පක්ෂ වලින් ජන්දෙට වියදම් කල මිලියන ගණන මුදල් වල ගණන් මෙන්න

By: අශන්ති වරුණසුරිය
පාර්ලිමේන්තු මැතිවරණයට සතියක කාලයක් ඉතිරිව තිබියදී සමගි ජන බලවේගය මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය වෙනුවෙන් වැඩිම වියදමක් දැරූ දේශපාලන පක්ෂය ලෙස වාර්තාවන බව මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය පවසයි.
මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා අතුරින් වැඩිම සංඛ්‍යාවක් ඉදිරිපත්ව ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එරෙහිව බවද එම මධ්‍යස්ථානය පවසයි.
එම වාර්තාවන්ට අනුව සමගි ජන බලවේගය දැනට මුද්‍රිත මාධ්‍ය (පුවත්පත්) ප්‍රචාරණ කටයුතු වෙනුවෙන් රුපියල් මිලියන 6ක්, විද්‍යුත් මාධ්‍ය වෙනුවෙන් මිලියන 168ක් සමාජීය මාධ්‍ය ප්‍රචාරණය වෙනුවෙන් මිලියන 2ක් සහ වෙනත් වියදම් ලෙස මිලියන 9ක් වශයෙන් රුපියල් මිලියන 185ක සමස්ත වියදමක් දරා ඇති බව සදහන් වේ.
එය දෙවන ස්ථානයට පත් පොදුජන පෙරමුණ නිල වශයෙන් අනාවරණය කර ඇති සංඛ්‍යා ලේඛනවලට අනුව එම පක්ෂය මුද්‍රිත මාධ්‍ය, විද්‍යුත් මාධ්‍ය, සමාජ මාධ්‍ය සහ වෙනත් වියදම් වශයෙන් පිළිවෙළින් රුපියල් මිලියන 19ක්, 107ක්, 5ක් සහ 20ක් ලෙස මිලියන 151ක මුදලක් වැයකර ඇත.
මීට අමතරව එක්සත් ජාතික පක්ෂය රුපියල් මිලියන 123ක් මැතිවරණ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් වැයකරමින් මෙම ලැයිස්තුවේ තෙවන තැනට පත්ව සිටියි.
මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා ලැයිස්තුවේ පළමු තැන සිටින පොදුජන පෙරමුණට එරෙහිව පැමිණිලි 302ක් ලැබී ඇති අතර සමගි ජන බලවේගයට එරෙහිව ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 109කි. මීට අමතරව එක්සත් ජාතික පක්ෂයට එරෙහිව 43ක්ද ඉලංකෙයි තමිල් අරසු පක්ෂයට එරෙහිව 23ක්ද වශයෙන් පැමිණිලි ලැබී ඇත.
නිලනොවන ලෙස සලකා බලන කල මැතිවරණ ප්‍රචාරක වියදම් ලෙස එක් එක් අපේක්ෂකයන් පෞද්ගලික වියදම් කර ඇති ධනය මෙන් සඳහන් මුදලට වඩා අතිමහත් බවද මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථාන වැඩිදුරටත් ප්‍රකාශ කරයි

පී.එච්.අයි නිලධාරීන් කොරෝනා රාජකාරී වලින් ඉවත් වුනේ ඇයි ? කරුණු පහදයි

දිවයිනේ සියලුම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අද (17) දහවල් 12 සිට කොරෝනා පාලනයට අදාළ සියලුම රාජකාරීවලින් ඉවත් වී තිබෙනවා.
කොරෝනා පාලනය සඳහා නෛතික පහසුකම් නොමැතිවීම සහ 1897 අංක 03 දරණ නිරෝධායන සහ රෝග වැළැක්වීමේ පනත යටතේ මහජන සෞඛ්‍යවරුන්ට බලය ලබා නොදීම,අත්තනෝමතික ලෙස දේශපාලන රැස්වීම් පැවැත්වීම,මැතිවරණයට අදාළ ගැසට්ටුව නිකුත් නොකිරීම සහ සෞඛ්‍ය ඇමතිනිය කරන ලද ප්‍රකාශයක් සම්බන්දයෙන් මෙම පියවර ගෙන තිබෙනවා.
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට බලය ලබාදුන්නහොත් මහජනතාවට පීඩාවක් ඇති වන බවට සෞඛ්‍ය ඇමතිනිය ප්‍රකාශයක් කරනු ලැබුවා.
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ⁣ලේකම් එම් බාලසූරිය සඳහන් කරන්නේ කොරෝනා පාලනයේදී බිම් මට්ටමෙන් ක්‍රියාත්මක වීමේදී නෛතික පහසුකමක් නොමැති වීම විශාල ගැටළුවක් බවත් මේ වන විට ලංකාව පුරා මෙම රෝගය පැතිරෙන තත්ත්වයක් ඇති බවයි.
තත්ත්වය එසේ තිබියදී සෞඛ්‍ය උපදෙස් පිළිනොපදින අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට නොහැකි වී ඇතැයි ද අත්⁣තනෝමතික ලෙස මැතිවරණ රැස්වීම් පවත්වමින් ඇතැයි ද ඒ මහතා සඳහන් කරනවා.

පුරාවිද්‍යා භූමියට හානි කිරීම පිළිබඳව සොයාබැලීමට අගමැතිගෙන් විද්වත් කමිටුවක්

13 සියවසේ කුරුණෑගල රාජධානි සමයට අයත් වන පුරාවිද්‍යා වටිනාකමක් සහිත ගොඩනැගිලිවලට හානි කිරීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ අවධානය යොමුව ඇති බව අග්‍රාමත්‍ය කාර්යාලය නිවේදනය කර සිටියි.
මෙම පුරාවිද්‍යා වටිනාකමක් සහිත ගොඩනැගිලි වලට හානි කිරීම පිළිබඳව වහාම සොයා බලා තමාට වාර්ථාවක් ලබාදෙන ලෙස අග්‍රාමාත්‍ය වරයා සංස්කෘතික අමාත්‍යවරයා වශයෙන් සංස්කෘතික අමාත්‍යාංශ ලේකම්වරයාට දැනුම් දී තිබේ.
ඒ අනුව මෙම පුරාවිද්‍යා භූමියට හානි කිරීම පිළිබඳව සොයාබැලීමට බුද්ධශාසන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාශ ලේකම් බන්දුල හරිස්චන්ද්‍ර විසින් විශේෂඥ කමිටුවක් පත්කොට ඇත.
කමිටුවේ සභාපතිවරයා වශයෙන් පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය සෙනරත් දිසානායක කටයුතු කරනු ලබන අතර කුරුණෑගල දිස්ත්‍රික් ලේකම්  ආර්, එම් රත්නායක, පුරාවිද්‍යාඥ මහාචාර්ය ටී.බී කුලතුංග සංස්කෘතික අමාත්‍යාංශයේ  නියෝජ්‍ය අධ්‍යක්ෂක ප්‍රසාද් රණසිංහ, සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ වාස්තු විද්‍යාඥ සුමේධා මාතොට මෙම කමිටුවට ඇතුළත් සාමාජිකයින් වන අතර මෙම මස 23 වෙනිදාට පෙර එහි වාර්තාව  ලබා දීමට නියමිතය.
කුරුණෑගල නගරයේ පිහිටි මෙම හානි වූ ගොඩනැගිල්ල පුරාවස්තු ආඥා පනත යටතේ පුරාවිද්‍යා රක්ෂිතයක් ලෙස ගැනෙන ස්මාරකයක් බව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරයි.
මෙය දහතුන්වන සියවසේ කුරුණෑගල රාජධානි සමයට අයත් රාජ සභා ශාලාව ලෙස ද විශ්වාස කරනු ලැබේ.

ලෝක මුස්ලිම් ලීගයෙන් හිටපු ජනපතිට දුන් ඩොලර් මිලියන 05 ට මොකද වුනේ ?

පසුගිය වසරේ අප්‍රේල් මස 21 සිදුවුණු පාස්කු ප්‍රහාරයෙන් පසු කතෝලික පල්ලිවලට සහ ජනතාවට සහන සැලසීමට ලෝක මුස්ලිම් ලීගය විසින් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට ලබා දුන් ඇමෙරිකානු ඩොලර් මිලියන 05ක මුදලක් පිළිබදව කිසිදු තොරතුරක් නොමැති බව පාස්කු ප්‍රහාරය සම්බන්ධ ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබා දුන් සෙත් සරණ ආයතනයේ අධ්‍යක්ෂ දොන් නිශාන්ත ලෝරන්ස් රාමනායක පියතුමා කියා සිටිනවා.
එම මුදල ඩුබායිහි පිහිටි මුස්ලිම් වර්ල්ඩ් ලීග් සංවිධානය විසින් ලබාදුන් අතර ඒ සදහා අදාළ චෙක්පතක අනුරුවක් හිටපු ජනාධිපති සිරිසේන මහතාට නෙළුම් පොකුණ රගහලේදී පැවැති උත්සවයකදී ලබා දුන් බවත් ඔහු කියා සිටියේ.
පාස්කු ප්‍රහාරයෙන් අනතුරුව මෙරටට ලබාදුන් ආධාර සහ පල්ලිවලට ලබා දුන් ආධාර සම්බන්ධව සාක්ෂි විමසීමේදී කරුණු දක්වමින් රාමනායක පියතුමා තව දුරටත් කියා සිටියේ එසේ ලබා දුන්නේයැයි කියන මුදලෙන් කිසිදු දායකත්වයක් කතෝලික ජනතාවට නොලැබුණු බවයි.
මේ සම්බන්ධයෙන් සොයා බලන ලෙස අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින් අවශ්‍ය හැම කෙනෙකුටම පැවසුවද අද වන තෙක් ඒ සම්බන්ධයෙන් කිසිදු විභාගයක් සිදු වී නොමැති බවත් රාමනායක පියතුමා ප්‍රකාශ කර සිටියා.

2011 ලෝක කුසලානයත් , තොන්ඩමන්ගේ මළ ගෙදරත් , කරුණාගේ ප්‍රකාශයත් වැදගත් කාරණා නොවෙයි : අගමැති

කරුණා අම්මාන් ගේ ප්‍රකාශය, තොන්ඩමන් ඇමතිවරයාගේ මළ ගෙදර සමාජ දුරස්ථ භාවය රැකුණාද නැත්නම් 2011 ලෝක කුසලාන අවසන් තරගය පාවලා දුන්නද කියන කතාවන් දැන් වැදගත් නැතැයි අගමැති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කර සිටිනවා.
“ශ්‍රී ලංකාවට එරෙහි දෙස් විදෙස් කුමන්ත්‍රණ පරාජය කරමු” යන මැයෙන් පැවැත්වූ දේශනයේදී අගමැතිවරයා මේ බව ප්‍රකාශ කර සිටියා.
අගමැතිවරයා සිදුකළ සම්පුර්ණ කථාව පහතින්.
අතිපූජනීය මහා සංඝරත්නයෙන් අවසරයි, සියලු ආගම්වල පූජකතුමනි, ශ්‍රී ලංකාවාසී ජනතාවනි, හිතවතුනි,
1970 දී මේ රටේ බලයට ආවේ සමාජවාදී ආණ්ඩුවක් වුණාට කවුරුවත් කිව්වේ නැහැ ඒක රුසියාව, චීනය, මැදිහත්වෙලා හදපු ආණ්ඩුවක් කියලා. ඒ වගේම 1977 දී බලය ගත්තෙ ධනවාදී ආණ්ඩුවක් වුණාට අපි කිවුවෙ නෑ ඒක ඇමෙරිකාව, බ්‍රිතාන්‍ය මැදිහත්වෙලා හදපු ආණ්ඩුවක් කියලා. නමුත් 2015 ජනවාරි ජනාධිපතිවරණයේදී ඉතිහාසයේ කවදාවත් අපි අත්දැකපු නැති තරමට විදේශීය අතපෙවීම් තිබුණා. මේ රටේ දේශපාලනයට බරපතල විදියට විදේශීය රටවල් අතපොවන්න පටන් ගත්තේ 2009 අපි යුද්ධය දිනුවයින් පස්සේ. අපේ රටට එරෙහි විදේශීය බලවේග කවදාවත් හිතුවේ නෑ ඒ යුද්ධය අපි දිනයි කියලා.
මුලින්ම මේ මැදිහත්වීම වුණේ 2010 ජනාධිපතිවරණයේදී. නමුත් මේ රටේ ජනතාව ඒ උත්සාහය තීරණාත්මක විදියට පරාජය කළා. නමුත් 2015 දක්වා දිගටම ඒ කුමන්ත්‍රණය ක්‍රියාත්මක වුණා. 2015 දී එක්සත් ජාතික පක්ෂයේ නායකයා තරඟයෙන් ඉවත් වෙලා පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කළ යුතුයි කියලා තීරණය කළේත් කවුද කියලා ඔබ දන්නවා.
2015 දී යහපාලන ආණ්ඩුව බලයට ආවට පස්සේ හතුරු හමුදාවක් විසින් ලංකාව ආක්‍රමණය කරලා බලය අල්ලගත්ත වගේ තත්ත්වයක් තමයි ඇතිවුණේ. රට බෙදීමට විරුද්ධ මුළු ජාතිකවාදී කඳවුරටම ඒගොල්ලෝ පහර දුන්නා. මේ රටත් ජාතියත් සුරකින මහා සංඝරත්නය යටත් කර ගන්න ප්‍රධාන භික්ෂූන් වහන්සේලා බොරු චෝදනා මත හිරේ දැම්මා. වැඩියෙන්ම පැන්නුවේ පන්සල්වල ඉන්න අලි ඇතුන් පස්සෙ. ඒ බෞද්ධයන්ගේ පෙරහැර සංස්කෘතිය ඉවර කරන්න.
ත්‍රස්තවාදය පරාජය කරලා රට රැකපු සන්නද්ධ හමුදා අකර්මණ්‍ය කරන්න පහලම සොල්දාදුවාගේ ඉඳලා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා දක්වා තෝරාගත් ත්‍රිවිධ හමුදා සාමාජිකයන් අත්අඩංගුවට අරගෙන බොරු චෝදනා මත සති ගණන් මාස ගණන් අවුරුදු ගණන් බන්ධනාගාර ගත කරලා බොරු නඩුත් පැවරුවා. එහෙම කලේ, මේ රණවිරුවෝ නොවෙයි, හොරු සහ මිනීමරුවො කියන අදහස ලංකාවේ මිනිසුන්ගේ ඔළුවලට දමලා ලෝකය පුරාත් ප්‍රචාරය කරන්න.
ජාතිකවාදී කඳවුරේ දේශපාලනඥයන්ටත් දෙන්න පුළුවන් සියලුම දඬුවම් දුන්නා. විමර්ශන කොමිසම් පත් කළා, පොලීසියට ගෙන්නුවා, මාස ගණන් රිමාන්ඩ් කළා, බොරු නඩු පැවරුවා. මේ සේරම කළේ මේ රටේ ජාතිකවාදී කඳවුර සහමුලින්ම විනාශ කරල අලුත් ව්‍යවස්ථාවක් සම්මත කරලා රට බෙදලා ඉවරයක් කරන්න. යුද්ධයෙන් කරන්න බැරි වුණ දේ, මේ විදියේ දේශපාලන මෙහෙයුම් වලින් කරන්න හැදුවා.
2019 නොවැම්බර් මාසේ, අපි ජනාධිපතිවරණයෙන් දිනපු නිසා ඒ සැලසුම අවසානය දක්වා ක්‍රියාත්මක කරන්න බැරි වුණා. නමුත් ජාත්‍යන්තර හා දේශීය කුමන්ත්‍රණකාරයෝ තවම වැඩේ අතෑරලා නැහැ. අලුත් ජනාධිපතිවරයා පත් වෙලා දවස් කිහිපයක් ඇතුළත බටහිර තානාපති කාර්යාලයක සේවිකාවක් පැහැරගෙන ගිහින් ප්‍රශ්න කළාය කියලා රඟ දක්වපු බොරු නාඩගම අපි කවුරුත් දැක්කා. අලුත් ආණ්ඩුවට හුස්මක් ගන්නවත් ඉඩ දෙන්න මේ කුමන්ත්‍රණකාරයෝ සූදානම් නැති බව ඒකෙන් පෙනුනා.
2015 මේ රටේ බලය අල්ල ගත්ත යහපාලන කුමන්ත්‍රණකාරයෝ ඒගොල්ලන්ගෙ විදේශීය හාම්පුතුන්ට දීපු පොරොන්දු පත්‍රය තමයි 2015 ඔක්තෝම්බර් මාසේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ලංකාවේ සම අනුග්‍රාහකත්වයෙන් සම්මත කරගත්ත 30/1 යෝජනාව. ඒකෙන් ඉස්සෙල්ලාම කළේ, ලංකාවේ හමුදාව යුද අපරාධ කරයි කියලා පිළිගන්න එක. ඊට පස්සේ ඒ යුද අපරාධ චෝදනා විභාග කරන්න විදේශීය විනිශ්චයකාරවරුන් හා පරිචෝදකයන් සහිත විශේෂ අධිකරණයක් පිහිටුවන්න එකඟ වුණා. උසාවියේ නඩුවක් ගොනු කරන්න තරම් සාක්‍ෂි නැති වුනත්, මානව හිමිකම් උල්ලංඝනය කළාය කියල සැකයක් හරි තියෙන සන්නද්ධ හමුදා සාමාජිකයන් පරිපාලන ක්‍රියාදාමයකින් සේවයෙන් ඉවත් කරන්නත් ඒගොල්ලෝ බාරගත්තා. මේකෙ අරමුණ වුණේ, ලංකාවේ ත්‍රිවිධ හමුදාවේ ජීවගුණය බිඳලා අකර්මණ්‍ය කරලා දාන්න.
30/1 යෝජනාවේ ප්‍රධානම පොරොන්දු කියපු ආකාරයටම ක්‍රියාත්මක කරන්න බැරි වුණත්, ඒවා වෙනත් ආකාරයට ක්‍රියාත්මක කරන්න යහපාලන ආණ්ඩුව අලුත් නීති සම්මත කරලා තියෙනවා. 2016 අගෝස්තු මාසයේදී පාර්ලිමේන්තුවේ විවාදයකටවත් ඉඩ නොදී යහපාලකයෝ අතුරුදහන් වූවන්ගේ කාර්යාල පනත බලහත්කාරයෙන් සම්මත කරගත්ත. ‘කාර්යාලයක්’ කිවුවට ඒක ඇත්තටම සිතාසි නිකුත් කරන්න, සාක්ෂි කරුවන් කැඳවන්න, විභාග පවත්වන්න බලය තියෙන විනිශ්චය සභාවක්. ඒකෙ නිලධාරීන්ට ඕනෑම හමුදා කඳවුරක්, පොලිස් ස්ථානයක්, බන්ධනාගාරයක් වරෙන්තු නැතුව සෝදිසි කරලා ඕනෑම ලියවිල්ලක් හෝ භාණ්ඩයක් තමන් සන්තකයට ගන්න පුලුවන්. රාජ්‍ය රහස් පනතේ විධිවිධාන වලට පටහැනිව වුවත්, බුද්ධි අංශ, සන්නද්ධ හමුදා ඇතුළු සියලුම රජයේ ආයතන මේ අතුරුදහන් වූවන්ගේ කාර්යාලයට සම්පූර්ණ සහයෝගය දක්වන්න නීතියෙන් බැඳිලා ඉන්නවා.
2018 මාර්තු මාසයේ මහා සංඝරත්නයේ දැඩි විරෝධයත් නොතකා අතුරුදහන් කරවීම් වලට එරෙහි ජාත්‍යන්තර ප්‍රඥප්තිය ලංකාවේ බලාත්මක කරන්න 2018 අංක 05 දරණ පනත යහපාලකයෝ සම්මත කරගත්ත. මේකෙන් ඇත්තටම කෙරෙන්නෙ අතුරුදහන් වූවන් හොයන එක නොවෙයි, ලංකාවේ හමුදා සාමාජිකයන් දඩයම් කරන එක. මේ නීතිය යටතේ ලංකාව තුළ අතුරුදහන් කරවීමක් සිදු කළාය කියා සැක කරන පුද්ගලයෙකු විදේශීය රටකට උදර්පණය කරගෙන ඔහුට විරුද්ධව එම රටේදී නඩු පවරන්න නැතිනම්, ජාත්‍යන්තර අපරාධ අධිකරණයට බාරදීම කරන්න පුලුවන්.
2018 අගෝස්තු මාසයේදී, අපරාධ කටයුතුවලදී අන්‍යෝන්‍ය උපකාර සැලසීම් පනතට යහපාලන ආණ්ඩුව ගෙනාපු අංක 24 දරණ සංශෝධන පනතෙන් කෙරෙන්නෙ, විදේශීය රටකට නැතිනම් ජාත්‍යන්තර අපරාධ අධිකරණයට ලංකාව තුළ ඒගොල්ලන්ට අවශ්‍ය සැකකරුවන් නැතිනම් සාක්‍ෂිකරුවන් සොයා ගන්න, ඒ නඩුවලට අවශ්‍ය සාක්‍ෂි ලංකාවෙන් ගෙන්වාගන්න යාන්ත්‍රණයක් හදන එකයි. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්, ශ්‍රී ලංකාවේ යුද අපරාධ කළ බවට සැක කරන සන්නද්ධ හමුදා සාමාජිකයන්ට විරුද්ධව තම තමන්ගේ රටවල “යුනිවර්සල් ජූරිස්ඩික්ශන්” සංකල්පය යටතේ නඩු පවරන්න කියලා බටහිර රටවල් වලින් දැනටමත් ඉල්ලීමක් කරලයි තියෙන්නෙ.
2019, ජනාධිපතිවරණයෙන් යහපාලකයෝ දිනුව නම් මේ ඔක්කොම ක්‍රියාත්මක කරලා ලංකාව ඉවරම කරලා දානවා. මේ දෙස් විදෙස් කුමන්ත්‍රණය තීරණාත්මක විදිහට පරාජය කරන්න අපිට ඉතාමත්ම ප්‍රබල ජනවරමක් ඕන වෙනවා. ඔබට මතක ඇති 2018 අවසානයේදී යහපාලන ආණ්ඩුව දෙකට බෙදිලා බිඳවැටෙමින් තිබුණ අවස්ථාවෙදිත් තමන් ඇති කරපු ඒ ආණ්ඩුව රැකගන්න බටහිර තානාපති කාර්යාල වල නිලධාරීන් පාර්ලිමේන්තුවේ අමුත්තන්ගෙ ගැලරියේ ඉඳගෙන යහපාලන කතානායකවරයා ගත්තු ක්‍රියාමාර්ගවලට අත්පුඩි ගසමින්, ඔල්වරසන් දෙමින් සහයෝගය දක්වපු ආකාරය. ජනාධිපතිවරණයෙන් පැරදුනාට කුමන්ත්‍රණකාරයෝ වැඩේ අත්හැරලා නැති බව අපි හොඳින් තේරුම් ගන්න ඕනේ.
මම මහජනතාවගෙන් කරන ඉල්ලීම තමයි දේශපාලන කාරණාවලදී හැම වෙලාවෙම ලොකු චිත්‍රය සිහියේ තබා ගන්න කියලයි. අපි රටක් හැටියට මුහුණ දීලා තියෙන තර්ජනයේ හැටියට දේශපාලනික වශයෙන් වැදගත් කාරණා මොනවද, නොවැදගත් කාරණා මොනවද කියලා තේරුම් බේරුම් කරගන්න බැරි වුණොත්, අපි විනාශ වෙනවා. ආරුමුගම් තොන්ඩමන් මහතාගේ මළගෙදර සමාජ දුරස්ථභාවය හරියටම රැකුණාද, 2011 දී කවුරුහරි ක්‍රිකට් තරඟයක් පාවලා දුන්නද වගේ දේවල් ගැන විවිධ අයට නොයෙක් කාරණා කියන්න පුලුවන්. නමුත් ඕවා දේශපාලන වශයෙන් වැදගත් කාරණා නොවෙයි.
2019 නොවැම්බර් මාසේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා බලයට ආවට පස්සේ අපට මුහුණ දෙන්න වුණ ලොකුම ප්‍රශ්නය තමයි කොවිඩ් – 19 වසංගතය. අන්න ඒ ලොකු ප්‍රශ්නයට සාර්ථකව මුහුණ දුන්නද කියන එකයි මෙතන වැදගත් වෙන්නේ. මම පැහැදිලිවම කියනවා කොවිඩ්-19 පාලනය අතින් ලෝකයේ ඉදිරියෙන්ම ඉන්න රටක් අපි. නවසීලන්තය පවා ඉන්නෙ අපිට වඩා පිටිපස්සෙන්. වියට්නාමය, හොංකොං හා තායිවානය වගේ රටවල් කොවිඩ්-19 වගේ රෝග පාලනය කරන හැටි ඉගෙන ගත්තෙ 2003 සාර්ස් වසංගතයෙන් බැටකාලා.
අපිට ඒ වගේ රෝග ගැන ලොකු අත්දැකීමක් නැතුව තමයි කොවිඩ්-19 මේ මට්ටමට පාලනය කරලා තියෙන්නෙ. පිටරටින් එන ආසාධිතයෙක් සමාජයට ගියොත් විතරයි ආයෙමත් කොවිඩ් – 19 ව්‍යාප්තියක් මෙහේ ඇති වෙන්නෙ. යහපාලන කල්ලිය බලයේ හිටියනම් ඒගොල්ලන්ට පුලුවන්ද කොවිඩ්-19 මේ විදියට පාලනය කරන්න? අපි වැදගත් දේවල් මොනවද, නොවැදගත් දේවල් මොනවද කියලා හොදින් තේරුම් අරගෙන, හැම වෙලාවෙම ලොකු චිත්‍රය ගැන හිතුවොත් අපේ ජනතාව දිනුම්.
කරුණා අම්මාන් කොටි සංවිධානයේ ඉන්නකොට හමුදා කඳවුරුවලට ගහලා සෙබළුන් දහස් ගණනක් මරපු බව කිවුවයි කියලා යහපාලන විපක්‍ෂය උඩ පනින හැටි අපි පහුගියදා දැක්කා. ලොකු චිත්‍රය යටපත් කරලා, වෙන වෙන කාරණා ඉස්සරහට දාන්න කොයි තරම් ලේසිද කියලා ඒකෙන් පේනවා. 2005 නොවැම්බර් මාසයේ මම ජනාධිපති වුණාට පස්සෙ, අපි කොටි සංවි‍ධානය සහමුලින්ම විනාශ කරලා දැම්මා. කරුණා ඒ කාලේ ත්‍රස්තවාදයත්, බෙදුම්වාදයත් දෙකම අත්හැරලා කොටි සංවිධානයෙන් ඉවත් වෙලා යුද හමුදා බුද්ධි අංශයට යටත් වෙච්ච නිසා ඔහු කොටි සංවිධානයත් එක්ක විනාශ වුණේ නෑ. ප්‍රභාකරන්ගේ මෘත දේහය හඳුනාගන්න අපි යැවුවෙත් කරුණාව.
කරුණා මෙන්න මෙහෙම කිවුවා, ඒ නිසා ඔබේ වටිනා ඡන්දය යහපාලන පාර්ශවයට දෙන්න කියලා ඉල්ලන කට්ටියගේ කෙරුවාව ගැනත් හොයලා බලන්න වටිනවා. මේ අය 1989 දී ත්‍රස්තවාදීන්ගේ හිත දිනාගන්න කියලා මෝඩ විදියට ආයුධ ලොරි ගණන්, මුදල් ගෝනි ගණන් කොටි සංවිධානයට දුන්නා. ඊට පස්සෙ කොටි අපිට ගැහුවේ ඒ ආයුධ වලින්මයි. 2002 දී ඒගොල්ලෝ සටන් විරාම ගිවිසුමෙන් උතුරු නැගෙනහිර පළාත් දෙකම ප්‍රභාකරන්ට ලියල දුන්නා. යහපාලන ආණ්ඩුව කාලේ රට බෙදන්න අලුත් ව්‍යවස්ථාවක් කෙටුම්පත් කළා. ඊට පස්සෙ, ඒ බෙදුම්වාදී ව්‍යවස්ථාවේ මූලධර්ම සියල්ල 2019 ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයටත් ඇතුළත් කළා.
කරුණා මිනීමරපු කාලයෙත්, ඊට පසුවත්, අද දක්වාම යහපාලන පාර්ශවයේ න්‍යාය පත්‍රයේ තියෙන්නේ මේ රට බෙදන එක. කරුණා මිනීමරන එක අත්හැරියත්, යහපාලකයෝ රට බෙදන එක නම් අත්හැරලා නෑ. ඒකයි අපි මෙතන තේරුම් ගන්න ඕන. කරුණා කිවුව දේවල් ගැන දැන් කොහොමත් විමර්ෂණයක් පැවැත්වෙනවා සී.අයි.ඩී එකෙන්. ඉතිං පොඩි චිත්‍රය දිහා බලලා ලොකු චිත්‍රය මොහොතකට හරි අමතක කළොත් සිද්ධ වෙන්නේ විනාශයක්. ඒකයි මම හැම වෙලාවෙම අවධාරණය කරන්නේ, පොඩි චිත්‍රය නොවෙයි, ලොකු චිත්‍රය ගැනම අවධානය යොමු කරන්න ඕන කියලා.
පොඩි පොඩි සිල්ලර කාරණා මත ඡන්දය දෙන්න ගියොත් අපේ රටත්, ජාතියත්, ආගමත්, සංස්කෘතියත්, මතු පරම්පරාවේ අනාගතයත්, සියල්ලම ඉවර වෙලයි නවතතින්නෙ. ජනතාව හැම විටම මෙනෙහි කරන්න ඕනි මේ රට සාර්ථකව පාලනය කරන්න, ආර්ථික දියුණුව ඇති කරන්න, ත්‍රස්තවාදය තුරන් කරලා ජනතාවගේ ආරක්ෂාව තහවුරු කරන්න පුළුවන් කාටද? මැතිවරණ කලට වේලාවට පවත්වල ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරන්න පුළුවන් කාටද? මතු පරම්පරාවට නිදහසේ ජීවත් විය හැකි, ආඩම්බර විය හැකි ලංකාවක් ගොඩනගන්න පුලුවන් කාටද? කියන ප්‍රශ්නයයි. ඒකට උත්තරය මොකක්ද කියලා මම කියන්න ඕන නැහැ, හැම ශ්‍රී ලාංකිකයකුම දන්නවා.
ස්තුතියි.
ඔබ සැමට තෙරුවන් සරණයි
දෙවි පිහිටයි

Government assures Justice for Victims of deadly bombings

The Government today assured that it would bring before the law all the culprits who planned, financed and supported the bombings that killed over 270 people and wounded over 500 others on Easter Sunday last year.
Defence Secretary, Major General (Retd) Kamal Gunaratne said that there would not be any space for any group or individuals to spread extremism in the country.
“We will bring all those who were involved in those bomb blasts, irrespective of their social status, political affiliations, ethnicity or religion, to the book,” Gunaratne said.
He said that under the leadership of President Gotabaya Rajapaksa, who had pledged to give the top most priority to national security, the country’s people would be protected from terrorism and extremism.
“We will not let our people to die and suffer in such unfortunate incidents. We have taken all precautionary measures to identify such acts of terrorism or extremism at the early stages and have taken all necessary action to bring them before the law,” the Defence Secretary said.
Highlighting the importance of public support and contribution to intelligence agencies in curbing extremism, he said that on a directive of the President the intelligence agencies had been strengthened under a system that brought all intelligence agencies in the country into a one fold.
“The Government will ensure justice for the people, including the children, who died and living with deadly scares and their families by punishing the culprits and also strengthening the national security,” he said.
Gunaratne said according to an assessment done by the Presidential Secretariat and Defence Ministry, the Easter Sunday bomb blasts occurred mainly due to the failure to maintain national security

කොවිඩ් 19 වෛයිරසය ව්‍යාප්තිය හමුවේ පීඩාවට පත් විගමණික ශ්‍රමිකයින්ට සහන රැසක්..

කොවිඩ් 19 වෛයිරසය ලොව පුරා පැතිරයාමත් සමග විදේශ රැකියාවල නිරත වී සිටින විගමණික ශ්‍රමිකයින් සම්බන්ධව වහාම මැදිහත්වි කටයුතු කිරිමට  විදේශ සේවා නියුක්ති කාර්යාංශය පියවරගෙන තිබේ. ඒ අනුව  විදේශ දූත මණ්ඩල  16 ක කම්කරු සුභසාධන අංශ හා ඍජුව සම්බන්ධ වී අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට කාර්යාංශයේ සභාපති කමල් රත්වත්තේ මහතා විසින් අදාල නිලධාරින්ට උපදෙස් ලබා දී තිබේ. ඒ අනුව විදේශ දූත මණ්ඩල  16 ක කම්කරු  සුභසාධන අංශ වෙත දැනටමත් කාර්යාංශයේ කම්කරු සුබසාධන අරමුදල මගින් (Workers Welfare Fund) වෙන්කොට ඇති ප්‍රතිපාදන භාවිතාකර වසංගතයෙන් පීඩාවට පත් විගමණික ශ්‍රමිකයින්ට අවශ්‍ය පහසුකම් කඩිනමින් ලබා දී තිබේ.
එම විදේශ දූත මණ්ඩල  16 ක පිහිටි කම්කරු  සුභසාධන අංශ අතර අබුඩාබි, බහරේන්, සයිප්‍රස්, ඩුබායි, ඊශ්‍රායෙල්, ජෝර්ඩාන්, කුවේට්, ලෙබනන් අයත්වේ. එසේම මැලේසියා, ඕමාන්, මාලදිවයින්, කටාර්, රියාද්, දකුණු කොරියාව හා සිංගප්පූරුවද ඊට අයත්වේ.

මෙයට අමතරව කම්කරු සුබසාධන අරමුදල තවත් ශක්තිමත් කිරිම සදහා, විදේශ සබදතා,නිපුණතා සංවර්ධන,රැකීරක්ෂා හා කම්කරු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින්  ගත් තීරණයකට අනුව කාර්යාංශයේ සභාපති කමල් රත්වත්තේ මහතා හා  කාර්යාංශයේ අධ්‍යක්ෂ මණ්ඩලයට උපදෙස් ලබාදී ඇත්තේ  තවත් රුපියල් මිලියන අටක (මිලියන 8) ප්‍රතිපාදන අදාල විදේශ දූත මණ්ඩල  16 ක කම්කරු සුභසාධන අංශ වෙත වහාම ලබාදෙන ලෙසය. එමගින් මෙම වසංගත තත්වය මත විගමණික ශ්‍රමිකයින්ගේ දැනට පවතින නීතිමය තත්වය නොසලකා සහන ලබා දීමට කටයුතු කරන ලදී.

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පැය 24/7 පුරා ක්‍රියාත්මක 1989 ක්ෂණික දුරකථන අංකය ඔස්සේ විගමණික ශ්‍රමිකයින් සම්බන්ධව තොරතුරු ලබාගැනිමට පහසුකම් සලසා ඇති අතර එමගින් ලබාගත් තොරතුරු අදාල ශ්‍රමිකයින් සිටින රටවල තානාපති කාර්යාලවල කම්කරු සුභසාධන අංශ වෙත යොමු කොට විසදුම් ලබාදෙමින් තිබේ. වසංගතයෙන් පීඩාවට පත් විගමණික ශ්‍රමිකයින්ට අවශ්‍ය වියලි ආහාර ලබාදීම සඳහා කම්කරු අංශ නිලධාරින්, විදේශ දූත මණ්ඩල  නිලධාරින්,විවිධ සංවිධාන හා පරිත්‍යාගශීලීන් එක්ව කටයුතු කිරිම මේ වනවිටත් ආරම්භ කර තිබේ.

වසංගත තත්වයෙන් පීඩාවට පත්වී සිටින විගමණික ශ්‍රමිකයින්ට සහන සැලසිම සදහා පහත ක්‍රියාමාර්ගද ගෙන තිබේ.
කොවිඩ් 19 වෛයිරසයෙන් විගමණික ශ්‍රමිකයින් ආරක්ෂා කිරිම සඳහා මුඛ ආවරණ, අත් සේදුම්කාරක ඇතුළු පිරිසිදු කිරිමේ ද්‍රව්‍ය ලබාදීමට විදේශ දූත මණ්ඩල  16 ක කම්කරු අංශ මගින් කටයුතු කර තිබේ.
ශ්‍රි ලංකාවේ විශේෂඥ වෛද්‍යවරයකු සමග පැවැත්වු සම්මුඛ සාකච්ඡා මාලාවක් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මුහුණුපොත ( Face book ) හරහා ප්‍රචාරය කිරිම මගින් විගමණික ශ්‍රමිකයිට වෛයිරසයෙන් ආරක්ෂා විමට ගත හැකි උපදෙස් ලබාදී ඇත.

විදේශ දූත මණ්ඩලවල පිහිටි කම්කරු අංශයන්හි ක්ෂණික  ඇමතුම් අංක හදුන්වාදීම මගින් විගමණික ශ්‍රමිකයින්ට වෛයිරසයෙන් ආරක්ෂා විමට අවශ්‍ය උපදෙස් ලබාදෙන ලදී.

සියලුම කම්කරු අංශ නිලධාරින් හා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ උසස් නිලධාරින් සම්බන්ධවන පැය 24 පුරා ක්‍රියාත්මක වට්ස්ඇප් සමුහ කණ්ඩායමක් ( whatsApp Group ) ආරම්භකර එමගින් තොරතුරු ලබාගැනීම, පැමිණිලි ලබාගැනිම හා සන්නිවේදනය කිරිම සාර්ථකව සිදුකිරිම නිසා ශ්‍රමිකයින්ගේ ගැටළු රැසකට ක්ෂණිකව විසඳුම් ලබාදී ඇත.

ෂීසෙල් හී අතරමංවී සිටි විගමණික ශ්‍රමිකයකු සඳහා අඛණ්ඩව අවශ්‍ය මූල්‍ය පහසුකම් තානාපති කාර්යාලය හරහා දීමට කටයුතු කරන ලදී.
ජපන් නෞකාවකින් ඉන්දියාවේ චෙන්නායි හරහා පැමිණි ශ්‍රමිකයකුට ගුවන් ටිකට්පත ලබාදී ඇත.

විගමණික ශ්‍රමිකයින්ට ලබාදිම සදහා මුඛ ආවරණ 5000 ක් කොරියානු තානාපති කාර්යාලයට ලබාදි ඇත.

ලංකාවේ තත්වය ගැන ආරක්ෂඛ ලේකම් බොස්ටන්ට කතා කරයි

මේ වන විට එක දිගට සහ වරින් වර බල පැවැත්වෙන ඇදිරිනීතිය තව කෙතරම් කාලයක් මේ අකාරයෙන් විටින් විට හෝ එක දිගට බලපැවැත්වෙන්නේ ද යන්න ජනතාව තුල ඇතිවී තිබෙන ප්‍රශ්ණයක්. එවැනිම එක දිගටම ගුවන් ගමන් මෙන්ම විදේශීය ජනතාව වෙනුවෙන් පනවා ඇති නීති ද දිගුවක් ලෙස පවතී.  සියලට රජයට හේතුවක් ඇත. කෙසේ වෙතත් Boston අප කල විමසීමේදී අපට සැලවුයේ ඇදිරි නිතිය ඉවත් කරන කාල සීමාවක් මෙන්ම සියලු අත්හිටුවීම් ඉවත් කිරීමට රජය විසින් තීරණය කර නොමැති බවයි.
ඒ පිලිබදව Boston අප කල විමසීමට පිළිතුරු දෙමින් ආරක්ෂක ලේඛම් හිටපු මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පැවසුවේ වත්මන් ඇදිරි නිතිය ත්‍රස්තවාදී හෝ භීෂණයක් සම්බන්දයෙන් බල පැවැත්වෙන එකක් නොවන බවත් මෙය රෝග භියක් මත පැනවූ අදිරිනිතියක් බවයි. ඒ නිසා රෝග භිය මත ඇදිරි නීතිය ක්‍රියාත්මක වීම හෝ නොවීම තීරණය වන බවද ඔහු පැහැදිලි කළා.
බැසිල් රාජපක්ෂ මහතා ප්‍රමුඛ කාර්ය සාධක බලකාය ජන ජීවිතය සම්බන්දයෙන් තීන්දු තීරණ ගන්නා බවද ජනතාවගේ හැසිරීම් ද ඇදිරි නීතියට බලපාන බව ඔහු පැවසුවා. ලබා දුන් නිදහස් කාලයේදී පවා ජනතාව සෞක්‍ය අංශ සහ රජය පැවසු දේ නොතැකීම හේතුවෙන් දිගටම ඇදිරි නිතිය පැනවීමට සිදුවූ බවද ඔහු පැහැදිලි කිරීමක් සිදු කළා.
මේ අවස්ථාවේදී සියළුම අතවශ්‍ය සේවා අංශ මෙන්ම රජය මෙම තත්වයෙන් රට සහ ජනතාව මුදවා ගැනීමට අවශ්‍ය සියලු දේ ඉටු කරන බවත් එය රාජකාරියක් වගේම වගකීමක් බවත් මතක් කරමින් ආරක්ෂක ලේඛම් වරයා ඉතාමත් සංවේදී ඉල්ලීමක් ඉදිරිපත් කලේ මෙලෙස “අපි ඔබට උදව් කරනවා. ඔබ ඔබට උදව් කරන්න අපිට උදව් කරන්න”  කියාය.
එමෙන්ම විදේශීය ජනතාව සම්බන්දයෙන් ගුවන් ගමන් සම්බන්දයෙන් මේ වන විට ගෙන ඇති තීන්දු තීරණ මෙන්ම අනෙක් සියල්ල සදහාද මෙරට පවතින රෝග භිය අනුව තීරණය වන වන බවද ආරක්ෂක ලේඛම් පැවසුවා
By Ashanthi Warunasuriya

පැතිරයාම වැලක්වීමේ ප්‍රධාන උපාය මාර්ගය

‘Social Distancing: The Best Tool We Have to Fight the Coronavirus’
‘හරිදේ හරිහැටි දැනගෙන ක්‍රියාත්මක වන්න’
ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් ගෝලීය වසංගතයක් හෙවත් මහා වසංගතයක් ලෙස නම් කර ඇති නව කොරෝනා වෛරසය හෙවත් කොවිඩ් 19 සීග්‍රයෙන් පැතිර යාම හමුවේ රජයන්, සෞඛ්‍ය බලධාරීන්, විද්‍යාඥයන් ආදීන්ට පමණක් නොව ලෝකවාසී අප සියලු දෙනාට එල්ලවී ඇත්තේ ඉමහත් අභියෝගයකි. වෛරසය පැතිර යන සීඝ්‍රතාව සලකන විට ලෝක ජනගහනයෙන් සැලකිය යුතු පිරිසකට ඊට ගොදුරු වීමේ අවදානම මහ ඉහළින් පවතී. රෝගය වැළදුණොත් ඒ සෑම දෙනාටම ප්‍රතිකාර ලබාදිය යුතුයි. බොහෝවිට සංඛ්‍යාව වැඩි වෙත්ම මෙය අනිවාර්යයෙන්ම ගැටලු සහගත වෙයි. ඇරත් ප්‍රතිකාර කළද රෝගයෙන් මියයාමේ අවදානම පවතී. එහෙයින් හොඳම ක්‍රියා මාර්ගය වෛරසය පැතිරීම වළක්වා ගැනීම බව පැහැදිලිය.
අද ජගත් සංවිධානය සහ රට රටවල සෞඛ්‍ය බලධාරීන් එකහෙළා මේ ප්‍රතිපත්තිය මත සිට ක්‍රියා කරයි. එහිදී ස්වරූපය කුමක් වුවත් කාගේත් එකගත්වය පළවන්නේ සමාජ දුරස්ථභාවය(social distancing) හෙවත් සමාජයේ ජීවත් වන විට හමුවන සෙස්සන්ගෙන්  ඈත්ව සිටිමේ ක්‍රියාදාමයටයි. වෛරසය පැතිරීම සීමා කිරීම පිණිස සැලසුම් කර ඇති සියලු පියවර අතර කේන්ද්‍රීය අංගයක් වනුයේ සමාජ දුරස්ථ භාවයයි. ඉතා සරලව දක්වන්නේ නම් සමාජ දුරස්ථභාවය යන්නෙන් දැක්වෙන්නේ වර්තමානයේ අප මුහුණ පා සිටින  ව්‍යසනය හමුවේ සමාජයීය වශයෙන් තාවකාලිකව එකිනෙකාගෙන් කායිකව ඈත් වී සිටීමයි.
රාජ්‍යයන් මෙය සිදු කරයි. ඒ නගර, ප්‍රදේශ, හෝ පළාත් ‍හෝ මුළු රටම වසා දැමීමෙනි. කොවිඩ් 19 පැතිරීම ඇරඹුණු චීනයේ සිට අද වෛරසයේ අපිකේන්ද්‍රය බවට පත්ව ඇති යුරෝපයෙන් සොයාගත හැකි උදාහරණ එමට ය. විශ්වවිද්‍යාල පාසල් සහ වෙනත් අධ්‍යාපන ආයතන මෙය සිදුකරයි. ඒ දේශන හා පන්ති අවලංගු කිරීම හෝ මාර්ගස්ථ හෝ දුරස්ථ මාදිලි වෙත මාරු වෙමිනි. කාර්යාල, වැඩබිම් කර්මාන්තශාලා මෙය සිදුකරයි. ඒ ඒවා වසා දැමීම, සීමිත සේවක පිරිස් සේවයට කැඳවීම, නිවසේ සිට රාජකාරියට ඉඩ සැලසීම වශයෙනි. මීට අමතරව දේශපාලන, විනෝදාස්වාද,  ක්‍රීඩා ආදී අන්තර්ජාතික ජාතික හා ප්‍රාදේශීය සංවිධාන මෙය සිදුකරන්නේ,  සිය වැඩසටහන් – සමුළු, ප්‍රදර්ශන, රැස්වීම්, සන්දර්ශන, තරඟ ආදිය අවලංගු කිරීම හෝ කල්දැමිමෙනි. ආගමික සිද්ධස්ථාන සිය කටයුතු සීමා කිරීමෙන් සහ මහජනයා ගැවසෙන පුණ්‍යෝත්සවය වතාවත් ආදිය සීමාකිරීමෙන් හො කල් දැමීමෙනි.
මෙලෙස බලන විට මුළු මහත් ලෝකය ම පොදුවේ කොවිඩ් 19 සතුරා හමුවේ පොදු අරමුණක් ඇතිව පෙළගැසී සිටී. සතුරා පැරදවීමට අත්‍යවශ්‍ය වන්නකි. මේ වැදගත් මහජන සෞඛ්‍යය පිළිවෙත සාර්ථක කර ගැනීමේ දී පුද්ගලයන් වශයෙන් අපට ගත හැකි ක්‍රියාමාර්ග මොනවාද? අපි විමසා බලමු.
සමාජ දුරස්ථ වීම යනු කුමක්ද?
සමාජීය වශයෙන් ඈත්වීම යනු රෝගාතුර පුද්ගලයන් සෞඛ්‍ය සම්පන්න අය සමඟ සමීපව සම්බන්දවීම වැළැක්වීම  අරමුණු කරගත් මහජන සෞඛ්‍යය භාවිතාවකි. මෙහිදී අපේක්ෂා කරන්නේ රෝගය සම්ප්‍රේෂණය වීමේ අවස්ථා අඩු කිරීමය. සමූහයක් ඒකරාශී වන සිද්ධි අවලංගු කිරීම වැනි විශාල පරිමානයේ පියවර මෙන්ම හෝ ජනතාව ගැවසෙන ස්ථාන වසා දැමීම මෙන්ම සෙනඟ මගහැරීම වැනි පුද්ගලයන් ගන්නා තීරණ ද ඊට ඇතුළත් වේ. කොවිඩ් 19 වෛරසය ගතහොත් සමාජ දුරස්ථ වීමේ ප්‍රධාන අභිප්‍රාය දෙකකි‍. අධික අවදානමක් සහිත ජනයා අතර ආසාදන ඇතිවීමේ අවස්ථ අඩු කිරීමින් වෛරසය පැතිරයාම මන්දගාමී කිරීම ඉන්  එකකි. ආසාදිතයන් වැඩිවීම හේතුවෙන් සෞඛ්‍ය සත්කාරක පද්ධති හා සේවකයන් මත පැටවෙන බර අඩු කිරීම දෙවැන්නයි.
විශේෂඥයන් මෙය විස්තර කරන්නේ ‘චක්‍රය පැතලිකිරීම’ යනුවෙනි(“flattening the curve”). පොදුවේ මෙයින් දැක්වෙන්නේ   වැඩි පිරිසක් අතරේ එකවර රෝගය ක්ෂණිකව පැතිරීමෙන් සෞඛ්‍ය සේවා පද්ධති යටවී යාම වැළැක්වීමේදී සමාජ දුරස්තවීමේ පියවර සාර්ථකවීමට ඇති හැකියාවයි.
“එක්සත් ජනපදයේ  සමාජ දුරස්ථභාවයේ ඉලක්කය වන්නේ  කිසියම නිශ්චිත පුරවරයක හෝ ප්‍රජාවක් අතරේ කොවිඩ් 19 පැතිරෙන වේගය හා ප්‍රමානය පහළ දැමිමයි” එරට රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථානයන්හි(U.S. Centers for Disease Control and Prevention – CDC) අධ්‍යක්ෂ ටොම් ඉන්ග්ලෙස්බි මෑතක ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියි, “එහෙම් වුනහම රෝගය වැළඳෙන පිරිස අඩුවෙනවා, ගත කරන්න වෙන  අය අඩුවෙනවා වගේම එක් මොහොතක එකවර ඕනෑ කරන සංවාතක(ventilators) අඩුවෙනවා”.
මා සමාජ දුරස්ථභාවය භාවිතාවට යොදා ගන්නේ කෙසේද?
කොවිඩ් 19 අදාළව CDCය,  සමාජ දුරස්ථභාවය අර්ථ දක්වන්නේ ‘පුද්ගලයින් එකට එකතුවීමෙන් වැළකී සිටීම, මහජන ඒකරාශීවීම පිළිකෙව් කිරීම, අන්අය අතර හැකි සෑම්විට දළ වශයෙන් අඩි 6ක් නැතිනම් මීටර දෙකක පරතරයක් තබාගැනීම’ ලෙසයි. ඒ කියන්නේ ‘බදා වැළඳ ගැනීමේ සහ අතට අතදීම නැත යන්නය’ යි සෞඛ්‍ය ආරක්ෂාව සඳහා වු ජෝන්ස් හොප්කින්ස් කේන්ද්‍රයේ(Johns Hopkins Center for Health Security) වසංගතවේදී විශෙෂඥ කයිට්ලින් රිවර්ස් තවදුරටත් පැහැදිලි කරයි.
පෝලිමේ මෙහෙම ඉඳිමු
අමුතුවෙන් නොකීවත් පෙනී යායුතු, විශේෂයෙන්ම වැදගත් දෙයක් වන්නේ කැස්ස, කිවිසුම් යාම හා උණ ඇතුළු  රෝග ලක්ෂණ පෙන්නුම් කරන ඕනෑම පුද්ගලයකු අතර පෙර කී අඩි හයේ පරතරය තබා ගැනීමයි. ශාරීරික වශයෙන් දුරස්ථවීමත් සිදුකරන  අතරම  නියම ආකාරයෙන් අත් සේදීම, ඔබ පමණක් නොව (බොහෝ විට ඔබේ පවුලේ අය සහ සමීප නෑයන් මිතුරන් වන) ඔබ අවට සිටින අය ආරක්ෂා කිරීම පිණිස වැදගත් වන්නේය. මන්ද, රෝග ලක්ෂණ නොමැතිව පවා වෛරස පැතිරිය හැකි හෙයිනි.
“ඔබේ ප්‍රජාව අතරේ හෝ ඔබේ ප්‍රදේශයේ කොවිඩ් 19 පැතිර යන තුරුම බලා සිටින්න එපා. අත් සේදීමේ ක්‍රියාදාමය වහාම තවත්  බලගන්වන්න. මොකද ඒක සම්ප්‍රේෂණය අඩු කරන්න ඇත්ත වශයෙන්ම  උදව් කරනවා” රිවර්ස් කියයි. ඔබ බැහැරට ගොසින් (නිවස) ඇතුලට ආපසු එන විට, කෑම ගැනීමට පෙර සහ වයස්ගත වැඩිහිටියන් සහ බරපතළ නිදන්ගත වෛද්‍ය තත්ත්වයන් තිබෙන අය ඇතුළුව කොවිඩ් 19 ට වඩාත් ගොදුරු විය හැකි අය සමඟ එකට සිටිමින් කාලය ගත කිරීමට පෙර දෑත් හොඳින් සේදිය යුතු යැයි ඇය වැඩිදුරටත් කියා සිටී. “උත්සව, සන්දර්ශන ආදිය කල්දැමීම වැනි  ප්‍රජාවේ මැදිහත්වීම වැදගත් කාර්යභාරයක් ඉටු කරනවා තමයි. ඒත් පෞද්ගලික චර්යා විපර්යාසයන් ඊටත් වඩා වැදගත්. පෞද්ගලික ක්‍රියාමාර්ග සුළු ඒවා සී පෙණුනත් මහ බලගතුයි” රිවස් කියා සිටියි.
සමාජ දුරස්ථභාවය ඵලදායකද?
මේ ආකාරව එකිනෙකාගෙන් ඈත්ව සිටීමේ  පියවර සාර්ථකව ක්‍රියාත්මක වන බව ඉතිහාසයෙන් පාඩම් උපුටා දක්වමින් විශේෂඥයෝ පෙන්වා දෙති. 1918 ස්පාඤ්ඤ ඉන්ෆ්ලුවැන්සා මහා වසංගතය එකකි. මෙම මහා වසංගතයේ මුල් අදියරකදී පාසල් වසා දැමීම මහජන එක්රැස්වීම් තහනම් කිරීම වැනි බහුවිධ මැදිහත්වීම් යොදාගත් නගරවල මරණ අනුපාතය සැලකිය යුතු මට්ටමක පහත තිබූ බව 2007 වසරේ PNAS(එක්සත් ජනපද ජාතික විද්‍යා ඇකඩමියේ නිල සඟරාව) අධ්‍යයනයක් පෙන්නුම් කරයි.
මෑත කාලයේ මෙම සංකලපයේ විශාල මට්ටමේ පූර්වාදර්ශ හිඟ බව ඉන්ග්ලෙස්බි පෙන්වා දුන්නත් චිනයේ වූහාන් සහ ගුවන්ග්සු නගර දෙකෙහි දැක ගත හැකිවූ එකිනෙකට වෙනස් අත්දැකීම් ගැන අධ්‍යයනයක සඳහන් කරුණු ගෙන හැර දක්වයි.  සමපදස්ථයන්ගේ(peers) සමාලෝචනයකට තවම බදුන් වී නැති මේ අධ්‍යනයෙන් ද මේ කාරණාව සනාථ වේ.(මේ ගැන විස්තර සඳහා ඊයේ තතු පෝස්ටුව කියවන්න)
රෝගය පැතිර යාම සීමා කිරීම සඳහා ගතහැකි අනෙක් පියවර මොනවාද?
CDC අලුත්ම මාර්ගෝපදේශ අනුව අනෙකුත් මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ග අතරට හුදකලා වීම(isolation) හා නිරෝධායනය(quarantine) ඇතුළත් වේ.
හුදකලා වීම: රෝගය පැතිරයාම වැළැක්වීමේ අරමුණ ඇතිව, ආසාදිත යැයි හෝ බෝවෙන සුලු යයි සාධාරණ ලෙස සැලකිය හැකි පුද්ගලයකු හෝ ජනතාවක් ආසාදිත නොවන අයගෙන් වෙන් කර තැබීම හුදෙකලාවීම යන්නෙන් දැක්වේ. හුදකලාවීම එක්කෝ ස්වේච්ඡාවෙන් සිදු කරන්නක් හෝ රජයේ හෝ සෞඛ්‍ය මහජන අධිකාරීන් ගේ බල කිරීම මත කෙරෙන්නක් විය හැකිය.
නිරෝධායනය: රෝගය පැතිර යාමේ හැකියාව වැලැක්වීම අරමුණ ඇතිව, සංක්‍රාමික රෝගයකට (communicable disease) නිරාවරණය වී ඇති නමුත් මෙතෙක් රෝග ලක්ෂණ නොදක්වන්නේ  යයි සාධාරණ ලෙස සැලකිය හැකි පුද්ගලයකු හෝ ජනතාවක්,  එසේ නිරාවරණය නොවූ පුද්ගලයන්ගෙන් වෙන්කර තැබීම නිරෝධායන යනුවෙන් දැක්වෙයි.  කොවිඩ් 19  සම්බන්ධයෙන් CDC විසින් නිර්දේශ කරනු ලබන්නේ රෝග ලක්ෂණ පහළ වේ දැයි නිරීක්ෂණය පිණිස දින දාහතරක නිරෝධායන  කාලච්ඡේදයකි.
මීට අමතරව ස්වයං නිරීක්ෂණය,  ආදිය ගැන CDC මාර්ගෝපදේශ සපයා ඇතත් එහි ඇතැම් කාරණා එක්සත් ජනපදයට සුවිශේෂ වන අතර ලංකාව ඇතුළුව රටින් රට සපයන උපදෙස් හා ඒවා අතර යම් පරස්පරයන් හා  වෙනස්කම් තිබිය හැකිය.

කොරෝනා ලංකාවේ මිනිස්සු තේරුම් ගත හැටි

Latest Update

මේ වන විට ලංකාවේ කොරෝනා රෝගීන් 70ක්. ආසාදිතයින්18 දෙනෙකු ගම්පහ දිස්ත්‍රික්කයෙනුත් කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 17 දෙත්නෙකු, පුත්තලම දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 12 දෙනෙකු, කෑගල්ල සහ කළුතර යන දිස්ත්‍රික්කවලින් ආසාදිතයින් සිව්දෙනා බැගින් සහ රත්නපුර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් තිදෙනෙකු හඳුනා ගෙන තිබෙනවා.
එවන් වෙලාවක ගාල්ල, කෑගල්ල, මාතර, මඩකලපුව සහ බදුල්ල යන දිස්ත්‍රික්කවලින් එක් කොරෝනා ආසාදිතයෙකු බැගින් හඳුනාගෙන තියෙනවා. ඒ වගේම සැක කටයුතු රෝග ලක්ෂණ පෙන්නුම් කරන පුද්ගලයින් 218 දෙනෙකු දිවයින පුරා රෝහල් 14ක වෛද්‍ය අධීක්ෂණය යටතේ පසු වෙනවා.
සියල්ල එක්ක රටේ පිරිසක් බියට පත් වෙලා ඉන්නකොට තවත් පිරිසක් මේක විහිලුවකට පත් කරගෙන තියෙනවා කියලත් පෙනුනා. ඒ ඔවුන්ගේ හැසිරීම් එක්ක. මිනිස්සු ඒකරාශිවීම වැලක්වීමට රජය එක දිගට මාධ්‍ය මගින් දැනුවත් කරමින් ඇදලා සෞක්‍ය පිළිවෙත් ගැන දැනුම් දුන්නත් මිනිස්සු එකට හුරු වුණේ නැහැ. නිවාඩු ලබා දෙමින් නිවෙස් වලට වෙලා ඉන්න කිවුවත් සමහරක් කලේ ඒ නිවාඩුවේ ට්‍රිප් යන එක. මේ නිසාම රජය දැඩි පියවරක් ගත්තා. ඒ ඇදිරි නිතිය දමන්නට තීරණය කිරීමත් සමඟ. මුලින් පුත්තලම පොලිස් බල ප්‍රදේශ 18කට දාපු ඇදිරි නිතිය මේ වන විට රට පුරාම බල පැවැත්වෙන පරිදි ක්‍රියාත්මක වනවා.
එකට එක උදාහරණයක් කියනවා නම් දඹුල්ල නගරාධිපති අද පාපැදි තරඟයක් සංවිධානය කරලා. කොහොම හරි මේ වන වේට ඔහු ඇතුළු 2ක් අත්අඩංගුවට අරන්. මේ වගේ තවත් සිදුවීම් සිදු වෙද්දී මිනිස්සු පන්සල් වලත් විවිධ ආගමික වැඩ සටහන් වලට ඒකරාශී වෙලා. කොච්චර කිවුවත් අහන්නේ නැති නිසාම පොලිසිය දැන් දැඩි ලෙස දඩුවම් දෙන්න වරෙන්තු නැතුව අනුකම්පා විරහිතව වැඩ කරන්න පටන් අරං. ඒ නිසා නිවෙස් තුලටම වෙලා ඉන්න කියලයි පොලිසිය නිරතුරු කියන්නේ. ඒවගේම විනෝද චාරිකා වන්දනා ගමනුත් තහනම්.
එජාපය වගේම ජවිපෙ ඇතුළු බොහෝ පක්ෂ විවේචනයට ලක් කල ඉදිරි මැතිවරණය මේ වන විට කල් ගිහින්. මැතිවරණ කොමසාරිස්වරයා ප්‍රකාශ කළේ “කොවිඩ් 19” ඉදිරි මැතිවරණ දිනය තීරණය කරන බව.
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ස්ථාපනය කර ඇති ස්කෑනර් යන්ත්‍ර මගින් කොරෝන හෙවත් COVID 19 වෛරසය ශරීරගත වීම පිළිබඳව දැනගැනීමේ හැකියාවක් නොමැති බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසනවා. එම යන්ත්‍ර මගින් උණ පමණක් පරික්ෂාකර දැනගැනීමේ හැකියාවක් පමණක් පවතින බව මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද මහතා පැවසුවේ. ඒ අනුව ගත වූ මාස දෙක තුළදී විදේශයෙන් පැමිණි එකදු කොරෝනා වෛරසය ශරීරගත රෝගියකු හමු වෙලා නැහැ. මේ නිසා වෙන්න ඇති රටට පිටින් කොරෝනා ඇතුල් වුණෙත්.
අපි දුප්පත් රටක්. මිට පෙර ඩෙංගු වසංගතය වැනි වුවදුරු වලදී අපි දැක්කා රෝගීන් වැඩි වෙනකොට හරියට ඇදන් වත් තිබ්බේ නැහැ. සියල්ල එක්ක හමුදාව එක රැයින් නිරෝධායන මධ්‍යස්ථාන හදනවා. සැබවින්ම ඔවුන්ගේ මේ කාර්යන් අගයන්නම ඕන. කියන දේ අහලා ස්වයන් නිරෝධායන කටයුතු වලට මෙන්ම රෝගිවුවන් බෙහෙත් ගන්න ගියා නම් මෙහෙම මෙච්චර වැඩි වෙන්නෙත් නැහැ. තවමත් නිරෝධායනය නොවී සැගවී සිටින පිරිස් ඉන්නවා. ඒ අතර ස්වයං නිරෝධයනට යන පිරිසුත් 8000 කට වැඩියි.

ඒ වගේම ඉන්දියාවේ වන්දනාවේ ගිය බැතිමතුන් ශ්‍රී ලංකාවට ගෙනාවා ගෙන  සියල්ල නිරෝධායන ක්‍රියාවලියට යොමු කිරීමටත් රජය ඊයේ 19 සහ අද 20 දිනයේදී පියවර ගත්තා
පාසල් නිවාඩුව කලින්ම දෙද්දී මේ වෙන කොට උසාවි වැඩ ඔන් ලයින් සිස්ටම් එකට සිදු වෙනවා. එකත් අතවශ්‍ය නඩු. දුම්රිය අධිවේගී මාර්ග ධාවනය නතර වෙලා. තැපැල් කටයුතු නතර කරලා. අපිට තාම නිරෝධායනය කියන වචනේ අමුතු වුනාට මේකට අපි ගොඩක් කල් ඉදලා හුරු මිනිස්සු. එදා ඉදලා දෙයියන්ගේ ලෙඩක් හැදුනම කහ බදුනක් තියාගෙන කොහොඹ කොළ එල්ලගෙන පෙරුම්කායම් අතේ බැදගෙන දින 14 හෝ 21ක් යනකල් එළියටත් යන්නේ නැතුව අපේම අයගේවත් මුණට මුරුච්චි වෙන්නේ නැතුව අපි පරිස්සම් වුණා. කාලෙත් එක්ක මේවා අමතක වෙලා. මේකත් ඒ වගේ කියලා හිතන්න තවමත් අපේ සමහරකට බැරි වෙලා නිසාම කොරෝනා මෙලෙස පැතිරුණා.
ලංකාවේ කොරෝන මෙහෙම පැතිරුණේ අපේම අයගේ නොසැලකිල්ල නිසා. විදේශ ගත්වුවන් සමහරෙක් නිරෝධායනට විරුද්ධ වුණා. ඔවුන්ගෙන් සමහරෙක් රෝගීන්. පසුව නිරෝධායනය නොවී සිටි අය කට්ටි පනිමින් සිටියා. එකට හොදම උදාහරණය වාර්තා වුනේ අද. මේක හරිම අවාසනාවන්ත සිදුවීමක්. කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වී සිටිය දී තමාට හෘදයා බාධයක් වැළඳී ඇතැයි අසත්‍ය පවසමින් ‍ඊයේ(19) දිනයේ දී තමාට හෘද රෝගයක් ඇති බව පවසමින් රාගම රෝහල වෙත පුද්ගලයෙකු ඇතුළත් වෙලා තිබුණා.
මේ වන විට උතුරු කොළඹ ශික්ෂණ රෝහලට ඇතුළු වු පුද්ගලයාට එරෙහිව වත්තල මහේස්ත්‍රාත් අධිකරණයට නඩුවක් ගොනු කරලා. ඒ නිසාම රෝහලේ කාර්ය මණ්ඩලයට නිවාඩු දීලා නිරෝධායනය කරනවා. ඒ වගේම එම වාට්ටුවේ සිටි සිටි අනෙක් රෝගීන් ඔවුන්ව බලන්න පැමිණ සිටි රෝගීන් සියල්ලම දැන් දැඩි අනතුරක.
සියල්ල එක්ක දින දෙක තුනක් පුරාවටම වගේම අදත් ඇදිරිනීතිය දාන්න පෙර කඩ සාප්පු වල තිබ්බේ පුදුම පෝලිමක්. මීටරයක් දුරින් ඉන්න කියද්දීත් මිනිස්සු එකිනෙකා මතින් යන තරමට පොර කන්න වුනා. ඒ භාණ්ඩ මිලදී ගන්න. ජනාධිපතිවරණයා සැමන් රුපියල් 100ටත් පරිප්පු 65ට දෙන්නටත් තීරණය කිරීම එක්ක මෙය වැඩි වුණා. දේශපාලනිකව වශයෙන් මෙයට පහර ගැහුවත් දුප්පත් එදා වෙලා හොයාගෙන කන පිරිසට මේක ලොකුම සහනයකුත් වුණා. ඒක  අපිට හොදටම දැනුණේ වතුකරයේ ජනතාවත් එක්ක කතා කලාම. සියල්ලෙන්ම පෙන්නේ අපේ රටේ තවමත් පවතින ද්‍රරිද්‍රතාවය.
Lock down කියන වචනේ අපිට අළුත්. දේශපාලන පක්‍ෂ රට lock down කරන්න කියලා කෑ ගහද්දි රජය ඇහුවේ එහෙම කලොත් එදා වෙලා කන ජනතාව අතවශ්‍ය සේවාවන් වැඩ කරන්නේ කොහොමද කියන කාරණය. නමුත් මේ පිළිවෙලට කොරෝනා පාලනය කර ගන්න නොහැකි වුණොත් රටක lock down නෙමෙයි shut down වෙයි වගේ. ඒ නිසා මේ පවතින තත්වය සියලුම පුරවැසියන් අවධානයෙන් ගෙන පුරවැසි වගකීම ඉටු කල යුතු වෙලාවක්. සාගතයක් දුර්භික්ෂයක් හෝ ඒඩ්ස් වන්නක් නොවූ කොරෝනාට තමන්ම පරිස්සම් වෙමින් රට සුරක්ෂිත කිරීමේ වැඩ පිළිවෙලට දායක විය යුතුයි.
පාන්ශුකුලයක් වත් නැතුව තමන්ගේ එකෙක් වළලන්න ඉඩ දෙන්න එපා. ඔබේ වගකීම මේ වෙලේ ඉටු කරන්න කියලා Boston අපි ඉල්ලනවා.
කොරෝනා මැඩලීම සදහා ප්‍රධාන වෛදවරුන් 24කින් යුත් කණ්ඩායමක් අද සාකච්චා පවත්වමින් ඔවුන් රෝහල් වල දනුවත් කිරීම් සිදු කෙරෙනවා. ඇදිරිනීතිය යටතේ මාධ්‍ය මෙන්ම වෙනත් අතවශ්‍ය සේවා ක්‍රියාත්මක වනවා. ලෝකයේ දත්ත එක්ක විශ්ලේෂණය කරකොට ලංකාවේ තියෙන්නේ එතරම් හොද තත්වයක් නෙමෙයි.
ඒ අතර ජපානය කොරෝනා වලට එරෙහිව බෙහෙතක් හොයා ගෙන කියලත් විදෙස් මාධ්‍ය වාර්තා කලත් තවම එහි හරි වාර්තාවක් අපට සැල වන්නේ නැහැ. කොහොම වුනත් ඉක්මණින්ම මේ රෝගය මගේ රටෙන් වගේම ලෝකෙන්ම තුරන් වේවායි ප්‍රර්ථනා කරනවා.
By Ashanthi Warunasuriya