දයාසිරි ජයසේකරට නිකුත් කළ වාරණ නියෝගය තවදුරටත් දීර්ඝ කෙරේ

dayasiri-jayasekara

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන මහ ලේකම්වරයාගේ කටයුතුවලට බාධා වන ආකාරයෙන් කටයුතු කිරීම වළක්වාලමින් එම පක්ෂයේ හිටපු මහලේකම් දයාසිරි ජයසේකර වෙත නිකුත් කළ වාරණ නියෝගය ලබන 29 වනදා දක්වා තවදුරටත් දීර්ඝ කරන ලෙසට කොළඹ දිසා අධිකරණය අද (22) නියෝග කළා.

මෙම වාරණ නියෝගයට අදාළව වගඋත්තරකරුවන් විරෝධතා ඉදිරිපත් කරන්නේ නම් අදාළ විරෝධතා ගොනුකිරීමටද අධිකරණය වගඋත්තරකරුවන්ට අවසර ලබා දුන් අතර, පෙත්සම ලබන 29 වනදා කැඳවීමටද නියම කරන ලද බව සඳහන්.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන සහ එහි වැඩබලන මහලේකම් සාරතී දුෂ්මන්ත මිත්‍රපාල යන පුද්ගලයන් විසින් ඉදිරිපත් කළ පෙත්සමක් අද යළි කැඳවීමෙන් අනතුරුව අධිකරණය මෙම නියෝග නිකුත් කළා.

දයාසිරි ජයසේකර විසින් වැඩබලන ලේකම් සාරතී දුෂ්මන්ත මිත්‍රපාලගේ කටයුතුවලට බාධාවන ආකාරයෙන් සාවද්‍ය නිර්දේශ මැතිවරණ කොමිසම වෙත ඉදිරිපත් කර ඇති බවත්, ඒ අනුව මේ ආකාරයේ නීති විරෝධී කටයුතුවල නිරත වීම වළක්වාලමින් දයාසිරි ජයසේකර වෙත තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා.