අක්ෂි සැත්කම්වලින් පසු භාවිතා කළ ඖෂධයකින් සංකූලතා ඇතිවීමේ සිදුවීම ගැන පරීක්ෂණ ආරම්භ කරයි

අක්ෂි සැත්කම් සිදු කිරීමෙන් පසු භාවිතා කළ ඖෂධයකින් සංකූලතා ඇති වු සිද්ධීන් සම්බන්ධයෙන් වාර්තාවක් නිකුත් කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය අතිරේක ලේකම් ආර්.එම්.එස්.කේ. රත්නායක පවසනවා.

ඒ අනුව මේ සම්බන්ධයෙන් සොයා බැලීමට සෞඛ්‍ය ලේකම්වරයා විසින් 10 දෙනෙකුගෙන් සමන්විත විශේෂඥ කමිටුවක් පත්කර ඇති බවයි ඔහු සඳහන් කළේ.

මේ වන විට ඖෂධය ගෙන්වන ලද ආයතනය, ඖෂධය පාවිච්චි කරන ලද ආයතන සහ ඖෂධ පාවිච්චි කරන ලද රෝගීන් සම්බන්ධයෙන් සම්පූර්ණ වාර්තාවක් ලබාගෙන ඇති බවද ඔහු සඳහන් කළා.

ලබාගත් තොරතුරු මත සියලුම දත්ත වාර්තා විශ්ලේෂණය කර සම්පූර්ණ වාර්තාවක් සෞඛ්‍ය ලේකම්වරයාට භාරදීමෙන් අනතුරුව ඉදිරි ක්‍රියාමාර්ග අමාත්‍යංශය විසින් තීරණය කරනු ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය අතිරේක ලේකම් ආර්.එම්.එස්.කේ. රත්නායක වැඩිදුරටත් සඳහන් කළේ.

ප්‍රවීණ මාධ්‍යවේදී ලාල් සරත් කුමාර අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ මාධ්‍යවේදියෙක්, හඩකැවීම් ශිල්පියෙක් සහ රංගන ශිල්පියෙක් වන ලාල් සරත් කුමාර මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මිය යන විට ඔහු 69 වන වියේ පසු වුණා.

ලංගම බස් රථයක් ප්‍රපාතයකට පෙරළී 12 කට තුවාල

කොළඹ සිට නුවරඑළිය දක්වා ධාවනය වු ලංගම බස් රථයක් මාර්ගයෙන් ඉවතට ලිස්සා ගොස් ප්‍රපාතයකට පෙරළීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් 12 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

ඒ අනුව කොළඹ හැටන් ප්‍රධාන මාර්ගයේ වටවල සිංහල විදුහල අසලදී එම අනතුර සිදුව ඇති බවයි සඳහන් වන්නේ.

අනතුරෙන් බස් රථයේ ගමන් ගත මගින් 12 දෙනෙකු පමණ තුවාල ලබා වටවල ප්‍රාදේශිය රෝහලට ඇතුළත් කර ඇති බවත්, බරපතළ තත්ත්වයේ සිටි තුවාලකරුවන් පස්දෙනෙකු නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහල වෙත මාරු කර යවා ඇති බවයි සඳහන් වන්නේ.

ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ඉදිරියට ධාවනය වු බස් රථයකට ඉඩ ලබාදිමට යාමේදී බස් රථය මෙලෙස මාර්ගයෙන් ඉවතට ලිස්සා ගොස් එම අනතුර සිදුව ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

ඇසළ පුර පසළොස්වක පොහොය අද

ඇසළ පුර පසළොස්වක පොහොය අදට (01) යෙදී තිබෙනවා.

සිදුහත් කුමරා මවු කුස පිළිසිඳ ගැනීම, අභිනිෂ්ක්‍රමණය, බුදුරජාණන් වහන්සේ ප්‍රථම ධර්ම දේශනාව වූ ‘ධම්මචක්ක පවත්තන සූත්‍රය’ දේශනා කිරීම යන කරුණු නිසා ඇසළ පොහෝ දිනය බෞද්ධ ජනතාවට ඉතා වැදගත් වනවා.

රාහුල කුමරුගේ උපත සිදුවීම, තීර්ථකයන්ගේ මානය බිඳීම සඳහා ගන්ධබ්බ රුක් මූලයේදී යමාමහ පෙළහර පෑම, කීර්ති ශ‍්‍රී රාජසිංහ රජුගේ කාලයේ සියම් රටින් උපාලි තෙරුන් වහන්සේ ඇතුළු පිරිස ගෙන්වා ලංකාවේ උපසම්පදාව යළි ඇති කිරීම ඇසළ පෝය දවසේ සිදුවූ බවයි ශාසන ඉතිහාසයේ දැක්වෙන්නේ.

සමනල වැව ජලාශයෙන් ජලය නිකුත් කළොත් දකුණු පළාතට පැය 4 ක් විදුලිය කපන්න වෙනවා – කංචන

සමනල වැව ජලාශයෙන් ජලය නිකුත් කිරීමට කටයුතු කළහොත් ගාල්ල, මාතර, හම්බන්තොට, කෑගල්ල හා රත්නපුර දිස්ත්‍රික්කවලට අවම පැය 4 ක විදුලි කප්පාදුවක් කිරීමට සිදුවන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

ඒ අනුව සමනල වැව ජලාශයේද මේ වන විට ජල මට්ටම අඩුවී ඇති බවත් එයින් ජලය නිකුත් කළද ගොවිතැන් කළ හැක්කේ දින තුනක් හතරක් පමණක් බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

මෙම තත්ත්වය යටතේ විදුලිය කප්පාදුවකින් තොරව නිකුත් කළ කැකි ජල ප්‍රමාණය පමණක් නිකුත් කිරීමට කටයුතු කළ යුතු බවයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර වැඩිදුරටත් සඳහන් කළේ.

ජාතික ගීය වෙනස් කර ගායනා කිරීම පිළිබඳ පරීක්ෂණයක්

ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ සමාරම්භක උත්සවයේදී ජාතික ගීය වෙනස් කර ගායනා කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයෙන් පරීක්ෂණයක් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.

ජාතික ගීය හිතුමතේ වෙනස් කිරීම ව්‍යවස්ථා විරෝධී ක්‍රියාවක් බවයි එම අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ.

ඒ අනුව අදාළ සිද්ධිය සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණයක් පවත්වන බවයි රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශ ලේකම් කේ. ඩී. එන්. රංජිත් අශෝක වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ.

64c7b7de4eda9

අනුර ඇතුළු පිරිසකට කොළඹ ස්ථාන කිහිපයක උද්ඝෝෂණ පැවැත්වීම තහනම් කරමින් අධිකරණ නියෝගයක්

කොළඹ ප්‍රධාන ස්ථාන කිහිපයක මහජන පීඩාවක් වන පරිදි උද්ඝෝෂණ පැවැත්වීම තහනම් කරමින් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ඇතුළු පිරිසකට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව අද දහවල් 12.00 සිට පස්වරු 06.00 දක්වා කාලය තුළ ජනාධිපති ලේකම් කාර්යාලය, ජනාධිපති මන්දිරය, මුදල් අමාත්‍යාංශය, මහ බැංකුව, පොලිස් මූලස්ථානය, කොටුව දුම්රිය ස්ථානයේ සිට CTO මංසන්ධිය දක්වා වන ඕල්කට් මාවත, CTO මංසන්ධියේ සිට සෙරමික් මංසන්ධිය NSA වටරවුම දක්වා ඇති ලෝටස් මාර්ගය ආශ්‍රිතව උද්ඝෝෂණ පැවැත්වීම තහනම් කර තිබෙනවා.

එසේම යෝර්ක් වීදිය, බැංකු මාවත, චැතැම් මාවත, මුදලිගේ මාවත, බාරොන් ජයතිලක මාවත, පොලිස් මූලස්ථානය ඉදිරිපිට, බාලදක්ෂ මාවත චෛත්‍ය පාර, ජනාධිපති මාවත, ගාලු මුවදොර වටරවුමේ සිට NSA වටරවුම දක්වා ගාලු පාර ද ජනාධිපති ලේකම් කාර්යාලය වෙතද ගාලු මුවදොර පිටිය පරිශ්‍රයේද උද්ඝෝෂණ සහ පා ගමන් පැවැත්වීම තහනම් කර ඇති බවයි සඳහන් වන්නේ.

පැයක දෙකක විදුලිය කප්පාදුවක් සිදුවුවත් ගොවිතැන් සඳහා ජලය නිකුත් කිරීම අත්‍යවශ්‍යයෙන්ම සිදුකළ යුතුයි – කෘෂිකර්ම ඇමති

පවතින වියලි කාලගුණ තත්ත්වය හමුවේ උඩවලව ජලාශයේ ජල මට්ටම සැලකිය යුතු පහළ යාම හේතුවෙන් ඒ යටතේ වගා කර ඇති කුඹුරු අක්කර 50,000 කට වැඩි ප්‍රමාණයකට ජලය සපයා ගැනීමේ ගැටලුවක් මතුව තිබෙනවා.

පවතින තත්ත්වය යටතේ ගොවිතැන් කටයුතු සඳහා උඩවලව ජලාශයට සමනල වැවෙන් ජලය නිකුත් කළහොත් දකුණු පළාත තුළ විදුලි කප්පාදුවක් සිදු කිරීමේ අවදානමක් මතුවන බව ලංකා විදුලිබල මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ ඉංජිනේරු සංගමය පවසනවා.

ඒ අනුව එහි මාධ්‍ය ප්‍රකාශක නන්දික පතිරගේ සඳහන් කළේ, ඉල්ලුම් කරන පරිදි ජල මුදාහැරීම සිදු කළහොත් විදුලි ජනනය සඳහා ජලය නොමැති වන බවයි.

එලෙස නිකුත් කරන්නේ නම් හදිසි විදුලිය ලබා ගැනීමක් සිදුකළ යුතු බවත්, එසේ නොමැති නම් යම් මට්ටමක විදුලිය කප්පාදුවක් දකුණු පළාත තුළ සිදු කිරීමට සිදුවන බවද ඔහු සඳහන් කළා.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කළේ, මේ අවස්ථාවේදී සිදුකළ හැකි හොඳම දෙය වන්නේ පැයක දෙකක විදුලිය කප්පාදුවක් සිදුවුවද රටේ ආර්ථික තත්ත්වය ගැන සලකා බලා ගොවිතැන් සඳහා ජලය නිකුත් කිරීම අත්‍යවශ්‍යයෙන්ම සිදුකළ යුතු බවයි.

වියලි කාලගුණය හමුවේ පළාත් කිහිපයක ජලාශ රැසක ජල මට්ටම් පහතට

උතුරු, උතුරු මැද හා නැගෙනහිර පළාත ඇතුළු තවත් ප්‍රදේශ කිහිපයකට බලපෑ ඇති දැඩි වියලි කාලගුණ තත්ත්වය හමුවේ ජලශ රැසක ජල මට්ටම් සැලකිය යුතු ලෙස පහත වැටී තිබෙනවා.

ඒ අනුව මෙම කළාපයට අයත් ජලාශ 6000 ක පමණ ජලය සිඳී ගොස් ඇති අතර අනුරාධපුර, පොළොන්නරුව සහ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කවලද වැව් රැසක ජල මට්ටම් පහත බැස ඇති බවයි සඳහන් වන්නේ.

මෙම ප්‍රදේශවලට වැසි ලැබේවි යැයි බලාපොරොත්තු විය හැක්කේ ඔක්තෝම්බර් මාසයේදී බවත්, පවතින තත්ත්වය යටතේ අත්‍යවශ්‍යම කටයුතු සඳහා පමණක් ජලය භාවිතා කරන ලෙසයි ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය ඉල්ලා සිටින්නේ.

මෙම තත්ත්වය යටතේ ලැබෙන ජල ප්‍රමාණය ප්‍රවේශමෙන් පරිහරණය කරන ලෙසත් වාහන සේදීම, පැළවලට වතුර දැමීම වැනි දේ සිදු නොකර පානීය ජලය සහ අනෙකුත් අවශ්‍යතාවයන් සඳහා පමණක් භාවිතා කරන ලෙසයි ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ අනුරාධපුර දිස්ත්‍රික් ප්‍රදේශීය කළමණාකරු සිදත් කස්තුරිආරච්චි වැඩි දුරටත් සඳහන් කළේ.

ප්‍රමිති ගැටලු හේතුවෙන් මාස 7 ක් තුළ ඖෂධ 65 ක් භාවිතයෙන් ඉවතට

වසරේ ගතවූ කාලය තුළ ප්‍රමිතිය සම්බන්ධ ගැටලු හේතුවෙන් ඖෂධ 65 ක් භාවිතයෙන් ඉවත්කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

ඒ අනුව වෛද්‍ය සැපයුම් අංශයට ගෙන්වන ලද ඖෂධ අතරින් සෑම වසරකම ප්‍රමිතිය සම්බන්ධ ගැටලු හේතුවෙන් ලැබෙන පැමිණිලි මත පරීක්ෂණ සිදුකර ඖෂධ 80 ත් 100 ත් අතර ප්‍රමාණයක් භාවිතයෙන් ඉවත් කිරීමට සිදුකරන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ එහි අතිරේක ලේකම්, විශේෂඥ වෛද්‍ය සමන් රත්නායක සඳහන් කළේ.

ප්‍රමිතිය සම්බන්ධ ගැටලු හේතුවෙන් 2023 වසරේදී මේ දක්වා ඖෂධ 65 ක් භාවිතයෙන් ඉවත්කර ඇති අතර ඒ යටතට ඉන්දියානු ණය ආධාර යටතේ ගෙන්වන ලද ඖෂධයක් ද වන බවයි ඔහු සඳහන් කළේ.