විදුලි ගාස්තු යළි වැඩි කිරීමට විදුලිබල මණ්ඩලයෙන් ඉල්ලීමක්

ලංකා විදුලිබල මණ්ඩලය ලබන පාඩුව පියවාගැනීම සඳහා නැවත වරක් විදුලි බිල ඉහළ දැමීමක් සිදුකළ යුතු බවට ලංකා විදුලිබල මණ්ඩලය විසින් මහජන උපයෝගිතා කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

ඒ අනුව එම යෝජනාව මහජන උපයෝගිතා කොමිෂන් සභාව ප්‍රතික්ෂේප කර ඇති අතර ඔවුන් පවසන්නේ දැනට සිදුකර ඇති ගාස්තු සංශෝධනය ප්‍රමාණවත් බවයි.

විදුලිය ගාස්තු සංශෝධනයේදී ලංකා විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කළ ගාස්තු අඩුකර, මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් ගාස්තු ඉදිරිපත් කිරීම නිසා විදුලිබල මණ්ඩලයේ මේ වසරේ ආදායම රුපියල් බිලියන 33කින් පමණ අඩුවී ඇති බවද අදාළ ලිපිය මඟින් විදුලිබල මණ්ඩලය පෙන්වා දෙනවා.

පසුගිය මස 21 වනදා යොමුකළ එම ලිපිය මගින් විදුලිබල මණ්ඩලයේ සමාන්‍යාධිකාරිවරයා ඉල්ලා සිටින්නේ තාප ජනනය මගින් විදුලිය නිෂ්පාදනය ඉහළ යාම, විදුලිය සඳහා ඉල්ලුම ඉහළයාම සහ මණ්ඩලයේ වියදම් පියවා ගැනීම බරපතළ ගැටලුවක් බවයි.

ඒ අනුව, 2023 වසර සඳහා ලංකා විදුලිබල මණ්ඩලයට රුපියල් බිලියන 33කින් සිය ආදායම වැඩි කරගැනීමට විදුලි බිල සංශෝධනයක් කළ යුතු බවයි අදාළ ලිපියේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

පසුගිය වසර 5 තුළ මත්තල ගුවන්තොටුපොළේ අලාභය රුපියල් කෝටි 4,281ක් බවට විගණන වාර්තාවක්

2017 සිට 2022 දක්වා වසර 5 තුළ මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොලේ සමස්ත අලාභය රුපියල් කෝටි 4,281 බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ විගණන වාර්තාව දැක්වෙනවා.

2022 වසරේ පමණක් මත්තල රාජපක්ෂ ගුවන්තොටුපොළ ලැබු අලාභය රුපියල් කෝටි 2,221ක් බවද එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන්.

එම වසරේදී එහි මෙහෙයුම් පිරිවැය කෝටි 203ක් ලෙස වාර්තාවේ දක්වා ඇති අතර, එය මෙහෙයුම් ආදායමට වඩා 26 ගුණයකින් වැඩි බවද එම විගණනයෙන් පෙන්වා දී තිබෙනවා.

මලාපවහන ගාස්තු ඉහළට

ජල ගාස්තු සංශෝධනයට සාපේක්ෂව අද (03) සිට ක්‍රියාත්මක වන පරිදි මලාපවහන ගාස්තු ද ඉහළ දමා තිබෙනවා.

ඒ අනුව යම් මාසයක භාවිතය ශුන්‍ය වුව ද මාසික මලාපවහන සේවා ගාස්තු ගෙවිය යුතු බවයි ගැසට් නිවේදනයේ සඳහන් වන්නේ.

ජල සම්පාදන මණ්ඩලයේ ජල සැපයුමට අමතරව වෙනත් විකල්ප ජල ප්‍රභව කිහිපයක් භාවිත කරන විට ඒ සඳහා පරිහරණ ගාස්තුව වශයෙන් ජල සම්පාදන මණ්ඩලයේ සාමාන්‍යාධිකාරීවරයා කාලානුරූපීව තීරණය කරන අතිරේක ගාස්තුවක් පාරිභෝගිකයා ගෙවිය යුතු වනවා.

ජල සැපයුමක් රහිතව මලාපවහන සේවා පමණක් ලබාගෙන ඇති අවස්ථාවක ජල සම්පාදන මණ්ඩලයේ නිලධාරීන් පාරිභෝගිකයින්ගේ ද සහභාගිත්වයෙන් කරන ක්ෂේත්‍ර පරීක්ෂාවකින් අනතුරුව තීරණය කරන ඇස්තමේන්තු අගයකට මලාපවහන ගාස්තු නියම කළයුතු බවයි එහි වැඩිදුරටත් සඳහන් වන්නේ.

ජල ගාස්තු ඉහළට

අද (02) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ජල ගාස්තු සංශෝධනය කරන බව ජාතික ජල සම්පාදන ජලාපවාහන මණ්ඩලයේ සාමාන්‍යාධිකාරීවරයා පවසනවා.

ඒ අනුව ගෘහස්ථව පරිභෝජනය කරන ජල ඒකක කාණ්ඩ කීපයක් යටතේ 30% සිට 50% අතර ගාස්තු වැඩිවීමක් සිදුවනු ඇති බවද, අඩු අදායම් ලබන පවුල්වලට බලපෑමක් මෙයින් සිදු නොවනු ඇති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කරනවා.

ජල ගාස්තු සංශෝධනයට අදාළ ගැසට් නිවේදනය රජයේ මුද්‍රණාලය වෙත යවා ඇති බවයි වාර්තා වන්නේ.

දේශීය කුකුළු මස් මිල රුපියල් 100 කින් පහළට

දේශීය කුකුළු මස් කිලෝවක මිල රුපියල් 100කින් අඩු කිරීමට දේශීය කුකුළු මස් නිෂ්පාදන කර්මාන්තකරුවන් එකඟතාව පළ කර තිබෙනවා.

ඒ අනුව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර සමඟ ප්‍රධාන කුකුළු මස් නිෂ්පාදනකරුවන් ඊයේ (01) පැවති සාකච්ඡාවේදී මෙම එකඟතාව පළ කර ඇති බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළේ.

ආනයනික බඩඉරිඟු කිලෝග්‍රෑමයක් සඳහා පනවා ඇති රුපියල් 75ක ආනයනික බද්ද මෙලෙස මස් මිල ඉහළ යාමට හේතුවී ඇති බවත් එය රුපියල් 25ක් දක්වා අඩු කරදෙන ලෙසයි අදාළ ව්‍යාපාරිකයින් අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිට තිබෙනවා.

මේ සම්බන්ධව ජනාධිපතිවරයා දැනුම්වත් කිරීමට පියවර ගන්නා බවයි එහිදී කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර වැඩිදුරටත් සඳහන් කළේ.

සිනොපෙක් ඉන්ධන ගොඩබෑම ආරම්භ කරයි

සිනොපෙක්හි පළමු ඉන්ධන තොගය ගොඩබෑම ආරම්භ කර ඇති බව අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

ඒ අනුව Twitter පණිවිඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා සඳහන් කරන්නේ, දෙවන ඉන්ධන තොගයද අද (02) පැමිණෙන බවයි.

ඉන්ධන පිරවුම්හල් අලෙවිකරුවන් සමඟ ගිවිසුම් අත්සන් කර අවසන් වූ පසු සිනොපෙක් දිවයින පුරා ඉන්ධන පිරවුම්හල් 150ක් සමඟ ඛනිජ තෙල් මෙහෙයුම් ආරම්භ කරන බවයි අමාත්‍ය කංචන විජේසේකර වැඩිදුරටත් සඳහන් කළේ.

CEYPETCO ඉන්ධන මිල සංශෝධනය කෙරේ

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධනවල මිල අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය තිබෙනවා.

මිල වැඩි වූ ඉන්ධන වර්ග:

* පෙට්‍රල් 92 – රු.20  කින්  (නව මිල රු.348)

* පෙට්‍රල් 95 – රු.10 කින්  (නව මිල රු.375)

* සුපර් ඩීසල් – රු.12 කින් (නව මිල රු.358)

මිල අඩු වූ ඉන්ධන වර්ග:

* ඔටෝ ඩීසල්  – රු.02 කින් (නව මිල රු.306)

* භූමිතෙල් – රු.10 කින් (නව මිල රු.226)

64c7e01e891bfpdf_page_0

අද ඩොලරයේ විකුණුම් මිල රු.337 යි

ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතිකය අනුව එක්සත් ජනපද ඩොලරයේ මිල අද (26) සුළු ඉහළ යෑමක් සිදුව තිබෙනවා.

ඒ අනුව, අද ඩොලරයක ගැනුම් මිල රු. 323.69 ක් ලෙස හා විකුණුම් මිල රු 337.17 ක් ලෙසයි ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර තිබෙන්නේ.

ඊයේ (25) දිනයේ ඩොලරයක විකුණුම් මිල සටහන් වූයේ රු.336.16 ක් ලෙසයි.

ශ්‍රී ලංකා රුපියල ආසියාවේ දුර්වලතම මුදල් ඒකකය බවට පත් වී ඇති බව Bloomberg වාර්තා කරයි

මේ වසරේ මුල් භාගය තුළ ආසියාවේ හොඳම ක්‍රියාකාරීම මුදල් ඒකකය බවට පත්වූ ශ්‍රී ලංකා රුපියල, මේ වන විට ආසියාවේ දුර්වලතම මුදල් ඒකකය බවට පවත්ව ඇති බව Bloomberg වෙබ් අඩවිය වාර්තා කර තිබෙනවා.

ඒ අනුව එම වෙබ් අඩවිය පෙන්වා දෙන්නේ අඛණ්ඩව දින 14 ක කාලයක් තුළ රුපියල 6% කින් අවප්‍රමාණයවී ඇති බවයි.

පොලී අනුපාත කප්පාදුව සහ ආනයන පාලනයන් ලිහිල් කිරීම හේතුවෙන් තවදුරටත් රුපියල අවප්‍රමාණය විය හැකි බවත් වසර අවසානය වන විට ඩොලරය රුපියල් 355 ක් දක්වා ඉහළ යනු ඇති බවත් එම වෙබ් අඩවිය වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

ආනයනික ඉන්දීය බිත්තර අද සිට සතොසෙන් සහ සුපිරි වෙළෙඳසැල්වලින්

ඉන්දියාවෙන් ආනයනය කරන ලද බිත්තර අද (26) සිට සතොස සහ සුපිරි වෙළෙඳසැල්වලින් ලබාගත හැකි බව රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාව පවසනවා.

ඒ අනුව බිත්තරයක් රුපියල් 35/- ක මුදලකට සහ අසුරන ලද බිත්තරයක් රුපියල් 40/- ක මුදලකට මිලදී ගත හැකි බවයි එහි සභාපති ආසිරි වලිසුන්දර සඳහන් කළේ.

මෙම බිත්තර පරිභෝජනයට සුදුසු බවට පරීක්ෂණ මඟින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව වෙළඳපොළට නිකුත් කර ඇති බවත් බිත්තර මිලදී ගැනීමේදී අනියත බියක් අතිකරගත යුතු නැති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.