LECO විදුලි බිල්පත්වලට 08 වැනිදා සිට නව බද්දක්

සීමාසහිත ලංකා විදුලි පුද්ගලික සමාගමේ (LECO) සියලුම විදුලි බිල්පත් සඳහා සමාජ ආරක්ෂණ බද්ද එකතු කෙරෙන බව එම සමාගම පවසනවා.

2023 සැප්තැම්බර් 08 වැනිදා සිට මෙම නව බද්ද එකතු කරන බවද, ඒ අනුව සැප්තැම්බර් මස විදුලි බිල්පත්වල සිට මෙම බද්ද පාරිභෝගිකයින්ට පෙන්නුම් කරනු ඇති බවද එම සමාගම වැඩිදුරටත් සඳහන් කරනවා.

Fitch Ratings ශ්‍රී ලංකාවේ එක් ණය ශ්‍රේණියක් උසස් කරයි

ශ්‍රී ලංකාවේ දිගු කාලීන දේශීය-මුදල් නිකුතු ශ්‍රේණිය ‘RD’ (Restricted Default) හෙවත් සීමිත පැහැරහැරීමේ මට්ටමේ සිට ‘CCC-‘ වෙත උසස් කිරීමට Fitch Ratings ජාත්‍යන්තර ණය වර්ගීකරණ ආයතනය පියවර ගෙන තිබෙනවා.

මෙම උසස් කිරීම හරහා මහ බැංකුව, 2023 ජූලි මාසයේදී දියත් කරන ලද, ශ්‍රී ලංකාවේ දේශීය ණය ප්‍රශස්ත කිරීමේ (DDO) සැලැස්මේ දේශීය මුදල් කොටස සම්පූර්ණ කිරීම පෙන්නුම් කරන බවයි සඳහන් වන්නේ.

TODAY: බිනර පුර පසළොස්වක පෝය අදයි

බිනර පුර පසළොස්වක පෝය අදට යෙදී තිබෙනවා.

මෙහෙණි සසුනේ ආරම්භය බිනර පුන් පොහෝදා සිදුවීම සුවිශේෂී වන අතර ආනන්ද හිමිගේ බලවත් උත්සාහය මත කරුණු පහදා දී මහා ප්‍රජාපතී ගෝතමිය ප්‍රධාන කාන්තාවන්ට බුදු සසුනේ නිවන් මඟා විවෘත කළ බවයි ශාසන ඉතිහාසයේ දැක්වෙන්නේ.

එහිදී පැවිද්ද අවශ්‍ය නම් අෂ්ඨ ගරු ධර්ම පිළිගත යුතු බව එහිදී බුදු හිමියන් වදාළ බවත් මහා ප්‍රජාපති ගෝතමී එය පිළිගැනීමෙන් පසු පැවිද්ද ලබාගැනීමට හැකි වූ අතර භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා යන සිව්වනක් පිරිස ආරම්භ වන්නේ ද අද වැනි පෝය දිනකයි.

තපස්සු, භල්ලුක වෙළෙඳ දෙබෑයන්, බුදු පියාණන් වහන්සේගේ කේශ ධාතු තැන්පත් කරන ලද ගිරිහඬු සෑය ඉදිකිරීමත් බුදු පියාණන් වහන්සේගේ ලාලාට ධාතු තැන්පත් කර ඇති සේරුවාවිල මහා සෑයේ ඉදිකිරීමත් මෙම උතුම් බිනර පොහෝ දිනයේදී සිදුව තිබෙනවා.

ප්‍රදේශ කිහිපයකට ගංවතුර අවදානමක් ගැන අනතුරු ඇඟවීමක්

පවතින අධික වැසි තත්ත්වයත් සමග ගංගා කිහිපයක ජල මට්ටම මේ වනවිට තවදුරටත් ඉහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජලවිද්‍යා හා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.

ඒ අනුව මේ වනවිට පානදුගම ප්‍රදේශයෙන් නිල්වලා ගඟේ ජල මට්ටම සුළු ගංවතුර තත්ත්වයක් දක්වා වර්ධනය වී ඇති අතර මේ හේතුවෙන් ඉදිරි පැය 24 තුළ කොටපොළ, පිටබැද්දර, පස්ගොඩ, අකුරැස්ස, අතුරලිය, මාලිම්බඩ, තිහගොඩ, මාතර සහ දෙවිනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පහත් බිම් ප්‍රදේශවලට ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවයි සඳහන් වන්නේ.

එසේම තලගහගොඩ ප්‍රදේශයෙන් ද නිල්වලා ගඟේ ජල මට්ටම ගැන අවධානයෙන් පසුවිය යුතු මට්ටම දක්වා වර්ධනයවී ඇති අතර අත්තනගලු ඔයේ ජල මට්ටම ද ඉහළ යමින් පවතිනවා.

ගිං ගඟේ ජල මට්ටම ද මේ වනවිට ඉහළයමින් පවතින අතර එය බද්දේගම සහ තවලම ප්‍රදේශවලින් අධානයෙන් සිටිය යුතු මට්ටම දක්වා වර්ධනය වී ඇති අතර කළු ගඟේ අතු ගංගාවක් වන කුඩා ගඟේ ජල මට්ටම ද මේ වනවිට ඉහළයමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජලවිද්‍යා හා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කළේ.

පගා ගහලා ඉන්දියන් කුණු බිත්තර ගෙනල්ලා මේ රටේ මිනිස්සුන්ට කවනවා – අසේල සම්පත්

ඉන්දියානු බිත්තර මෙරටට ආනයනය කිරීම හරහා විශාල කොමිස් ගනුදෙනුවක් සිදුවන බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් පවසනවා.

රාජ්‍ය වාණිජ (විවිධ) නීතිගත සංස්ථාවේ සභාපතිවරයා ඇතුළු පිරිසක් එක්ව මෙය සිදුකරන බවත් එය ඔප්පු කිරීමටද තමන් සූදානම් බවයි මාධ්‍යවේදියෙකු සමඟ පැවති සංවාදයක් අතරතුර ඔහු සඳහන් කළේ.

මෙරටට ගෙන්වන්නේ ඉන්දියාවෙන් දෛනිකව ඉවත් කරනු ලබන භාවිතයට නුසුදුසු බිත්තර බවද, එම බිත්තර අඩු මුදලකට ලැබුනද එය වෙළඳපොළට පැමිණෙන විට මිල විශාල ලෙස වැඩිවන බවද ඔහු පෙන්වා දෙනවා.

ලබන සතියේ සිට මහ කන්නය සඳහා ජලය නිකුත් කිරීම ඇරඹේ

ලබන මස 5 වැනි දා සිට මහ කන්නයේ වගාවන් සඳහා ජලය නිකුත් කිරීම ආරම්භ කරන බව ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය පවසනවා.

ඒ අනුව පළමුවෙන්ම කලා වැව හරහා යෝධ ඇළට ජලය නිකුත් කිරීම ආරම්භ කරන බවයි ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් නිලන්ත ධනපාල සඳහන් කළේ.

මේ හරහා මහඉලුප්පල්ලම, කට්ටියාව, කලා වැව, ඉපලෝගම යන ප්‍රදේශවලට ජලය සැපයෙන අතර නොවැම්බර් 1 වැනි දින සිට මහවැලි අධිකාරියට අයත් සියලුම ප්‍රදේශවලට වාරි ජලය නිදහස් කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

මිලාද් උන් නබි උත්සවය අදයි

ශුද්ධ වූ මොහොමඩ් නබි තුමන්ගේ ජන්ම දිනය හෙවත් මිලාද් උන් නබි උත්සවය අදට (28) යෙදී තිබෙනවා.

ඉස්ලාම් චන්ද්‍ර දින දර්ශනයේ තුන්වන මාසය වන රබිඋනිල් අව්වල් මාසයේ අද වැනි දිනක සෞදි අරාබියේ මක්කා නගරයේදී නබි නායකතුමන් උපත ලබා ඇති බවයි සඳහන් වන්නේ.

මනුෂ්‍යත්වයෙන් පිරිපුන් ගෞරවණීය මානව ප්‍රේමයක් ගොඩනැගීමට කැපවූ නබි නායකතුමන්ගේ උපන්දිනය ලොව පුරා වෙසෙන ඉස්ලාම් බැතිමතුන් අද දිනයේ මෙය සමරනු ලබනවා.

මීටියාගොඩ ප්‍රදේශයේ වෙඩි තැබීමක්

අම්බලන්ගොඩ, මීටියාගොඩ ප්‍රදේශයේ දී සිදුවු වෙඩි තැබිමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබෙනවා.

මෙලෙස වෙඩි වැදීමෙන් තුවාල ලබා ඇත්තේ 47 හැවරිදි පුද්ගලයෙක් බවයි සඳහන් වන්නේ.

යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් එම වෙඩිතැබීම සිදුකර පළා ගොස් ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

ධනුෂ්ක ගුණතිලක නිවැරදිකරු බවට තීන්දු කෙරේ

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක අනුමැතියකින් තොරව ලිංගික සංසර්ගයේ යෙදුනු බවට එල්ලවූ චෝදනාවට වැරදිකරු නොවන බවට ඔස්ට්‍රේලියානු අධිකරණය තීන්දු කර තිබෙනවා.

ඒ අනුව නඩු තීන්දුව ලබාදෙමින් විනිසුරුවරයා ධනුෂ්ක ගුණතිලක නිවැරදි බවට තීන්දු කර ඇති බවයි වාර්තා වන්නේ.

නොවැම්බර් මාසයේදී T-20 ලෝක කුසලානය සඳහා ඕස්ට්‍රේලියාවට ගොස් සිටියදී කාන්තාවකට ලිංගික අතවර කිරීමේ චෝදනාව මත ධනුෂ්ක ගුණතිලක අත්අඩංගුවට ගෙන තිබුණා.

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ රුපියල් ලක්ෂයට අඩු තැන්පතු සම්බන්ධයෙන් නව චක්‍රලේඛයක්

රුපියල් ලක්ෂයට අඩු තැන්පතු සහිත ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ පොලී රඳවා ගැනීම නිසා ඇතිවී තිබූ ගැටලුව විසඳමින් නව චක්‍රලේඛයක් නිකුත් කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

ඒ අනුව මේ හරහා රුපියල් ලක්ෂයකට අඩු තැන්පතු ඇති ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට රඳවා ගැනීමේ බද්ධ නිසා මෙතෙක් මුහුණ දීමට සිදුවූ අසාධාරණයට විසඳුමක් ලබාදී ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

මෙම ගැටළු සම්බන්ධයෙන් විමසා බැලීම සඳහා 1944 නව දුරකථන අංකයක්ද වෙන්කර ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.