බදු වලට එරෙහිව 08 වනදා දැවැන්ත විරෝධතාවක් පවත්වනවා – වෘත්තීය සමිති

රජයේ නව බදු ප්‍රතිපත්තියට එරෙහිව මෙම මස 08 වනදා දැවැන්ත විරෝධතාවයක් සහ වැඩ වර්ජනයක් පැවැත්වීමට සැලසුම්කර ඇති බව වෘත්තිය සමිති පවසනවා.

ඒ අනුව අකුරට වැඩ කිරීමේ ව්‍යාපාරයක් එදිනට ක්‍රියාත්මක කිරීමට සූදානම් කර ඇති බව සමස්ත ලංකා වරාය පොදු සේවක සමිතියේ සභාපති ප්‍රසංග මැදවත්ත සඳහන් කළා.

එයින් පසුව රජයෙන් පිළිතුරු නොලැබුණහොත් සමස්ත සේවකයින්ම මහා වැඩ වර්ජනයකට යොමු වන බවයි එම වෘත්තීය සමිති අවධාරණය කළේ.

ඉදිරියේදී අනිවාර්යයෙන් බිත්තර ආනයනය කිරීම සිදුකරනවා – වෙළෙඳ ඇමති

ඉදිරියේදී අනිවාර්යයෙන් බිත්තර ආනයනය කිරීමට සිදුවන බව වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු පවසනවා.

ඉදිරි උත්සව සමයේ ඇතිවිය හැකි බිත්තර හිඟය මගහැරීම සඳහා මෙම පියවර ගැනීමට සිදුවන බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ.

බිත්තර මිල තවත් අඩුවට ලබාදීමේ හැකියාව පාරිභෝගික අධිකාරියට ඇති බවයි වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු වැඩිදුරටත් සඳහන් කළේ.

බදු ගැන සාකච්ඡාවකට ජනාධිපති කාර්යාලයෙන් වෘත්තිකයින්ට ආරාධනයක්

නව බදු සංශෝධනවලට එරෙහිව ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග මෙම සතිය තුළ තීරණය කරන බව වෘත්තියවේදීන්ගේ, වෘත්තිය සමිති එකමුතුව පවසනවා.

ඒ අනුව එම ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කිරීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ හදිසි මධ්‍යම කාරක සභා රැස්වීමක් ද හෙට (07) දිනයේ පැවැත්වෙන බවයි එහි සාමාජික රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ සඳහන් කළේ.

කෙසේ නමුත් නව බදු සංශෝධන සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලබාදෙන ලෙස ඉල්ලමින් වෘත්තිකයින්ගේ, වෘත්තිය සමිති එකමුතුව ඉකුත් සතියේ ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කළ අතර ඒ අනුව අද දිනයේදී සාකච්ඡාවක් සඳහා ජනාධිපති කාර්යාලයෙන් කැඳවීමක් ලැබී ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

බිලියන 05 ක් වටිනා බහාලුම් 88 ක් රේගුවේ සිරවෙයි

වරාය අධිකාරියේ ගුදම් තුළ දිරාපත් වෙමින් තිබෙන රුපියල් බිලියන 05 ක පමණ වටිනාකමකින් යුත් භාණ්ඩ ඇතුළු බහාලූම් 88ක් සතියක් ඇතුළත ඉවත් කිරීමට පියවර ගන්නා ලෙස වරාය අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා උපදෙස් ලබාදී තිබෙනවා.

එම භාණ්ඩ හා බහාලූ අතර පුවක්, බාස්මතී සහල්, ටයිල්, වාහන, වාහන අමතර කොටස්, රෙදිපිළි, ලිපිද්‍රව්‍ය, මත්පැන් හා එතනෝල් ද වන බවයි සඳහන් වන්නේ.

එම බහාලු හේතුවෙන් වරාය අධිකාරියට මූල්‍ය වශයෙන් විශාල පාඩුවක් හා පර්යන්තවල ඉඩ ඇහිරීම හේතුවෙන් විශාල පරිපාලනමය ගැටලුවකට මුහුණ දී ඇති බවයි විෂය භාර අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා එම අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවකදී සඳහන් වන්නේ.

කුරුණෑගල රාජ්‍ය බැංකුවක ATM යන්ත්‍රයක තිබූ මුදල් සොරා ගනී

කුරුණෑගල, දුම්රිය පොළ ඉදිරිපිට ඇති රාජ්‍ය බැංකුවට අයත් ATM යන්ත්‍රයක තිබූ මුදල් කිසියම් පිරිසක් විසින් කොල්ල කා ඇති බව පොලීසිය පවසනවා.

ඊයේ (04) උදෑසන 9.30 – 10.00 අතර කාලයේ දී එම කොල්ලය සිදුව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

ATM යන්ත්‍රය අලුත් වැඩියා කරන පිරිසක් ලෙස පැමිණ ඇති මංකොල්ලකරුවන් එහි මුදල් මෙලෙස කොල්ල කා ඇති බ පොලීසිය වැඩිදුරටත් සඳහන් කළා.

ලිට්‍රෝ ගෑස් මිල ඉහළට

අද (05) මධ්‍යම රාත්‍රීයේ සිට ගෘහස්ත ගෑස් සිලින්ඩර මිල ඉහළ දැමීමට ලිට්‍රෝ ගෑස් සමාගම තීරණය කර තිබෙනවා.

ඒ අනුව වැඩි වූ ගණන සහ නව මිල පහතින්.

* කිලෝ ග්‍රෑම් 12.5 – රු.334 කින් (නව මිල රු.4,743)

* කිලෝ ග්‍රෑම් 5 – රු.134 කින් (නව මිල රු.1,904)

* කිලෝ ග්‍රෑම් 2.3 – රු.61 කින් (නව මිල රු.883)

Bitcoin යෝජනාව ගැන මහ බැංකු අධිපති ප්‍රතිචාර දක්වයි

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයට පිළියමක් ලෙස අතථ්‍ය මුදල් ඒකකයක් (Virtual Currency) වන Bitcoin භාවිතය සුදුසු බව බිලියනපති ආයෝජකයෙක් වන Tim Draper කළ යෝජනාව සම්බන්ධයෙන් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ප්‍රතිචාර දක්වා තිබෙනවා.

මහ බැංකු අධිපතිවරයා පෙන්වා දී ඇත්තේ, ශ්‍රී ලංකාව තුළ Bitcoin භාවිතය 100%ක් යථාර්තයක් නොවන බවත් එමගින් අර්බුදය තවත් උග්‍ර විය හැකි බවයි.

ඒ අනුව ඒ සම්බන්ධයෙන් සලකාබැලීමට ශ්‍රී ලංකා මහ බැංකුව තවමත් සූදානම් නොමැති බව මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යූහගත කිරීමට ජාත්‍යන්තර බැඳුම්කර හිමියන් සහාය පළ කරයි

ශ්‍රී ලංකාවේ පවතින ණය ප්‍රතිව්‍යූහගත කිරීම සඳහා සහාය ලබාදීමට සුදානම් බව ජාත්‍යන්තර බැඳුම්කර හිමියන් විසින් ලිපියක් මාර්ගයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) වෙත දන්වා ඇති බව වාර්තා වනවා.

එමෙන්ම ශ්‍රී ලංකාවට ණය තිරසාරභාවය යථා තත්ත්වයට පත් කිරීමට සහ ජාත්‍යන්තර ප්‍රාග්ධන වෙළෙඳපොළ වෙත නැවත ප්‍රවේශ වීමට ඉඩ සලසන ප්‍රතිව්‍යුහගත කිරීමේ නියමයන් සැලසුම් කිරීම සහ ක්‍රියාත්මක කිරීම සඳහාද ශ්‍රී ලංකාවට සහාය ලබාදීමට සුදානම් බව බැඳුම්කර හිමියන් විසින් IMF වෙත දැනුම් දී ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

ත්‍රීරෝද ‍රථ ගාස්තු වැඩි කරන්නේ නැහැ – ත්‍රීරෝද රථ රියදුරන්ගේ වෘත්තීය සමිතිය

පෙට්‍රල් මිල වැඩි කළත් ත්‍රිරෝද රථ ගාස්තු වැඩි නොකරන බව ත්‍රීරෝද රථ රියදුරන්ගේ වෘත්තීය සමිතිය පවසනවා.

ඊයේ (01) මධ්‍යම රාත්‍රියේ සිට ඔක්ටේන් 92 (පෙට්‍රල්) තෙල් ලීටරයක මිල රුපියල් 30 කින් ඉහළ දැමීමට කටයුතු කර තිබුණා.

රබර් ආනයනය කිරීම වැළැක්වීමට සුදුසු ක්‍රියාමාර්ග ගැනීම සඳහා ජනපතිට වාර්තාවක්

අමුද්‍රව්‍ය ලෙස තව දුරටත් රබර් ආනයනය කිරීම වැළැක්වීමට සුදුසු ක්‍රියාමාර්ග ගැනීම සඳහා වාර්තාවක් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

ඇතැම් බහුජාතික සමාගම් රබර්වල ගුණාත්මකභාවය හුවා දක්වමින් ඉහළ මිල ගණන් යටතේ තව දුරටත් රබර් ආනයනය සිදුකරන බවට තොරතුරු අනාවරණයවී ඇති බවයි සඳහන් වන්නේ.

අදාළ කමිටුව මුදල් අමාත්‍යාංශයේ දී රැස්වී දීර්ඝ වශයෙන් සිදුකළ සාකච්ඡාවේ දී එම තීරණය ගත් බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.