EPF/ETF කොල්ලයට සහ අසාධාරණ කම්කරු නීතිවලට එරෙහිව වෘත්තීය සමිති රැසක් විරෝධතාවක

සේවක අරමුදල් කොල්ලයට හා අසාධාරණ කම්කරු නීති සංශෝධනයට එරෙහිව අද (25) කොළඹ කොටුව දුම්රිය ඉදිරිපිට විරෝධතාවක් පැවැත්වුණා.

මේ සඳහා වෘත්තීය සමිති රැසක් නියෝජනය කරමින් විශාල පිරිසක් පැමිණ වර්ෂාව මධ්‍යයේ සිය විරෝධතාව දැක්වීමට කටයුතු කර තිබුණා.

මෙහිදී විරෝධතාවට එක්වෙමින් අන්තර් සේවක සංගමයේ සභාපති වසන්ත සමරසිංහ සඳහන් කළේ, සේවක අර්ථසාධක අරමුදල කොල්ලකන දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනාව හකුලාගන්නා තුරු මෙම සටන ඉදිරියටම සිදුකරන බවයි.

සේවක අර්ථසාධක අරමුදලට අත තැබීම නවත්වන ලෙසත්, ඊනියා කම්කරු නීති හකුලා ගන්නා ලෙසත්, ආණ්ඩුවට බලකර සිටින බවද අද පැවති විරෝධතාව සංකේතාත්මක විරෝධතාවක් පමණක් බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

ධාවනයෙන් ඉවත් කර තිබූ බස් රථ 175 ක් අලුත්වැඩියා කර යළි ධාවනයට

ධාවනයෙන් ඉවත් කර තිබූ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ 175ක් අලුත්වැඩියා කර නැවත මගී ප්‍රවාහන පද්ධතියට එක්කර තිබෙනවා.

ඊයේ (24) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් එය සිදුකර ඇති බවයි සඳහන් වන්නේ.

රටේ පැවති ආනයන සීමා හේතුවෙන් ඇතිවූ අමතර කොටස් හිඟය සහ මිලදී ගැනීමේ මූල්‍ය දුෂ්කරතා නිසා ඉවත් කර තිබූ බස් රථ මෙලෙස අලුත්වැඩියා කර තිබෙනවා.

වසර 03කට අධික කාලයක් ධාවනයෙන් ඉවත් කර තිබූ බස් රථ 852 කින් බස් රථ 400ක් නැවත අලුත්වැඩියා කිරීමට මහා භාණ්ඩාගාර ප්‍රතිපාදන යටතේ ඩිපෝ මට්ටමින් ව්‍යාපෘතියක් ආරම්භ කර තිබූ අතර, ඒ යටතේ වැඩ නිම කෙරුණු මෙම බස් රථ 175 සඳහා වැයකර ඇති මුදල රුපියල් මිලියන 300කට ආසන්න බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

බෙදුණු නඩු තීන්දුවක් හේතුවෙන් ඩයනාට එරෙහි පෙත්සම යළි විභාගයට ගැනීමට නියෝග

ඩයනා ගමගේ රාජ්‍ය අමාත්‍යවරියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකළ රීට් පෙත්සම යළි විභාගයට ගැනීමට අභියාචනාධිකරණය දින නියම කර තිබෙනවා.

ඒ අනුව පෙත්සමේ තීන්දුව අද (25) අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබූ අතර එහිදී සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සඳහන් කළේ, තමා සහ විනිසුරු මරික්කාර් අතර බෙදුණු නඩු තීන්දුවක් පවතින බවයි.

මේ හේතුවෙන් එම නඩුව පූර්ණ විනිසුරු මඩුල්ලක් හමුවේ යළි විභාගයට ගන්නා ලෙස නියෝග කර ඇති අතර පෙත්සම් විභාගය සැප්තැම්බර් මස 14 වන දින සිදු කිරීමට නියෝග කර තිබෙනවා.

ජෝන් හොප්කින්ස් සරසවියේ ප්‍රධාන තනතුරකට ශ්‍රී ලාංකිකයෙක්

අමෙරිකා එක්සත් ජනපදයේ සුප්‍රකට ජෝන් හොප්කින්ස් සරසවියේ අධ්‍යාපන ප්‍රධානියා ලෙස ශ්‍රී ලාංකිකයෙක් පත්ව තිබෙනවා.

ඒ අනුව කීර්තිමත් ශ්‍රී ලාංකික තාරකා භෞතික විද්‍යාඥයෙකු වන රේ ජයවර්ධන මෙලෙස පත්කර ඇති බවයි සඳහන් වන්නේ.

ඔහු යේල් සරසවියෙන් තාරකා විද්‍යා සහ භෞතික විද්‍යාව හදාරා ඇති අතර හාවඩ් විශ්ව විද්‍යාලයේ ආචාර්ය උපාධිධාරියෙක් වන ඔහු සුර්යග්‍රහ මණ්ඩලවල විවිධත්වය, මූලාරම්භය සහ පරිණාමය පිළිබඳ පර්යේෂණ රැසක් සිදුකර තිබෙනවා.

ඒ අනුව ඔහුගේ පත්වීම විශ්ව විද්‍යාල භාරකාර මණ්ඩලයේ විධායක කමිටුව අනුමත කර ඇති අතර ඔහු විශ්ව විද්‍යාලයේ ප්‍රධාන අධ්‍යයන නිලධාරියා ලෙස සේවය කිරීමට නියමිත බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

මෙරට භාවිත වන ඖෂධවලින් 80% ක් ඉන්දියාවෙන් ආනයනය කරන බවට අනාවරණයක්

මෙරටට ආනයනය කරනු ලබන ඖෂධවලින් 80% ක් ඉන්දියාවෙන් ආනයනය කරන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ සභාපතිත්වයෙන් පැවති සෞඛ්‍ය කටයුතු පිළිබඳ අමාත්‍යංශයීය උපදේශක කාරක සභාවේදී සෞඛ්‍ය අමාත්‍යංශයේ නිලධාරීන් විසින් මේ බව සඳහන් කර ඇති බවයි වාර්තා වන්නේ.

පේරාදෙණිය රෝහලේ සිදුවීම සිදුවන අවස්ථාවේ එම වාට්ටුවේම සිටි රෝගීන් 12 දෙනෙකුට ආන්දෝලනයට තුඩුදුන් අදාළ ඖෂධ කාණ්ඩය ලබාදී ඇති බවත්, එම ඖෂධ කාණ්ඩය මෙම වසර තුළ මේ දක්වා කාලය තුළ 167,000 කට භාවිතා කර ඇති බවද සෞඛ්‍ය අමාත්‍යවරයා මෙම සාකච්ඡාවේදී සඳහන් කර තිබෙනවා.

දිස්ත්‍රික් මට්ටමින් රෝහල් ආශ්‍රිතව පවතින ගැටලු, නිලධාරීන් සම්බන්ධ පුරප්පාඩු, ඖෂධ සහ උපකරණ හිඟය පිළිබඳව ද සෞඛ්‍ය කටයුතු පිළිබඳ අමාත්‍යංශයීය උපදේශක කාරක සභාවේදී දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇති බව වාර්තා වනවා.

අස්වැසුම සඳහා ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 200ක ණයක් ගැනීමට කැබිනට් අනුමැතිය

සමාජ ආරක්ෂණ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ලෝක බැංකුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 200ක ණයක් ලබාගැනීමට කැබිනට් අනුමැතිය ලබා දී තිබෙනවා.

අදාළ ණය මුදල ලබාගැනීම සඳහා ලෝක බැංකු සමූහයේ ජාත්‍යන්තර සංවර්ධන සමායතනය සමග අදාළ ගිවිසුමට එළඹීමට ජනාධිපතිවරයා විසින් කළ යෝජනාවටයි කැබිනට් අනුමැතිය හිමිව තිබෙන්නේ.

ඒ අනුව අස්වැසුම සුබසාධන ගෙවීමට සහාය වීම සඳහා ඩොලර් මිලියන185ක් ද, තෝරාගත් ප්‍රතිලාභීන් ආර්ථික වශයෙන් සවිමත්  කිරීම සඳහා  ඩොලර් මිලියන 7ක් ද, සමස්ත ව්‍යාපෘතිය කළමනාකරණය සහ සමාජ ආරක්ෂණ පද්ධතිය ශක්තිමත් කිරීම සඳහා ඩොලර් මිලියන 6ක් ද වශයෙන් සංරචක තුනක් යටතේ එම ණය මුදල ලබාගැනීමට නියමිත බව අදාළ කැබිනට් තීරණයේ වැඩිදුරටත් සඳහන්.

64bf9e20ab90f

දුම්රිය වර්ජනය අවසන් වෙයි

දුම්රිය සේවකයන් පිරිසක් විසින් ක්‍රියාත්මක කළ වර්ජනය අවසන් කළ බව එම දුම්රිය වෘත්තීය සමිති පවසනවා.

කෙසේ නමුත් අද (24) දින දුම්රිය ප්‍රමාද වීම් හා දුම්රිය අවලංගුවීම් තවදුරටත් සිදුවිය හැකි බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

දුම්රිය වර්ජනයට එරෙහිව දැඩි තීන්දුවක් ගැනීමට කටයුතු කරනවා – බන්දුල

ජනතාවට පීඩා ඇති කරමින් දුම්රිය වැඩ වර්ජන ක්‍රියාත්මක කිරීමට එරෙහිව කැබිනට් මණ්ඩලයේදී දැඩි තීන්දුවකට එළඹෙන බව ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසනවා.

ජනතාව අපහසුතාවට පත් නොවන ආකාරයෙන් ගැටලු සාකච්ඡා මාර්ගයෙන් විසඳාගන්නා ලෙස වෘත්තීය සමිති දැනුවත් කර ඇති බවත්, එසේ නොමැතිව ජනතාව අතරමං කරන ආකාරයේ වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නේ නම් ඒ සම්බන්ධයෙන් දැඩිව කටයුතු කළ යුතු බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

දුම්රිය වැඩ වර්ජනය සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේ අද රැස්වන කැබිනට් මණ්ඩලයේදී මේ සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමට බලාපොරොත්තු වන බවයි.

ශ්‍රී ලංකාවේ නෝර්වේ තානාපති කාර්යාලය වසා දැමේ

ශ්‍රී ලංකාවේ නෝර්වේ තානාපති කාර්යාලය ලබන ජුලි 31 වනදා සිට වසා දැමීමට තීරණය කර තිබෙනවා.

ඉන්පසු ශ්‍රී ලංකාව සහ මාලදිවයින සමඟ ද්විපාර්ශවික සබඳතා සඳහා කටයුතු කරනු ලබන්නේ ඉන්දියාවේ නවදිල්ලි නුවර නෝර්වේ තානාපති කාර්යාලය බවයි එම තානාපති කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළේ.

ජයන්ත කැටගොඩගේ පනත් කෙටුම්පත ගැන නීතිපතිගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දීමක්

මහ නගර සභා හා පළාත් පාලන ආයතන සංශෝධිත පනත් කෙටුම්පතේ අන්තර්ගත වගන්තිවලින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන උල්ලංඝනය වන බව නීතිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබෙනවා.

ඒ අනුව අදාළ පනත් කෙටුම්පත සම්මත කරන්නේ නම්, පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක විශේෂ බහුතර ඡන්දයකින් අනුමත වී එය ජනමත විචාරණයකින්ද අනුමත විය යුතු බවයි නීතිපතිවරයා අධිකරණයට දැනුම්දී ඇත්තේ.

අදාළ පනත් කෙටුම්පතේ අන්තර්ගත විධි විධානවලින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ගොනු කර තිබුණු පෙත්සම් 27ක් අද (24) යළි විභාගය සඳහා කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය අධිකරණයට මෙම දැනුම්දීම සිදුකර තිබෙනවා.

පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ විසින් මහ නගර සභා හා පළාත් පාලන ආයතන සංශෝධිත පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා.