කපුටු කාක් කාක්… හෝන් ගැසුවැයි නඩු දාන්න ගිහින් විහිලුවට ලක්වුනු පොළීසිය

රටපුරා ක්‍රියාත්මක වූ ජන අරගලයේදී ජීවිත පූජා කළ හා තුවාල ලැබූ
අරගලකරුවන් සිහිපත් කිරීම සඳහා ගාලුමුවදොර පිටියේ පැවැති සැමරුමකදී තමන් සිටි කාර් රථයේ සවිකර තිබූ නළාව “කපුටු කාක් කාක්” යන රිද්මයෙන් හැඬවීමේ චෝදනාව යටතේ පොලිසිය පවරා තිබූ නඩු කටයුත්තෙන් සැකකාර නීතිඥයා නිදහස් කිරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් එස්. එම්. ප්‍රභාකරන් මහතා ඊයේ (14 දා) නියෝග කළේය.

යම් කිසිවකුට එරෙහිව අධිකරණය හමුවේ නඩු පවරන විට නිසි පරිදි නීතිය පිළිබඳ අධ්‍යයනය කිරීමෙන් අනතුරුව නඩු පවරන ලෙසට කොටුව පොලිසියට දැඩිව අවවාද කළ මහෙස්ත්‍රාත්වරයා දුෂ්මන්ත වීරරත්න නමැති සැකකාර නීතිඥවරයා එලෙස නිදහස් කළේය. සැකකාර නීතිඥවරයා ගාලු මුවදොර පිටියේදී එලෙස රථයේ නළාව ශබ්ද කර ඇත්තේ අරගලකරුවන් අත්අඩංගුවට ගනිමින් පොලිසිය ක්‍රියාත්මක කරන අයුක්ති සහගත ක්‍රියාදාමයට විරෝධය පෑම සඳහා බවත්, එලෙස රටේ ජනතාවට රජයකට එරෙහිව
විරෝධය දැක්වීමට ඇති අයිතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින්ම තහවුරු කර ඇති
බවත් සඳහන් කරමින් ජනාධිපති නීතිඥ සාලිය පීරිස්, ජනාධිපති නීතිඥ සරත්
ජයමාන්න යන මහත්වරුන් ප්‍රමුඛ නීතිඥවරුන් කළ කරුණු දැක්වීම පිළිගත්
අතිරේක මහෙස්ත්‍රාත්වරයා එම නියෝගය කළේය.

වර්තමාන ජනාධිපතිවරයා මෙන්ම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද
විපක්ෂයේ සිටියදී පැවැති රජයන්ට එරෙහිව එලෙස විරෝධතා පා ඇති බව ද
අධිකරණයට පෙන්වා දුන් විත්තියේ නීතිඥවරු පොලිසිය සැකකාර නීතිඥවරයාට
එරෙහිව අනවශ්‍ය ලෙස නළා හඬවා බාධා කළේ යැයි චෝදනා කරමින් නඩු පැවරීම ජන ඝෝෂා නඩුව මගින් ශ්‍රේෂ්ඨාධිකරණය තහවුරු කර ඇති ජනතාවගේ මූලික අයිතිවාසිකම් සම්පූර්ණයෙන්ම පොලිසිය උල්ලංඝනය කර ඇතැයි ද අධිකරණයට පැවසූහ. නීතිඥ චිරන්ත පොල්ගස්වැව මහතා ඇතුළු නීතිඥවරු 50කට අධික පිරිසක් සැකකාර නීතිඥවරයා වෙනුවෙන් පෙනී සිටියහ.

සරම ඔසවා කුකුලේ බැඳ තිබු රම්බෝ පිහිය පෙන්නපු නගර සභාවේ මන්ත්‍රී

බලංගොඩ නගර සභාවේ මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කරන හිටපු සභාපති වරයකු වන නිමල් ගාමිණී වීරසිංහ මහතා (ශ්‍රී ලංකා නිදහස් පක්ෂය) ඊයේ (13) පැවැති මාසික  සභා රැස්වීමට රම්බෝ වර්ගයේ උල් පිහියක්  රැගෙන ප්‍රදර්ශනය
කිරීමෙන් සභාවේ නොසන්සුතාවක් ඇති විය. බලංගොඩ නගර සභාවේ සැප්තැම්බර් මාසයට නියමිත මාසික සභා රැස්වීම බලංගොඩ නගර සභාවේ සභාපති වසන්ත කුමාර ගුණරත්න මහතාගේ (ශ්‍රී ලංකා පොදු  ජන පෙරමුණ) ප්‍රධානත්වයෙන් ඊයේ එම සභා ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

එම රැස්වීමට සහභාගී වූ බලංගොඩ නගර සභාවේ මන්ත්‍රී නිමල් ගාමිණී වීරසිංහ
මහතා (ශ්‍රී ලංකා නිදහස් පක්ෂය) ටික වෙලාවක් සභාවේ රැඳී සිට පිටව යනවාත්
සමගම තම සරමට යටින් කකුලේ ගැට ගසා තිබුණු උල් පිහිය සභාවට ප්‍රදර්ශනය
කළේය.  එම අවස්ථාවේ වෙනත් මන්ත්‍රීවරයෙකු එම පිහිය ඔහුගෙන් ඉල්ලා ගෙන ඔහු සන්සුන් කළේය. ඔහු සභාවෙන් පිටව ගිය පසු අදහස් දැක්වූ බලංගොඩ නාගරික මන්ත්‍රීනි සුනේත්‍රා ඩී. වීරසිංහ මහත්මිය (එක්සත් ජාතික පක්ෂය) මෙවැනි ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් සභාවට අවි ආයුධ රැගෙන ඒම තම ජීවිත වලට මහත් තර්ජනක් බව සඳහන් කළාය.

තව දුරටත් කරුණු දැක්වූ මන්ත්‍රීවරිය කියා සිටියේ මෙම සභාවේ
මන්ත්‍රීවරියන් සිවු දෙනකු සිටින නිසා සභාපතිවරයා මේ පිළිබඳ සැලකිලිමත්
විය යුතු බවයි.  මේ පිළිබඳව අදහස් දැක්වූ බලංගොඩ නාගරික මන්ත්‍රීනි එම්.
චන්ද්‍රලතා මහත්මිය (ශ්‍රී ලංකා පොදු ජන  පෙරමුණ) මෙසේ කීවාය.  අවි ආයුධ
ගෙන විත් සභිකයන් බිය වැද්දීම තරයේ හෙළා දකිනවා. සභාවේ නිදහසේ අදහස්
ප්‍රකාශ කිරීමට මන්ත්‍රීවරුන්ට අයිතිය තිබිය යුතුයි.

-වයි.ඒ.එස්. වීරවංශ
Gossip Lanka News

කෝටි 162 ක ජනතා මුදල් ගසා කෑ සක්විති උසාවියට 275000 ගෙවා ගෙදර යයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමැතියකින් තොරව මූල්‍ය සමාගමක් පිහිටුවා අධික
පොළියක් ලබාදෙන බවට පොරොන්දු වී විවිධ පුද්ගලයින්ගේ රුපියල් කෝටි 162ක
මුදල් තැන්පතු ගැනීම ඒවා නැවත ලබා නොදීම ඇතුළු අධිචෝදනා 11 යටතේ නඩුවක පැටලුණ ප්‍රකට ඉංග්‍රීසි දේශක සක්විති රණසිංහ ඒ සම්බන්ධ නඩුව ඊයේ
මහාධිකරණයේදී විභාගවූ අවස්ථාවේ තමා වැරදිකරු බව ඔහු විසින් පිළිගත් අතර ඒනිසා ඔහුට වසර 22ක බරපතළ වැඩසහිත දඬුවම් නියමකළ නමුත් අධිකරණය එය වසර 5කට අත්හිටුවන ලදි.

එම නියෝගයට අනුව ඔහු සිරගත කිරීමක් සිදු නොකරන අතර අදාළ කාලය තුළ ඔහු එවැනි වරදක් සිදුකළහොත් පමණක් සිර දඩුවම ක්‍රියාත්මක කිරීමට නියමිතය. ඒ අනුව ඔහුට ඊයේ ගෙවන්නට සිදුවූයේ අධිචෝදනා 11ට වෙන් වෙන්ව රුපියල් 25,000 බැගින් රුපියල් දෙලක්ෂ හැත්තෑපන්දහසක මුදලක දඩයක් පමණි.
මෙම වරද සම්බන්ධයෙන් වසර 09 කට අධික කාලයක් රිමාන්ඩ්බ න්ධනාගාරගත කර සිටි ඔහු 2019 ඇප මත නිදහස්වූ නමුත් නඩුව දිගටම ක්‍රියාත්මක විය. ඔහු කියා තිබුනේ තමන්ට එම විශාල මුදල පියවීමට හැකියාවක් නැති බවයි.
මුදල් තැන්පත්කරුවන් නීත්‍යානුකූල නොවන ගනුදෙනුවක කොටස්කරුවන් වූ නිසා රජය එම පාඩුව පියවීමට ඉදිරිපත් වූයේ නැත.

ඊයේ දෙලක්ෂ හැත්තෑපන්දහසක දඩ මුදල් නොගෙවන්නේ නම් අමතර මාස හය බැගින් වූ ලිහිල් සිර දඬුවම් ලබාදීමට නියෝග කර තිබුණත් ඔහු එම මුදල පහසුවෙන් ගෙවා දැම්මේය.

වංචාවට ආධාර අනුබලදීමේ චෝදනා යටතේ වරද පිළිගත් දෙවන විත්තිකාරිය වන ඔහුගේ හිටපු බිරිඳට ද වසර 2ක සිර දඬුවම් නියම කළ විනිසුරුවරයා එය වසර 5කට අත්හිටුවා රුපියල් 25,000 ක දඩයක් ගෙවීමට නියෝග කළේ ය.
කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා විසින් මෙම දඩුවම් නියම කළේය.

ජැකලින් ෆර්නැන්ඩස්ගෙන් පැය 8 ක් ප්‍රශ්න කෙරේ

කෝටි ගණනක මුදල් විශුද්ධිකරණ නඩුවක් සම්බන්ධයෙන් දිල්ලි බන්ධනාගාරයේ රඳවා සිටින පාතාල නායක සුකේෂ් චන්ද්‍රශේකර් සම්බන්ධ නඩුවට අදාළව බොලිවුඩ් නිළි ජැකලින් ෆර්නැන්ඩස්ගෙන් දිල්ලි පොලිසියේ ආර්ථික අපරාධ අංශය (EOW) බදාදා පැය අටකට අධික කාලයක් ප්‍රශ්න කළ බව PTI වාර්තා කරයි.
ඇයගේ ප්‍රශ්න කිරීම පෙරවරු 11:30 ට ආරම්භ වූ අතර ඇය රාත්‍රී 8 ට
කාර්යාලයෙන් පිටව ගියාය. ඇය කැඳවීම් තුනකට පසුව EOW හි පෙනී සිටියාය.
නිළිය අගෝස්තු 29 සහ සැප්තැම්බර් 12 යන දිනවල දෙවරක් කැඳවා තිබූ නමුත්
දින දෙකෙහිම පෙනී සිටියේ නැත.

ඇය චන්ද්‍රශේකර්ට හඳුන්වා දුන් බව කියන නිළි නෝරා ෆතේහි සහ පිංකි ඉරානි
බ්‍රහස්පතින්දා ප්‍රශ්න කිරීම සඳහා කැඳවා ඇත.

විශේෂ පොලිස් කොමසාරිස් (අපරාධ) රවීන්ද්‍ර යාදව් පැවසුවේ, චන්ද්‍රශේකර්
නඩුවේදී ඇයගේ සම්බන්ධය ගැන හා ඔහුගෙන් ගත් තෑගි පිළිබඳව ප්‍රශ්න කළ
අවස්ථාවේ ඒ පිළිබඳව ජැක්ලින් ෆර්නැන්ඩස් කෝපයට පත් වූ බවය.

ෆර්නැන්ඩස් සහ ඉරානි එකට වාඩි වී සිටි අතර ප්‍රශ්න කිරීම් අතරතුර නිළියන්
සහයෝගයෙන් කටයුතු කළ බව යාදව් පැවසීය.

ප්‍රශ්න කිරීම සඳහා රංගන ශිල්පින් යළි කැඳවන නමුත් දින නියම කර නොමැති
බවද ඔහු පැවසීය.

මේ අතර, EOW මීට පෙර සැප්තැම්බර් 3 වන දින නෝරා ෆේති ගෙන් ප්‍රශ්න කර
තිබුණද, ඇය පිළිතුරු නොදුන් ප්‍රශ්න ඇති බැවින් බ්‍රහස්පතින්දා නැවත
ඇයගෙන් ප්‍රශ්න කරනු ලැබේ.

මධ්‍යම විමර්ශන ඒජන්සිය පැවසුවේ බොලිවුඩ් නිළියන් දෙදෙනාට පාතාල
නායකයාගෙන් සුඛෝපභෝගී මෝටර් රථ සහ වෙනත් මිල අධික තෑගි ලැබී ඇති බවයි.

ඔක්තෝබර් 31 වන දිනෙන් කල් ඉකුත්වන කොවිඩ් එන්නත් මිලියන 7.5

කොවිඩ් එන්නත් මිලියන 7.5ක තොගයක් වසංගත රෝග අංශය සතුව පවතින අතර එන්නත් ඔක්තෝබර් 31 වන දිනෙන් කල් ඉකුත්වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

වර්ධක මාත්‍රාව ලබා ගෙන නොමැති වයස අවුරුදු 20ට වැඩි පුද්ගලයන් වහාම අදාළ එන්නත් මධ්‍යස්ථානයන් වෙත ගොස් එය ලබා ගන්නැයිද වසංගත රෝග විද්‍යා අංශය ඉල්ලිමක් කරයි

අවුරුදු 20ට වැඩි ජනගහනය මිලියන 14.2ක සිටින නමුත් මින් කොවිඩ් පළමු
වර්ධක මාත්‍රාව මිලියන 8. 17 පිරිසක් ලබා ගෙන නොමැති බව වසංගත රෝග
විද්‍යා අංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ සඳහන් කරයි.

වසර අවසාන වන විට සංචරණය වැඩි වීම හා යුරෝපා රටවල සීත සෘතුව පැමිණීමත් සමග නැවත කොවිඩ් වයිරසය පැතිර යා හැකි බැවින් වර්ධක මාත්‍රාව ලබා නොගත් පිරිස් ඒ සඳහා යොමු වන්නැයි සමිත ගිනිගේ ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

විශේෂයෙන්ම වයස අවුරුදු 60ට වැඩි සහ නිදන්ගත ‌රෝගවලින් පෙළෙන පුද්ගලයන් එන්නත්කරණයට යොමු වීමෙන් සංකූලතාවන් සහ මරණ අඩුකර ගත හැකි බව ඔහු පෙන්වා දෙයි

එළඹෙන සෙනසුරාදාවන් 4ක් තුළ සෑම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශයකම එන්නත් මධ්‍යස්ථාන 3 බැගින් ආරම්භ කර කඩිනම් එන්නත්කරණයක් සිදුකරන මෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් උපදෙස් දුන් බවද හෙතෙම පැවසීය.

මේ අනුව සැප්තැම්බර් 17, 24, හා ඔක්තෝබර් 1 සහ 8 යන සෙනසුරාදා දිනයන් හි
මෙම විශේෂ එන්නත් මධ්‍යස්ථානයන් ක්‍රියාත්මක වනු ඇති.

(වරුණි පෙරමුණ / ශ්‍රියානි විජේසිංහ)
Gossip Lanka News

පාස්කු ප්‍රහාරයේ නඩුවට මෛත්‍රීට උසාවියෙන් නොතීසි

ආරක්ෂක අමාත්‍යවරයාව සිටිමින් පාස්කු ඉරිදා තස්ත්‍ර ප්‍රහාරය පිළිබඳ
තොරතුරු දැන දැනත් එය වලක්වා නොගැනීම සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරීම සඳහා ලබන ඔක්තෝබර් මස 14 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙසට නියෝග කරමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට අද (16) නොතීසි නිකුත් කළේය.
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පාදයක් අහිමි වූ යේසුරාජ් ගනේෂන් මහතා
සහ සිරිල් ගාමිණී පියතුමා අධිකරණය හමුවේ ඉදිරිපත් කළ පෞද්ගලික
පැමිණිල්ලක් සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා මෙන්ම මෙම නියෝගය නිකුත්
කළේය.

ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න මහතා මගින් අධිකරණයට ඉදිරිපත් කල පෞද්ගලික පැමිණිල්ලක් සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා ඒ සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරීම සඳහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මෙලෙස නොතීසි නිකුත් කර ඇත.

ජල බිලට පොලු තැබූ මැති ඇමතිවරු ගැන තීරණයක් ගනී

මැති ඇමැතිවරුන් ඇතුළු දේශපාලඥයින් 30 දෙනකු සිය නිවාස සහ නිල නිවාසවලට ගත් ජලය වෙනුවෙන් ජලසම්පාදන හා ජලපවහන මණ්ඩලයට රුපියල් කෝටියකට වැඩි මුදලක් ගෙවීම පැහැර හැර තිබෙනවා.

මැති ඇමැතිවරුන්ගේ මෙම හිඟ මුදල සම්බන්ධයෙන් ජලසම්පාදන හා ජලපවහන මණ්ඩලය කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට නිල වශයෙන් දැනුම් දී තිබෙනවා.

එම මුදල අය කර ගැනීම සඳහා කතානායකවරයාගේ සහය ලබා ගැනීමේ අරමුණින් යුතුව මේ බව දැනුම් දී තිබෙන බවයි වාර්තා වන්නේ.

ලබාගත් ජලය වෙනුවෙන් බිල්පත් ගෙවීම පැහැර හැර සිටින මෙම කණ්ඩායමට
විශ්‍රාමික සහ මියගිය දේශපාලඥයෝ පිරිසක්ද ඇතුළත්.

හිඟ බිල්පත් නොගෙවූ සියලුම දේශපාලනඥයන්ගේ ජල සැපයුම විසන්ධි කිරීමට
ඉදිරියේදී කටයුතු කරන බව මණ්ඩලයේ ආරංචි මාර්ග සඳහන් කළා.

මේ අතර ඇමැතිවරුන් කිහිප දෙනෙකු පමණක් සිය හිඟ ජල බිල්පත් පසුගිය දිනවල ගෙවා දැමූ බව එම ආරංචි මාර්ග පැවසුවා.

ලංකාවට ඉන්දියාව මූල්‍යාධාර දීම නවතියි

මෙම වසරේදී ලබා දී ඇති අමෙරිකානු ඩොලර් බිලියන 4කට ආසන්න මූල්‍යාධාරවලට
අමතරව ශ්‍රී ලංකාවට නව මූල්‍යාධාර ලබා දීමට ඉන්දියාව සැලසුම් නොකරන බව
මූලාශ්‍ර දෙකක් උපුටා දක්වමින් රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරයි.

එම වාර්තාවේ සඳහන් කර ඇත්තේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග මූලික ණය
ගිවිසුමකට එළඹීමෙන් පසු ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර වීමට පටන් ගැනීමත්
සමග ඉන්දියාව මෙම තීරණය ගෙන ඇති බවය.

දශක හතකට වැඩි කාලයක් තුළ මුහුණ දුන් දරුණුතම ආර්ථික අර්බුදයට එරෙහිව
සටන් කරන ශ්‍රී ලංකාවට මෙම වසරේ වැඩි වශයෙන් ආධාර ලබා දුන් රට බවට
ඉන්දියාව පත් වුව ද දැන් තත්වය මැයි සහ ජූලි මාසවල පැවති තත්වයට වඩා
යහපත් බව රොයිටර්ස් වාර්තාවේ දැක්වේ.

“අපි දැනටමත් අමෙරිකානු ඩොලර් බිලියන 3.8ක් වටිනා ආධාර ලබා දීලා
තියෙන්නේ. දැන් ඒ හැමදේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මත තියෙන්නේ. ආධාර දීම
රටවල්වලට දිගට ම කරන්න බැහැ,” යනුවෙන් ඉන්දීය රජයේ ආරංචි මාර්ගයක්
රොයිටර්ස් වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කර ඇත.

ශ්‍රී ලංකා රජයේ මූලාශ්‍රයක් ප්‍රකාශ කර ඇත්තේ, ඉන්දියාවේ මෙම තීරණය
පුදුමයට කරුණක් නොවන බව ත්, මහා පරිමාණ සහය තවත් සුළු කාලයකට ඉදිරියේදී
ලැබෙන බව නව දිල්ලිය මීට මාස කිහිපයකට පෙර “සංඥා කර” තිබුණු බවත්ය.

කෙසේ වෙතත්, මෙම වසර අගදී ජපානය, චීනය සහ සමහර විට දකුණු කොරියාව සමග
ශ්‍රී ලංකාව පැවැත්වීමට සැලසුම් කර ඇති පරිත්‍යාගශීලීන්ගේ සමුළුවට
ඉන්දියාවට ආරාධනා කරන බව එම මූලාශ්‍රය ප්‍රකාශ කර තිබේ.

තව ත් ශ්‍රී ලංකා රජයේ මූලාශ්‍රයක් ප්‍රකාශ කර ඇත්තේ, ඩොලර් බිලියනයක
හුවමාරු ගිවිසුමක් සඳහා ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර සාකච්ඡා සහ මැයි
මාසයේදී සිදු කරන ලද ඉන්ධන මිල දී ගැනීම සඳහා දෙවන ඩොලර් මිලියන 500ක ණය
මාර්ගයක් සඳහා වූ ඉල්ලීම සුළු ප්‍රගතියක් ලබා ඇති බව ය.

ඉන්දියාවේ මුදල් අමාත්‍යංශය, ශ්‍රී ලංකාවේ මුදල් අමාත්‍යංශය සහ ශ්‍රී
ලංකා මහ බැංකුව මේ පිළිබඳව අදහස් දැක්වීම සඳහා වූ ඉල්ලීම්වලට ක්ෂණිකව
ප්‍රතිචාර නොදැක්වූ බව රොයිටර්ස් පුවත් සේවය සඳහන් කර ඇත.

ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සැප්තැම්බර් මස මුලදී ඩොලර්
බිලියන 2.9ක ණයක් ලබා ගැනීම සඳහා මූලික ගිවිසුමකට එළැඹි අතර එය නිල ණය
හිමියන්ගෙන් මූල්‍ය සහතික ලබා ගැනීම සහ පුද්ගලික ණය හිමියන් සමග සිදු
කෙරෙන සාකච්ඡා මත රඳා පවතී.

“අපගේ අවධානය වැඩි වශයෙන් යොමු වී ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ
වැඩසටහන ඉදිරියට ගෙන යාමට සහ අප විසින් ම මෙම අවුලෙන් ගොඩ ඒමටයි,”
යනුවෙන් මෙරට මූලාශ්‍රයක් පැවසූ බව රොයිටර්ස් පුවත් සේවය වැඩිදුරට ත්
වාර්තා කර තිබේ.

විදුලි ගාස්තු සියයට 75කින් ඉහළට

හෙට (අගෝ. 10) සිට බලපැවැත්වෙන පරිදි සියයට 75ක සාමාන්‍ය අගයකින් විදුලි ගාස්තු ඉහළ දැමීම සඳහා විදුලි බල මණ්ඩලයට අවසර ලබා දී ඇති බව මහජන උපයෝගිතා කොමිසම පවසයි.

එම කොමිසමේ සභාපති ජනක රත්නායක මේ බව පැවසීය.

ඒ අනුව, ඒකක 30ක් දක්වා භාවිත කරන පාරිභෝගිකයින්ගේ විදුලි බිල සඳහා අමතරව රුපියල් 198ක මුදලක් මෙම ඉහළ දැමීම හරහා එකතු වනු ඇත.

ඒකක 30ත් 60ත් අතර සියයට 200කින් සහ 60ත් 90ත් අතර විදුලි ඒකක ප්‍රමාණයක් භාවිත කරන පාරිභෝගිකයන් සඳහා සියයට 125කින් ගාස්තු ඉහළ නංවන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා පැවසීය.

ඒ අනුව, ඒකක 31ත් 60ත් අතර සාමාන්‍ය විදුලි බිලේ ඉහළ යාම රුපියල් 599ක් පමණ වනු ඇති අතර ඒකක 61ත් 90ත් අතර සාමාන්‍ය විදුලි බිල රුපියල් 1461ක් පමණ සහ ඒකක 90ත් 120ත් අතර රුපියල් 2,900ක් පමණ ප්‍රමාණයකින් ද විදුලි බිල ඉහළ යනු ඇති බව ඔහු වැඩිදුරටත් පැවසීය.