බණ්ඩි පොහොර මිල පහළ දැමීමට අවධානය

මෙවර යල කන්නයේ වී වගාව සඳහා බණ්ඩි පොහොර මිල රුපියල් 4,500කින් පහළ දැමීම කෙරෙහි රජයේ අවධානය යොමුව ඇති බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසනවා.

බණ්ඩි පොහොර කිලෝග්‍රෑම් 50ක මිටියක් රුපියල් 18,500 ක පමණ මිලකට අලෙවි වන බැවින් එම මුදල ගොවි ජනතාවට දරාගැනීමට අපහසු නිසා මෙලෙස මිල අඩු කිරීමට තිරණය කළ බවයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කළේ.

මේ පිළිබඳ අවසන් තීරණය ලබන සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩ‍ල සාකච්ඡාවේදී ගන්නා බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

සහල් මිල සඳහා සහනයක් ලබාදීමට හැකියාවක් නැහැ – ඩඩ්ලි සිරිසේන

සහල් මිල සඳහා සහනයක් ලබාදීමට මේ මොහොතේ හැකියාවක් නොමැති බව සහල් ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන පවසනවා.

ඩීසල් මිල ඉහළයාම, අධික බදු සහ විදුලි ගාස්තු හේතුවෙන් සිය නිෂ්පාදන පිරිවැය අධික ලෙස ඉහළ ගොස් ඇති බවයි ඔහු සඳහන් කළේ.

ඒ අනුව රුපියල් 220 ට සහල් මිල නියම කරන විට ඩීසල් මිල රුපියල් 112 ක්, විදුලි ඒකකයක් රුපියල් 16 ක් හා බැංකු පොළිය 8% ක් පමණ වූ බවත් මේ වන විට ඩීසල් රුපියල් 380 ක්, විදුලි ඒකකයක් රු.75 ක් හා බැංකු පොලිය 28% ක් බවයි ඔහු පෙන්වා දෙන්නේ.

අධික බදු ඇතුළු කරුණු හේතුවෙන් ජනතාවට ලබාදිය යුතු සහන ලබාදීමේ ක්‍රමයක් නොමැති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

බිත්තර සඳහා බර අනුව උපරිම සිල්ලර මිලක් නියම කරමින් ගැසට් නිවේදනයක්

අද (20) සිට ක්‍රියාත්මක වන පරිදි බිත්තර සඳහා බර අනුව උපරිම සිල්ලර මිලක් නියම කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව සුදු බිත්තර කිලෝවක් රුපියල් 880 ක් හා දුඹුරු බිත්තර කිලෝවක් රුපියල් 920 ක් ලෙස සඳහන් කරමින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇති බවයි සඳහන් වන්නේ.

එසේම එම ගැසට් නිවේදනයේ එක් බිත්තරයක් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කර ඇති අතර සුදු බිත්තරයක් රුපියල් 44 ක් හා දුඹුරු බිත්තරයක් රුපියල් 46 ක් ලෙස මෙලෙස මිල නියම කර තිබෙනවා.

IMF එකඟතා ගැන පාර්ලිමේන්තු විවාදය අප්‍රේල් 26 සහ 27 පැවැත්වෙනවා – රංජිත් සියඹලාපිටිය

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇතිකරගත් එකඟතා සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදය එළඹෙන 26 සහ 27 දිනවලදී පැවැත්වෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

ඉන් අනතුරුව එම එකඟතා සඳහා බහුතරයේ අනුමැතිය ලබා ගැනීමට නියමිත බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීවරුන් 225 රටේ අනාගතය සම්බන්ධයෙන් සිතා, එය පහළට දමා කටයුතු කරාවි යැයි තමා බලාපොරොත්තු නොවන බවයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

ඉදිරියේදී කිරිපිටි මිල ගණන් පහළ දැමීමට ආනයනකරුවන් එකඟතාව පළ කරයි

ආනයනික කිරිපිටි මිල තවදුරටත් අඩු කිරිමට ආනයනකරුවන් එකඟතාව පළකර ඇති බව වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු පවසනවා.

කිරිපිටි ආනයනකරුවන් සමග ඊයේ (18) රාත්‍රියේ පැවැත්වූ සාකච්ඡාවකදී ඔවුන් ඒ සම්බන්ධයෙන් එකඟතාව පළ කළ බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

ඒ අනුව ඒ සම්බන්ධයෙන් වාර්තාවක් වෙළෙඳ අමාත්‍යාංශය වෙත ලබා දීමටද නියමිත බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

මීට පෙර අප්‍රේල් මස පළමුවැනි දින සිට ආනයනික කිරිපිටි මිල අඩු කිරීමට එම සංගම් පියවර ගෙන තිබූ අතර එහිදී කිලෝග්‍රෑම් එකක කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 200කින් සහ ග්‍රෑම් 400යේ කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 80කින් අඩු තිබුණා.

ආනයන සීමා ක්‍රමානුකූලව ලිහිල් කිරීමට ඉදිරියේදී කටයුතු කරනවා – රංජිත් සියඹලාපිටිය

තවත් භාණ්ඩ රැසක ආනයන සීමා ඉදිරියේදී ලිහිල් කෙරෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

රේගුව වෙත පළමු මාස 03 සඳහා ලබාදී ඇති ආදායම් ඉලක්කය රුපියල් බිලියන 270 ක් බවත් නමුත් එම කාලය තුළ ලැබී ඇති ආදායම අපේක්ෂිත ආදායමට වඩා 12%ක අඩුවක් පෙන්නුම් කරන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

මෙයට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ භාණ්ඩ රැසක් සඳහා ආනයන සීමා පැනවීම බවයි රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

ඒ අනුව ආනයන සීමා ලිහිල් කිරීම ක්‍රමානුකූලව සිදුකළ යුතු බවයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

සුබසාධක ප්‍රතිලාභ ගෙවීම් යෝජනා ක්‍රමයක් පිළියෙල කර ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය

සුබසාධන ප්‍රතිලාභ පනතේ විධිවිධාන අනුව සුබසාධක ප්‍රතිලාභ ගෙවීම් යෝජනා ක්‍රමයක් පිළියෙල කර ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.

මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ මෙම යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවූ බවයි සඳහන් වන්නේ.

යෝජිත සුබසාධන ප්‍රතිලාභ ක්‍රමයන් 2023-07-01 දින සිට ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන අතර, ඒ සඳහා වැයවන මුළු වියදම වාර්ෂිකව රුපියල් බිලියන 206 පමණ වන බවට ගණනය කර ඇති බවයි අදාළ කැබිනට් තීරණයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

අදාළ කැබිනට් තීරණය පහතින්.

2d5105ddfc874ccff682f0298211db9d

IMF මූල්‍ය පහසුකම ගැන විවාදය අප්‍රේල් 25 වනදා ඇරඹේ

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ අරමුදල් පහසුකම පිළිබඳ වැඩසටහන පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබාගැනීම සඳහා ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලබාදී තිබෙනවා.

එය සම්බන්ධයෙන් පැවැත්වෙන විවාදයෙන් අනතුරුව ඒ සඳහා ඡන්දයක් පැවැත්වෙන බවයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන සඳහන් කළේ.

ඒ අනුව අදාළ විවාදය අප්‍රේල් 25 වනදා සිට පැවැත්වෙන බවත් එයට පක්ෂව හෝ විපක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාවද ලබාදී ඇති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

අදාළ කැබිනට් තීරණය පහතින්.

762d7b58bde4c75fe30b41d01df7556c

වැඩි මිලට බිත්තර අලෙවි කළ වෙළඳසැල් 700 කට එරෙහිව නඩු

උත්සව සමයේ වැඩි මිලට බිත්තර අලෙවි කළ වෙළඳසැල් 700 කට එරෙහිව නඩු පැවරීමට කටයුතු කර ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා.

ඒ අනුව එහි සභාපති ශාන්ත නිරිඇල්ල සඳහන් කළේ, බිත්තර වැඩි මිලට අලෙවි කිරීම සම්බන්ධයෙන් වැටලීම් 700 ක් හා සියලු භාණ්ඩ සම්බන්ධයෙන් වැටලීම් 6000 ක් පමණ සිදුකර ඇති බවයි.

මේ අතර සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති සරත් රත්නායක සඳහන් කළේ, මැයි 1 වනදා සිට පාලන මිලට වඩා අඩුවෙන් බිත්තර පාරිභෝගිකයන්ට ලබාදීමට කටයුතු කරන බවයි.

බිත්තරයක් රුපියල් 50 ට අඩුවෙන් ලබාදීමට ක්‍රමවේදයක් සකස් කරනවා – බිත්තර නිෂ්පාදකයින්

දේශීය බිත්තරයක මිල රුපියල් 50 ට අඩුවෙන් ලබාදීමට තීරණය කර ඇති බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති සරත් රත්නායක පවසනවා.

ඒ අනුව ඊයේ (16) තම සංගමයේ නියෝජිතයින් රැස්වී මෙම තීරණය ගත් බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ.

එසේම මැයි මස 01 වනදායින් පසු මේ වන විට පනවා ඇති පාලන මිලෙන් පහළට පාරිභෝගිකයින්ට බිත්තර ලබාදීමේ ක්‍රමවේදයක් සකස් කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.