උත්සව සමයේ ආහාර ද්‍රව්‍ය මිල ගණන් තවදුරටත් පහළ යාවි – වෙළඳ ඇමති

ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත් වීමත් සමග අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල ගණන් පහළ යමින් ඇතැයි වෙළෙඳ අමාත්‍යාංශය පවසනවා.

ඒ අනුව වෙළඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු සඳහන් කළේ, එහි වාසිය කඩිනමින් ජනතාවට ලබා දීමට වෙළෙඳ සංගම් එකඟ වූ බවයි.

මේ හේතුවෙන් උත්සව සමයේ ආහාර ද්‍රව්‍ය මිල ගණන් තවදුරටත් පහළ යනු ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

රන් මිල සීඝ්‍ර ලෙස අඩුවෙයි

මෙරට රන් මිල සීඝ්‍රයෙන් පහළගොස් ඇති බව කොළඹ හෙට්ටිවීදිය රන් වෙළඳුන් පවසනවා.

ඒ අනුව කැරට් 24 ක රන් පවුමක මිල රුපියල් 145,000ක් දක්වා පහළ ගොස් ඇති අතර කැරට් 22 රන් පවුමක මිල රුපියල් 134,000ක් ලෙස සටහන් වී ඇති බවයි සඳහන් වන්නේ.

ඩොලරයේ විකුණුම් මිල රු.325 දක්වා අඩු වෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතික අනුව එක්සත් ජනපද ඩොලරයේ මිල අද (09) තවදුරටත් අඩු වී තිබෙනවා.

ඒ අනුව අද දිනයේ දී එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු.307.36 ක් ලෙස හා විකුණුම් මිල රු.325.52 ක් ලෙසයි ශ්‍රී ලංකා මහ බැංකු නිල වෙබ් අඩවියේ දැක්වෙන්නේ.

මහ බැංකු වාර්තා අනුව පසුගිය දින කිහිපය තුළ ඩොලරයේ මිල ගණන් වෙනස් වූ ආකාරය පහතින්.

004348294b884cd480aeae976342f0bc

සතොස භාණ්ඩ වර්ග 07ක මිල පහළ දමයි

අද (09) සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා සතොස භාණ්ඩ වර්ග 07ක මිල පහළ දමා තිබෙනවා.

ඒ අනුව වියළි මිරිස්, රතු පරිප්පු, පාන් පිටි, සුදු සීනි, රතු කැකුළු (දේශීය), සුදු නාඩු (දේශීය), ලොකු ලූණු යන භාණ්ඩවල මෙලෙස මිල අඩු කර ඇති බවයි ලංකා සතොස ආයතනය සඳහන් කළේ.

අදාළ භාණ්ඩ ලැයිස්තුව පහතින්,

f8e66bf5960c827255c0880051e79f9b

ආනයනික අර්තාපල් සඳහා විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ඉහළට

ආනයනික අර්තාපල් සඳහා වූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ඊයේ (08) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දැමීමට රජය තීරණය කර තිබෙනවා.

ඒ අනුව ආනයනික අර්තාපල් කිලෝග්‍රෑම් එකක් සඳහා රුපියල් 20 ක්ව පැවති විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියල් 50ක් දක්වා ඉහළ දැමීමට තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

සීනි මිල අඩුවෙයි

සීනි කිලෝවක තොග මිල රුපියල් 20ත් 25ත් අතර මිලකින් පහළ දැමීමට පියවර ගෙන ඇති බව පිටකොටුව ආනයනකරුවන්ගේ සහ තොග වෙළෙඳුන්ගේ සංගමය පවසනවා.

ඒ අනුව ඊයේ (07) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි එම තීරණය ගෙන ඇති බවයි පිටකොටුව ආනයනකරුවන්ගේ සහ තොග වෙළෙඳුන්ගේ සංගමය වැඩිදුරටත් සඳහන් කළේ.

තිරිඟු පිටි මිල පහළට

ප්‍රීමා සහ සෙරන්ඩිබ් සමාගම් විසින් තිරිඟු පිටි මිල අද (08) සිට පහළ දැමීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව, ප්‍රීමා සහ සෙරන්ඩිබ් තිරිඟු පිටි මිල රුපියල් 15කින් අඩු කිරිමට මෙලෙස තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

පාන් මිල රුපියල් 10 කින් අඩු කෙරේ

පාන් රාත්තලක මිල අඩු කිරීමට තීරණය කළ බව බේකරි හිමියන්ගේ සංගමය පවසනවා.

ඒ අනුව අද (08) මධ්‍යම රාත්‍රීයේ සිට රුපියල් 10 කින් පාන් රාත්තලක මිල අඩු කිරීමට තීරණය කර තිබෙනවා.

ඩොලරයේ මිල තවදුරටත් අඩු වෙයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතිකය අනුව එක්සත් ජනපද ඩොලරයේ මිල අද (08) තවදුරටත් අඩු වී තිබෙනවා.

ඒ අනුව අද (08) දිනයේ දී එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 313.77 ක් ලෙස හා විකුණුම් මිල රු. 331.05 ක් ලෙසයි සටහන්ව ඇත්තේ.

ඊයේ (07) දිනයේ දී ඩොලරයක ගැනුම් මිල රු. 318.30 ක් ලෙස හා විකුණුම් මිල රු. 335.75 ක් ලෙසත් වාර්තාවී තිබුණා.

2e41df6ea7dfe49bdf28bb213a56ae60

ශ්‍රී ලංකාවට සහාය දක්වන වැඩසටහන මාර්තු 20 වනදා IMF විධායක මණ්ඩලයට ඉදිරිපත් කෙරේ

එළඹෙන මාර්තු මස 20 වනදා ශ්‍රී ලංකාවට සහාය ලබාදීම සම්බන්ධ වැඩසටහන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයට ඉදිරිපත් කරන බව එහි කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලීනා ජෝජිවා පවසනවා.

චීනය, ඉන්දියාව සහ පැරිස් සමාජය ඇතුළු ශ්‍රී ලංකාවේ ප්‍රධාන ණයහිමියන්ගෙන් මූල්‍ය සහතික ලබාගැනීමේදී සහ තීරණාත්මක ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග ගැනීමේදී ශ්‍රී ලංකා බලධාරීන් ලබා ඇති ප්‍රගතිය සම්බන්ධයෙන් තම ප්‍රශංසාව පළ කරන බවයි ඇය සඳහන් කරන්නේ.

Twitter පණිවිඩයක් නිකුත් කරමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලීනා ජෝජිවා මේ බව සඳහන් කර තිබෙනවා.

අදාළ Twitter පණිවිඩය පහතින්.

4a1e17c55cc669b2f0d54d5cdcf7466e