊට සීමිත විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා කාලය ලබාදෙන ලෙස නීතිපතිවරයා අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

පේරාදෙණියේ තරුණිය මිය යාමේ සිදුවීම ගැන සෙවීමට පංච පුද්ගල කමිටුවක්

පේරාදෙණිය රෝහලේදී තරුණියක් මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමට පංච පුද්ගල කමිටුවක් පත්කර තිබෙනවා.

ඒ අනුව ඔවුන් හෙට (15) දිනයේ පේරාදෙණිය රෝහල වෙත යාමට නියමිතව ඇති බවයි සඳහන් වන්නේ.

වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 63 තෙක් දීර්ඝ කිරීමට උපදෙස්

වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය විසින් පත්කළ කැබිනට් අනු කමිටු වාර්තාව ජනපතිවරයාට ලබාදී තිබෙනවා.

ඒ අනුව 2024 වසර අවසාන වනතුරු වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 63 දක්වා දීර්ඝ කරන ලෙස ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇති බවයි සඳහන් වන්නේ.

එම වාර්තාව මත පදනම්ව විශේෂ අවස්ථාවන්හි දී සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවශ්‍යතාවය අනුව ඒ සම්බන්ධව වැඩිදුර තීරණ ගැනීමටද ජනාධිපතිවරයා විසින් සෞඛ්‍ය අමාත්‍යවරයාට සහ නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කළේ.

ඉන්ධන බෙදාහැරීමේ ගිවිසුමට සයිනොපෙක් සමාගම අත්සන් තබයි

ශ්‍රී ලංකාව තුළ ඉන්ධන බෙදාහැරීම සම්බන්ධයෙන් වන ගිවිසුමට සයිනොපෙක් සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය අද (14) අත්සන් තබා තිබෙනවා.

ඒ අනුව සයිනොපෙක් විසින් ඉන්ධන ආනයනය, ගබඩා කිරීම සහ අලෙවිය ඇතුළත් ව්‍යාපෘතිය සඳහා ඩොලර් මිලියන 100ක් ආයෝජනය කර ඇති බවයි සඳහන් වන්නේ.

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල පනතේ අංක 17 ප්‍රකාරව සයිනොපෙක් එනර්ජි ලංකා (Sinopec Energy Lanka) ආයතනයේ අධීක්‍ෂණය යටතේ වසර 20ක් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට ගිවිසුම මගින් ඉඩ ලබාදී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

මෙරට ඇති සියලු ඖෂධ පිළිබඳ විනිවිදභාවයක් අවශ්‍යයි – ජනපති

ජනතාවට ඖෂධ ලබා ගැනීමේදී ප්‍රමාදයක් සිදු නොවන බවට සෞඛ්‍ය අමාත්‍යාංශය සහතික විය යුතු බවත්, මෙරට ඇති සියලු ඖෂධ පිළිබඳ විනිවිදභාවයක් අවශ්‍ය බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පවත්වාගෙන යනු ලබන වෙබ් අඩවි මගින් දිනපතා සෑම රෝහලක් සතු ඖෂධ ප්‍රමාණය සහ දිනකට ලබාගත හැකි මුළු ඖෂධ ප්‍රමාණය පිළිබඳ දත්ත ලබාදිය යුතු බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ.

මෙම ජාලගත ක්‍රියාවලිය මගින් රෝහල් අතර ඖෂධ හුවමාරු කර ගැනීමටද අවස්ථාව හිමිවන බවයි ජනාධිපතිවරයා වැඩි දුරටත් සඳහන් කළේ.

ලිට්‍රෝ ගෑස් සමාගම ප්‍රතිව්‍යුහගත කිරීමට සේවකයන්ගේ විරෝධය

ලිට්‍රෝ ගෑස් සමාගම ප්‍රතිව්‍යුහගත කිරීම කාලෝචිත නොවන බව ලිට්‍රෝ සුරැකීමේ ජාතික එකමුතුව පවසනවා.

ඒ අනුව නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් සඳහන් කරන්නේ, ඒ තුළින් රජය බලාපොරොත්තු වන සමාජ ආර්ථික ප්‍රතිලාභ ලඟා කර ගත නොහැකි බවයි.

රාජ්‍ය භාණ්ඩාගාරයට ශක්තියක් ලබා දිය හැකි, ශ්‍රී ලාංකීය ජනතාවගේ සුබසාධනය සඳහා මූල්‍ය උත්පාදනයන් කළ හැකි මෙවැනි ජාතික සම්පතක් ප්‍රතිව්‍යුහගත කිරීමට සමස්ත ලිට්රෝ ගෑස් ලංකා සමාගමේ සේවකයින් දැඩිව විරුද්ධ වන බවයි ඔවුන් සිය නිවේදනය මඟින් වැඩිදුරටත් සඳහන් කරන්නේ.