SL vs PAK 1st Test: පළමු ටෙස්ට් තරගයේ තෙවන දිනය අද

ශ්‍රී ලංකා – පාකිස්තාන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු ටෙස්ට් තරගයේ තෙවන දිනය අදයි (18).

ඒ අනුව අද දිනයේ උදෑසන කාලයේ තරගය පැවැත්වෙන ගාල්ල ප්‍රදේශයට බලපෑ වැසි සහිත කාලගුණයත් සමඟ තරගය ආරම්භ කිරීමට මදක් ප්‍රමාද වී ඇති අතර මේ වන විට ක්‍රීඩාංගනයේ ආවරණ ඉවත් කර තිබෙනවා.

පළමු ටෙස්ට් තරගයේ දෙවන දිනය නිමා වන විට සිය පළමු ඉනිම සඳහා පන්දුවට පහර දෙන පාකිස්තාන කණ්ඩායම කඩුලු 5  ක් දැවී ලකුණු 221 ක් ලබා සිටියා.

ඊයේ දිනය නිමා වන විට නොදැවී පන්දුවට පහර දෙමින් සිටින අගා සල්මාන් ලකුණු 61 ක් හා සවුද් ශකීල් ලකුණු 69 ක් ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටිනවා.

ආරම්භක පිතිකරුවන් වූ ඉමාම් උල් හක් එක් ලකුණකටත්, අබ්දුල්ලාහ් ශෆික් ලකුණු 19 කටත් දැවීගිය අතර පන්දු 30 කින් වේගවත් ලකුණු 39 ක් රැස් කරමින් සිටි ශාන් මසූඩ් රමේෂ් මෙන්ඩිස්ගේ පන්දුවක් හමුවේ දැවී ගියා.

නායක බාබර් අසාම් ලකුණු 13 ක් රැස්කළ අතර සර්ෆරාස් අහ්මඩ් ලකුණු 17 කට දැවී ගියා.

පන්දු යැවීමේ දී ප්‍රභාත් ජයසූරිය කඩුලු 3 ක්ද, කසුන් රාජිත සහ රමේෂ් මෙන්ඩිස් එක් කඩුල්ල බැඟින්ද බිඳ හෙළීමට සමත් වුණා.

ඒ අනුව පාකිස්තානය මේ වන විට පළමු ඉනිමේ දී ශ්‍රී ලංකාවට වඩා ලකුණු 91 ක් පිටුපසින් පසුවනවා.

ආර්ථික බංකොලොත්භාවය සෙවීමට පත්කළ කමිටුව අද පළමුවරට රැස්වෙයි

රට ආර්ථික වශයෙන් බංකොලොත් වීමට හේතු සෙවීම සඳහා පත්කළ කමිටුව අද (18) පළමු වරට රැස්වීමට නියමිතව තිබෙනවා.

එම රැස්වීමේදී කමිටුවේ සාමාජිකයින් සමඟ සාකච්ඡා කර ඉදිරි පියවර සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනීමට නියමිත බවයි කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ සාගර කාරියවසම් සඳහන් කළේ.

මෙරට ආර්ථිකය සම්බන්ධයෙන් තීන්දු තිරණ ගත් පාර්ශව මෙන්ම ආර්ථිකය සම්බන්ධයෙන් විශ්ලේෂණයක් කළ හැකි උගතුන් කමිටුව වෙත කැඳවීමට නියමිත බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

රජයේ සේවා කිහිපයක් තවදුරටත් අත්‍යාවශ්‍ය සේවාවන් බවට පත් කෙරේ

රජයේ සේවා කිහිපයක් තවදුරටත් අත්‍යාවශ්‍ය සේවාවන් ලෙස ගැසට් මඟින් ප්‍රකාශයට පත්කරමින් ජනාධිපතිවරයා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව විදුලිබල සැපයුම සම්බන්ධ සියලු සේවාවන් සහ ඛනිජ තෙල් නිෂ්පාදන හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම යන සේවා අත්‍යාවශ්‍ය සේවාවන් බවට පත්කර තිබෙනවා.

එසේම රෝහල්වල, සාත්තු නිවාසවල සහ වෙනත් සමාන ආයතනවල සියලු සේවා අත්‍යාවශ්‍ය සේවාවන් බවට පත්කර ඇති බවයි අදාළ ගැසට් නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

64b5fe68c016apdf_page_0

මහනුවර හා පේරාදෙණියේ සිදුවීම් ගැන ​සෙවීමට කමිටුවක්

මහනුවර හා පේරාදෙණිය රෝහල්වල සිදුවීම් සම්බන්ධයෙන් සොයා බැලීමට සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල විසින් කමිටුවක් පත්කර තිබෙනවා.

මහාචාර්ය චන්දිම ජීවන්දරගේ සභාපතීත්වයෙන් යුතුව එම කමිටුව පත්කර ඇති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

මූලික අයිතිවාසිකම් පෙත්සම් තුනක් විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කෙරේ

ඉකුත් වසරේ මාර්තු 31 වනදා මිරිහානේ පිහිටි එවක ජනාධිපති ගෝඨාභයගේ පුද්ගලික නිවස ඉදිරිපිට පැවැති උද්ඝෝෂණය අතරතුරදී අත්අඩංගුවට ගත් තිදෙනෙකුගේ මූලික අයිතිවාසිකම් පෙත්සම් තුනක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (17) නියෝග කර තිබෙනවා.

එම උද්ඝෝෂණය අතරතුරදී පොලීසිය විසින් තමන්ව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීම තුළින් සිය මූලික අයිතීන් උල්ලංඝනය වූ බව සඳහන් කරමින් ඔවුන් එම මූලික අයිතිවාසිකම් පෙත්සම් ඉදිරිපත් කර තිබුණා.

ඒ අනුව නඩුව අද කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම නියෝගය ප්‍රකාශයට පත්කර තිබෙනවා.

තැපැල් දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණය කිරීමට අවධානය

තැපැල් දෙපාර්තමේන්තුව නව්‍යකරණය සඳහා වන නව පනත මේ වසර අවසානයට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර පවසනවා.

පෞද්ගලික හා රාජ්‍ය අංශයේ ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස රුපියල් බිලියන 10ක වියදමින් මෙම නව්‍යකරණ කටයුතු සිදු කිරීමට සැලසුම් කර ඇති බවත්, කිසි විටක තැපෑල ඈවර කිරීමට ඉඩ නොතබන බවත් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති “ස්ථාවර රටකට සැවොම එක මඟකට” ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මේ බව සඳහන් කළා.

X-Press Pearl එකඟතා සඳහා නීතිපති ඇතුළු කණ්ඩායම අද සිංගප්පූරුවට

X-Press Pearl නෞකා අනතුරින් වූ හානිවලට අදාළ එකඟතා පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය පත් කළ විශේෂ කණ්ඩායම අද (17) සිංගප්පූරුව බලා පිටත්ව යාමට නියමිතව තිබෙනවා.

ඒ අනුව නීතිපති සංජය රාජරත්නගේ ප්‍රධානත්වයෙන් යුත් මෙම කණ්ඩායම හෙට හා අනිද්දා ඊට අදාළ සාකච්ඡා පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි සඳහන් වන්නේ.

නෞකා සහ රක්ෂණ සමාගම්වල නීතිඥයින් සහ නිලධාරීන් ඊට එක්වීමට නියමිතව තිබෙනවා.

විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීමට 30,000 කට ආසන්න පිරිසක් Online අයදුම් කරයි

අන්තර්ජාලය ඔස්සේ විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීම සඳහා මාසයක කාලයක් තුළ පුද්ගලයින් 30,000කට ආසන්න පිරිසක් අයදුම් කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පවසනවා.

ඒ අනුව පසුගිය ජුනි 15 වන දින සිට ජුලි 15 වනදා දක්වා ගතවූ දින 30 ක කාලය තුළ පුද්ගලයින් 29,578 දෙනෙකු ඒ සඳහා අයදුම් කර ඇති බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

අයදුම් කළ පිරිසෙන් 5,294 දෙනෙකු එක්දින සේවය සඳහා ද 24,285ක් සාමාන්‍ය සේවය සඳහා ද අයදුම්පත් ඉදිරිපත් කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

සෞඛ්‍ය ඇමතිට එරෙහි විශ්වාසභංගයට සහයෝගය ලබා ගැනීමට සාකච්ඡා අද ආරම්භ කරයි

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව පාර්ලිමේන්තුවට විශ්වාසභංගයක් ඉදිරිපත්  කිරීමට තීරණය කර ඇති බව සමගි ජන බලවේගයේ සාමාජික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පවසනවා.

ඒ අනුව මේ සඳහා සහයෝගය ලබා ගැනීමට පාර්ලිමේන්තුවේ සිටින පක්ෂ විපක්ෂ සියලුම පිරිස් සමඟ සාකච්ඡා කිරීම අද (17) ආරම්භ කරන බවයි ඔහු සඳහන් කළේ.

මෙම විශ්වාසභංගය ගෙන ඒම සිදුකරන්නේ සෞඛ්‍ය අමාත්‍යවරයාට පමණක් නොවන බවත් රාජපක්ෂ වික්‍රමසිංහ ආණ්ඩුවට විරුද්ධව බවත් සමස්ත කැබිනට් මණ්ඩලයම මේ සඳහා වග කිවයුතු බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් වැඩිදුරටත් සඳහන් කළේ.

ප්‍රශ්නගත එන්නත් කාණ්ඩය භාවිතය තාවකාලිකව අත්හිටුවයි

පේරාදෙණිය රෝහලේදී එන්නතක් ලබාදීමෙන් පසු තරුණියක් මියයාමට හේතුවූ වූ එන්නත් කාණ්ඩය තාවකාලිකව භාවිතය අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව මෙම එන්නතම භාවිතා කළ මහනුවර රෝහලේ රෝගීන් දෙදෙනෙකුට ආසාත්මිකතා මතුවූ බවත් මේ වන විට ඔවුන්ට අවශ්‍ය ප්‍රතිකාර සිදුකර ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන සඳහන් කළේ.

රෝගීන්ගේ සුරක්ෂිත තාවය සඳහා තාවකාලිකව මෙම ඖෂධය තත්ත්ව රසායනාගාරයකට යවා පරික්ෂා කරන තෙක් මහනුවර රෝහලට සහ පේරාදෙණිය රෝහලට ලබාදී ඇති කාණ්ඩය තාවකාලිකව ඉවත් කිරීමට තීරණය කර ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.