දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණය අපරාධයක් බවට තීන්දු කරයි

ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් ගේ මරණය, ගෙල සහ මුහුණ මත ඇති වූ පීඩනයක් මත සිදු වී ඇති බව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය තීන්දු කර තිබෙනවා.

ඒ අනුව මෙම සිද්ධිය අපරාධයක් බවට තීන්දු කළ මහේස්ත්‍රාත්වරිය ඊට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට නියෝග කර ඇති බවයි සඳහන් වන්නේ.

අධිකරණය විසින් පත් කරනු ලැබූ පංච පුද්ගල විශේෂඥ වෛද්‍ය කමිටුව විසින් මරණ පරීක්ෂණය සිදුකළ අතර එහි වාර්තා සලකා බැලීමෙන් අනතුරුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මෙම නියෝගය සිදුකර තිබෙනවා.

වෘත්තීයවේදීන්ගේ විරෝධතාව ආරම්භ වෙයි

වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව මේ වන විට කොළඹදී විරෝධතාවක් ආරම්භ කර තිබෙනවා.

වෘත්තිකයින් මත පනවා ඇති අසීමිත බදු බර අඩු කරන ලෙස ඉල්ලා මෙම විරෝධතාව සංවිධානය කර ඇති බවයි සඳහන් වන්නේ.

මේ හේතුවෙන් කොළඹ ලෝටස් මාර්ගයේ එක් මං තීරුවක් අවහිර වී ඇති බවයි පොලීසිය සඳහන් කරන්නේ.

රේගු ආදායම රුපියල් බිලියන 109 ඉක්මවයි

පසුගිය ඔක්තෝබර් මස ශ්‍රී ලංකා රේගුව ඉපැයූ ආදායම රුපියල් බිලියන 109 ඉක්මවා ගොස් ඇති බව රේගු දෙපාර්තමේන්තුව පවසනවා.

මෙය රේගුව මසක් තුළ මෙතෙක් ඉපැයූ ඉහළම ආදායම වන බව රේගු අධ්‍යක්ෂ, සීවලී අරුක්ගොඩ සඳහන් කළා.

බදු රැස්කිරීමේ ක්‍රියාවලිය විධිමත් හා කාර්යක්ෂම කිරීම ආදායම ඉහළ නැංවීමට ප්‍රධාන හේතුව වන බවත්, මෙම වසරේ සමස්ත රේගු ආදායම බිලියන 925 ඉක්මවනු ඇතැයි අපේක්ෂා කරන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

විදුලි ගාස්තු වැඩිවීම නිසා බස් ගාස්තු සංශෝධනයකට යා යුතුයි – ගැමුණු

බස් ගාස්තු පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය අනුව බස් ගාස්තු සංශෝධනයකට යාමට හැකියාවක් නොමැති බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා.

කෙසේ නමුත් මෙම මාසයේ සිට විදුලි ගාස්තු ඉහළ දමා ඇති බවත් එයට සාපේක්ෂව අනෙකුත් ගාස්තු වැඩිවන විට ගාස්තු සංශෝධනයට යා යුතුව ඇති බවයි එහි සභාපති ගැමුණු විජේරත්න සඳහන් කළේ.

ඒ අනුව ඉදිරි සති කිහිපය තුළ බස් ගාස්තු සංශෝධනයකට යාමට සිදුවන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

ලබන මාසයේ යළිත් ඉන්ධන වැඩි වුනොත් බස් ගාස්තු සංශෝධනයකට යා යුතුයි – අංජන ප්‍රියන්ජිත්

ඩීසල් මිල ඉහළ ගිය ද, බස් ගාස්තු වැඩිවීමක් අවශ්‍ය නොමැති බව  සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා.

ඒ අනුව එහි ලේකම් අංජන ප්‍රියන්ජිත් සඳහන් කළේ, ලබන මාසයේදී ඉන්ධන මිල ඉහළ ගියහොත් අනිවාර්යෙන්ම බස් ගාස්තු සංශෝධනයක් අවශ්‍ය බවයි.

ඩීසල් මිල රුපියල් 5 කින් ඉහළ දැමීම බස් හිමියාට දරාගත නොහැකි තත්ත්වයක් බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

මාස 03කට වරක් විදුලි ගාස්තු සංශෝධනයට කැබිනට් අනුමැතිය

සෑම මාස 03කටම වරක් විදුලි ගාස්තු සංශෝධනය කිරීමට අදාළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.

මෙතෙක් මාස 6 කට වරක් ක්‍රියාත්මක වූ විදුලි ගාස්තු සංශෝධනය වෙනුවට ඉදිරිපත් වූ මෙම නව සංශෝධනයට ඊයේ (30) රැස්වූ කැබනට් මණ්ඩලයේදී අනුමැතිය ලබාදුන් බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන සඳහන් කළා.

ඒ අනුව දැනට ක්‍රියාත්මක පොදු ප්‍රතිපත්ති මාර්ගෝපදේශ සංශෝධනය කිරීම සඳහා ජනාධිපතිවරයා සහ විදුලිබල අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස අනුමැතිය ලබාදී ඇති බවයි සඳහන් වන්නේ.

අදාළ කැබිනට් තීරණය පහතින්.

6540bd1d40e32

VAT බද්ද 2024 වසරේ සිට 18% ක් දක්වා ඉහළ දැමීමට කැබිනට් අනුමැතිය

එකතු කළ අගය මත වන බදු අනුපාතිකය 2024.01.01 සිට ක්‍රියාත්මක වන පරිදි දැනට පවතින 15% සිට 18% දක්වා ඉහළ දැමීමට අදාළ නීති සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලබාදී තිබෙනවා.

ජාතන්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟවී ඇති බදු එකතු කිරීමේ ඉලක්ක සපුරා ගැනීමට මෙතෙක් හැකියාවක් නොමැතිවී ඇති බවයි අදාළ කැබිනට් තීරණයේ දැක්වෙන්නේ.

ඒ අනුව බදු ආදායම් සහ ප්‍රථමික ශේෂ ඉලක්ක සපුරා ගැනීමට හැකිවන ලෙස එකතු කළ අගය මත වන බදු අනුපාතිකය 2024.01.01 සිට ක්‍රියාත්මක වන පරිදි 18% දක්වා ඉහළ දැමීමට අනුමැතිය ලබාදී ඇති බවයි සඳහන් වන්නේ.

එසේම දැනට එකතු කළ අගය මත බද්ද අදාළ නොවන ඇතැම් භාණ්ඩ සහ සේවා මත එම බදු පැනවීමට අදාළ නව බදු යෝජනා කිහිපයක්ද 2024.01.01 සිට ක්‍රියාත්මක කිරීමට අදාළ නීති සංශෝධනය කිරීමට අනුමැතිය ලබාදී ඇති බව වැඩිදුරටත් සඳහන්.

අදාළ කැබිනට් තීරණය පහතින්.

6540b232c8b40

රවී සෙනෙවිරත්නට ඇප

අනතුරක් සම්බන්ධයෙන් පසුගියදා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි විශ්‍රාමික ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න ඇප මත මුදාහැර තිබෙනවා.

ඒ අනුව රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත ඔහු මුදා හැරීමට ගල්කිස්ස අතිරේක මහෙස්ත්‍රාත්වරයා නියෝග කර ඇති බවයි සඳහන් වන්නේ.

හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනවිරත්න පැදවූ මෝටර් රථය පසුගියදා මෝටර් රථයක සහ සංචාරකයන් ප්‍රවාහනය කිරීම සඳහා යොදා ගැනෙන බස් රථයක ගැටී අනතුරක් සිදුව තිබුණා

ඖෂධ නියාමන අධිකාරියට නව සභාපතිවරයෙක්

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නව සහාපතිවරයා ලෙස විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම පත්කර තිබෙනවා.

ඒ අනුව සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ විසින් මෙම පත් කිරීම සිදුකර ඇති බවයි සඳහන් වන්නේ.

සෞඛ්‍ය අමාත්‍යංශයේ දී ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලය සමඟ අමාත්‍යවරයා පැවැත් වූ විශේෂ සාකච්ඡාවේදී මෙම පත්වීම ප්‍රදානය කර තිබෙනවා.

හෙට දැවැන්ත විරෝධතාවක් සඳහා විදුලි සේවකයින් කොළඹට

සියලු විදුලි සේවකයින් හෙට (01) කොළඹට කැඳවා විරෝධතාවක් පවත්වන බව ලංකා විදුලි සේවක සංගමය පවසනවා.

විදුලිබල මණ්ඩලය විකිණීමට ආණ්ඩුව ගෙන ඇති තීරණයට විරෝධය පළ කරමින් සහ තවත් ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් එම විරෝධතාව පවත්වන බවයි එහි ප්‍රධාන ලේකම් රංජන් ජයලාල් සඳහන් කළේ.

ලංකා විදුලි බල මණ්ඩලය විදෙස් සමාගම් 14කට විකිණීමට ආණ්ඩුව සූදානම් වන බවත්, ඒවා කොටස් කර ඉන්දියානු සහ චීන සමාගම්වලට ලබාදීමට සූදානම් වන බවයි ඔහු පෙන්වා දෙන්නේ.

ඒ අනුව නොවැම්බර් 01 වෙනිදා ලංකා විදුලි බල මණ්ඩලය ස්ථාපිත කර 54 වන සංවත්සරය පවත්වන දිනයේදී සියලු සේවකයින් කොළඹට ගෙන්වා දහවල් 12.00 ට විරෝධතාවක් ආරම්භ කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.