රට ඉඳි සඳහා පනවා තිබූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද අඩු කෙරේ

එළඹෙන රාමසාන් උත්සවය වෙනුවෙන් රට ඉඳි සඳහා පනවා තිබූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද කිලෝග්‍රෑමයකට රුපියල් 200 සිට රුපියලක් දක්වා අඩු කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ නියෝග කර තිබෙනවා.

මෙම බදු නිදහස් කිරීම අදාළ වන්නේ විදෙස් රටවල්, සංවිධාන, ව්‍යාපාරික ආයතන, ස්වේච්ඡා සංගම්, සුභ පතන්නන් වෙතින් කිසිදු විදේශ විනිමය සම්බන්ධයකින් තොරව ත්‍යාගයක් හෝ පරිත්‍යාගයක් ලෙස ලැබුණු රටඉඳි සඳහා පමණක් බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

චීන එක්සීම් බැංකුවේ මූල්‍ය සහතික ලිපිය නිල වශයෙන් භාර දෙයි

චීන එක්සීම් බැංකුව විසින් නිකුත් කළ මූල්‍ය සහතික ලිපිය ශ්‍රී ලංකාවේ චීන නියෝජ්‍ය තානාපති හු වෙයි (Hu Wei) විසින් අද (07) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන වෙත නිල වශයෙන් භාරදී තිබෙනවා.

නව ආයෝජන අවස්ථා පිළිබඳ සොයා බැලීමට ඉදිරියේ දී චීනයේ මහා පරිමාණ සමාගම් ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇති බව ද එහිදී නියෝජ්‍ය තානාපතිවරයා සඳහන් කර ඇති බවයි වාර්තා වන්නේ.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

1b763b9c79808d38c6895eb6b80a1e81

ඩොලරයේ මිල තවදුරටත් අඩු වෙයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතිකය අනුව එක්සත් ජනපද ඩොලරයේ මිල අද තවදුරටත් අඩු වී තිබෙනවා.

ඒ අනුව අද (07) දිනයේ දී එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 318.30 ක් ලෙස හා විකුණුම් මිල රු. 335.75 ක් ලෙසයි සටහන්ව ඇත්තේ.

පසුගිය මාර්තු 03 වනදා දිනයේ දී ඩොලරයක ගැනුම් මිල රු. 334.50 ක් ලෙස හා විකුණුම් මිල රු. 348.03 ක් ලෙසත් වාර්තාවී තිබුණා.

IMF මූල්‍ය සහනය ලබා ගැනීමට ශ්‍රී ලංකාව සිදුකළ යුතු කාර්යයන් සිදුකර අවසන් – ජනපති

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ චීනයේ සහතිකය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යොමුකර ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (07) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

ඒ අනුව ශ්‍රී ලංකාව විසින් මෙම මූල්‍ය සහනය ලබා ගැනීම සඳහා අවශ්‍ය කටයුතු සිදුකර ඇති බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් මෙම මාසය අවසන් වීමට ප්‍රථම සිය කටයුතු සිදුකරනු ඇති බවයි ජනාධිපතිවරයා අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් සඳහන් කළේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකඟතාව ලබා ගැනීමට ප්‍රථම ඔවුන් විසින් ප්‍රකාශ කළ කටයුතු කිහිපයක් කිරීමට සිදුවූ බවත් විදුලි මිල සංශෝධනය, ඛනිජ තෙල් මිල සංශෝධනය, මහ බැංකුවේ ස්වාධීනත්වය තහවුරු කිරීම වැනි කටයුතු සිදු කිරිමට සිදුවූ බවද ජනාධිපතිවරයා සඳහන් කළා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් එකඟතාව ලැබුණු පසු ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇතිකරගත් ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණයට සහාය දෙන බවට චීනය සහතික වෙයි

ශ්‍රී ලංකාව ලබාගෙන ඇති ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා සිය සහාය ලබාදෙන බව චීනය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට සහතිකවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අනුව මේ සමඟම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ශ්‍රී ලංකාව බලාපොරොත්තු වන විස්තීරණ මුල්‍ය පහසුකම ලබාගැනීමට තිබූ ප්‍රධාන බාධකය ඉවත්වන බවයි Bloomberg වෙබ් අඩවිය වාර්තා කර තිබෙන්නේ.

ශ්‍රී ලංකාවේ ප්‍රධානතම ද්විපාර්ශවික ණයහිමියා වන චීනය එරට අපනයන – ආනයන බැංකුව හරහා මාර්තු 6 වනදා මෙම දැනුම්දීම සිදුකර ඇති බවයි සඳහන් වන්නේ.

අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සඳහා විදේශ විනිමය හිඟයක් දැන් රටේ නැහැ – මහ බැංකු අධිපති

අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සඳහා විදේශ විනිමය හිඟයක් මේ වනවිට රට තුළ නොමැති බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා.

තෙල්, ගෑස්, ගල්අඟුරු, අත්‍යවශ්‍ය ඖෂධ ආදිය සඳහා අවශ්‍ය විදේශ විනිමය දැන් මහ බැංකුවෙන් සැපයීමක් සිදු නොකරන බවයි සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් මහ බැංකු අධිපතිවරයා සඳහන් කළේ.

ඒ අනුව එම අවශ්‍ය විදේශ විනිමය සපයා ගැනීම සිදු කරන්නේ, බැංකු ක්‍රමය තුළින් බවත් එහි සංචිත, ඩොලර් මිලියන 600 ක් දක්වා වර්ධනය වී ඇති බව මහ බැංකු අධිපතිවරයා වඩිදුරටත් සඳහන් කළා.

ශ්‍රී ලංකා මහ බැංකුව පොලී අනුපාත ඉහළ දැමීම පිළිබඳව IMF ප්‍රසාදය පළ කරයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඊයේ (03) දිනයේ දී ප්‍රතිපත්ති පොලී අනුපාතිකය 1%කින් ඉහළ නැංවීමට කටයුතු කළා.

මේ පිළිබඳව අදහස් දක්වමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) පවසා තිබුණේ පොලී අනුපාතිකය ඉහළ නැංවීමට මහ බැංකුව ගත් තීරණය සුදුසු සහ උද්ධමන ඉලක්ක රාමුව යටතේ පිහිටුවා ඇති අරමුණුවලට අනුකූල බවයි.

උද්ධමනය පාලනය සඳහා සැලසුම් සහගත ක්‍රියාවලියට අනුකූලව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පොලි අනුපාතික ඉහළ දැමීම සුදුසු දෙයක් බවත්, එය උද්ධමන ඉලක්ක සපුරාලීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ කැපවීම පිළිබිඹු කරන බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් වැඩිදුරටත් පවසා තිබෙනවා.

ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය තෙවන දිනටත් ශක්තිමත් වෙයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව පිට පිට තෙවන දිනටත් ශ්‍රී ලංකා රුපියල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව සුළු ඉහළ අගයක් ගෙන තිබෙනවා.

ඒ අනුව අද (03) දිනයේ දී එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 334.50 ක් ලෙසත් විකුණුම් මිල රු. 348.03 ක් ලෙසත් සටහන්ව තිබෙනවා.

ඊයේ (02) දිනයේ දී ඩොලරයක් ගැනුම් මිල රු. 343.97 ක් ලෙසත් විකුණුම් මිල රු. 356.73 ක් ලෙසත් වාර්තාවී තිබුණා.

සඟවා තිබූ බිත්තර 60,000ක් සමඟ ගබඩාවකට මුද්‍රා තබයි

වැඩි මිලට විකිණීම සඳහා 60,000කට ආසන්න බිත්තර තොගයක් සඟවා ගෙන සිටි ජාඇල, දඬුගම ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගේ ගබඩාවකට මුද්‍රා තැබීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන් කටයුතු කර තිබෙනවා.

අධිකරණයට කරුණු වාර්තා කර අදාළ බිත්තර තොගය සම්බන්ධයෙන් අද (03) තීන්දුවක් ගන්නා බවයි පාරිභෝගික සේවා අධිකාරිය සඳහන් කළේ.

සමස්ත ලංකා බිත්තර වෙළෙඳ සංගමයේ සභාපති ඇන්ටන් නිශාන්ත අප්පුහාමිට අයත් ජාඇල, දඬුගම ප්‍රදේශයේ බිත්තර ගබඩාවට මෙලෙම මුද්‍රා තබා ඇති බවයි සඳහන් වන්නේ.

බදු ප්‍රතිපත්තිය ගැන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ප්‍රකාශයක්

ශ්‍රී ලංකාව තුළ බදු ප්‍රතිපත්තිය ප්‍රතිව්‍යුහගත කිරීම අත්‍යවශ්‍ය වූ කාරණයක් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙරට කාර්යාලය පවසනවා.

ඒ අනුව ශ්‍රී ලංකාවේ නව බදු ප්‍රතිසංස්කරණ මගින් බදු ආදායම් සහ වියදම්වල අසමතුලිතතාවය නිවැරදි කිරීමේ අරමුණ ඉටුකර ගැනීමට ඉවහල් වන බවයි ඔවුන් ප්‍රකාශ කරන්නේ.

බදු ආදායම ඉහළ නැංවීමේ උත්සාහයන් ආර්ථික වර්ධනයට හිතකර ආකාරයෙන් අනුගමනය කළ යුතු අතරම, දිළිඳු හා වඩාත්ම අවදානමට ලක්විය හැකි අය ආරක්ෂා කරන ආකාරයෙන් එය සිදු කළ යුතු බවයි ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

අත්‍යාවශ්‍ය රජයේ වියදම් සඳහා මූල්‍ය සම්පාදනයට වඩාත් සරු ආර්ථිකයක් ඇති අය, ප්‍රමාණවත් දායකත්වයක් ලබා දීම ද වැදගත් බවයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙරට කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරන්නේ.