“ඒ කාලේ මගේ ලඟම යාලුවෙක් හමුදාවේ හිටිය. යුද්දේ කාලේ බෝම්බෙකට අහුවෙලා එයාගේ කකුලක් කපන්න වුනා,” අරුණ සමරවික්‍රම අතීතය සිහිපත් කරයි.
“ඒ නිසා එයාගේ මුළු ජීවිතේම වෙනස් වුනා, කොටින්ම ප්‍රේම සම්බන්ධය පවා.”
අපූරු නව නිර්මාණ ගණනාවක් සඳහා පේටන්ට් බලපත්‍ර හිමි ඔහු ශ්‍රී ලංකාවේ සිටින ඉහළම පෙළේ තරුණ නව නිර්මාණකරුවෙකි.
දුම්රිය හරස් මාර්ගවලදී නිතිපතා අහිමිවන ජීවිත බේරාගැනීමේ අරමුණින් නිර්මාණය කරන ලද, සූර්ය තාපයෙන් ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වන රේල් ගේට්ටුවක් ද ඔහුගේ නව නිර්මාණ අතර පවතී. වෑන් හෝ ලොරි ගමන් කළ නොහැකි දුෂ්කර මාර්ගවල රොක්වන කුණු රැස්කිරීම පිණිස නිපදවන ලද ට්‍රේලරයක් සහිත ‘කුරුම්බැට්ටි’ ට්රයිසිකලය එවැනි තවත් නිර්මාණයකි.
එහෙත් ඒ කිසිදු නිර්මාණයකින් සේවයක් ලබාගැනීමට රටේ බලධාරීන් උත්සුක වී ඇති හැඩක් නොපෙනේ.
හමුදාවේ සේවය කළ සිය මිතුරාගේ අත්දැකීමෙන් සලිත වූ අරුණ, කෙසේ හෝ ඔහුට උපකාර කිරීමට අදිටන් කරගත්තේය.
එහි ප්‍රතිඵලය වූයේ සැබෑ පාදයකට ඉතාමත්ම සමීප ආකාරයෙන් ක්‍රියාකරන ‘Live Flex’වර්ගයේ කෘතිම පාදය ඔහු අතින් නිර්මාණය වීමය.
එය කිසිවෙකුගේ උස සහ බර අනුව වළලුකර, ඇඟිලි සහ දණහිස ස්වභාවික මට්ටමෙන්ම පාහේ ක්‍රියාකරන පාදයකි.
ඒ අත්හදා බැලීම සාර්ථක වීමත් සමග අරුණ සමරවික්‍රම මේ වනවිට එවැනි කෘතිම පාද දහස් ගණනක් නිර්මාණය කොට මනු සතුන්ට පමණක් නොව අලින්, අශ්වයන් සහ ගවයන් වැනි සතුන්ට පවා පිහිටවෙමින් අත්, පා දහස් ගණනක් නිර්මාණය කොට ඔවුන්ට යළි ජීවය ලබා දුන් ජීවකයෙකි.
අරුණ ගැන විස්තර කියා ලොකු අක්කාත් (දේවිකා පතිරණ), සුනිල් ගමගේ අයියාත් (අක්කාගේ ස්වාමි පුරුෂයා) කළුතර, නාගොඩ පිහිටි ඔහුගේ “ආවාස් (AAWAS)” රෝහල් පරිශ්‍රය වෙත මා කැඳවා ගියහ.
අප එහි ගත කළ පැය කිහිපය තුළ බෙලි මල් වතුර සහ විවිධ පළතුරු යනාදියෙන් අපට සංග්‍රහ කරමින් අරුණ හැසිරුනේ ආයුර්වේද වෛද්‍යවරයෙකු මෙනි.
එහෙත් ඔහු වෛද්‍යවරයෙක් නොවේ.
“මම කළේ කොමර්ස්,” ඔහු මා සමග සිනහසෙමින් පවසයි.
ශ්‍රී ලංකාවට අතිමහත් විදේශ විනිමය සම්භාරයක් උපයා ගත හැකි අන්දමේ සහ විදේශයන්ට ගලා යන විදේශ විනිමය මෙරට රඳවාගත හැකි අන්දමේ නව නිර්මාණ කළ නමුත් එයින් ඵල නෙලාගැනීමට පාලකයන් තුළ උනන්දුවක් නොමැතිවීම ගැන ඔහු තුළ පවතින කලකිරීම ද ඒ සිනහව තුළ මම දුටුවෙමි.
අරුණගේ රෝහලේ සේවය ලබන්නේ යුද්ධයෙන් අත්, පා අහිමි වූ හමුදා සොල්දාදුවන් පමණක් නොවේ.
අප එහි සිටින මොහොතේ පාදය කපා දමන ලද වයෝවෘද්ධ පුද්ගලයෙක් එහි කැඳවා එනු ලැබිණ.
“මොකද තාත්තේ ප්‍රශ්නේ?” අරුණ කරුණාවෙන් විමසයි.
දියවැඩියාව හේතුවෙන් පාදය කපා දමන්නට සිදු වූ බවත්, කෘතිම පාදයක් මිලදී ගැනීමට වත්කමක් නැති බවත් ඒ පියා ඔහුට පවසයි.
එසේ වත්කමක් නොමැති වූ පමණින් රෝගියා ආපසු හරවා යැවීම අරුණ ඇතුළු ‘සහෝදරත්වයේ පියසටහන්’ පදනමේ සිරිත නොවේ.
කෘතිම පාදයක් සකස්කොට, එය සවිකොට පුහුණු කිරීම පිණිස සාමාන්‍යයෙන් රුපියල් ලක්ෂ දෙකක පමණක් මුදලක් වැය වේ. ඒ මුදල ගෙවීමට රෝගියාට වත්කමක් නැති අවස්ථාවල සහෝදරත්වයේ පියසටහන් පදනම ඒ සඳහා දානපතියන්ගේ උපකාරය පතයි.
ශ්‍රී ලංකාවාසීන් පමණක් නොව සතා සිවුපාවුන් දහස් ගණනකට එසේ යළි ජීවය දුන් අරුණ, අප හමු වූ අවස්ථාවේ මගෙන් විශේෂ ඉල්ලීමක් කළේය.
යුද ගැටුම්වලින් අත්, පා අහිමි වූ 12,000 කට අධික හිටපු එල්ටීටීඊ සාමාජිකයන්ට උපකාර කිරීමටත් තමන් සූදානම් බව ඔවුන්ට දැනුම්දීමය, ඒ.
ඔවුන්ට කෘතීම පාද සපයා දීමට තමන්ට හැකි වුවත් ඒ සඳහා බර පැන දැරීම දුෂ්කර බැවින් ඒ සඳහා මූල්‍ය දායකත්වය සැපයීමට ඉදිරිපත් වන මෙන් ඔහු දෙමළ ඩයස්පෝරා නායකයන්ගෙන් ඉල්ලීමක් කරයි.
සංහිඳියාව ඇතිකරන්නැයි වේදිකාවල කෑ මොර ගසනු වෙනුවට මහා පොලවේ යථාර්ථය හඳුනා ගත යුතු බව අරුණගේ අදහසය.
“අද අපි මෙහෙම ජීවත් වෙන්නේ අපේ සොල්දාදුවෝ කරපු කැපකිරීම් නිසා. ඒත් දැන් යුද්ධෙ ඉවරයි. දැන් අපි ඒ මිනිස්සුන්ගේ තුවාලත් සුව කරන්න ඕනේ.”
උතුරු පළාත් සභාව ඇතුළු උතුරේ දේශපාලන නායකත්වයට සිය යෝජනාව ඉදිරිපත් කළ නමුත් මෙතෙක් කිසිදු සාධනීය ප්‍රතිචාරයක් නොලැබුන බවත් ඔහු කණගාටුවෙන් පැවසීය.
අරුණ සිය හමුදා මිතුරාට කෘතිම පාදය නිර්මාණය කර දුන් පසු ඔහුගේ පෙම්වතියගේ ප්‍රතිචාරය වූයේ කුමක්දැයි දැනගැනීමටත් ඔබ කැමති ඇති.
ඒ වන විට විවාහ ගිවිසගෙන සිටි නමුත්, පාදයක් අහිමිවීමත් සමග ඔහු හා විවාහවීමට පෙම්වතිය කිසියම් චකිතයක් දැක්වූවාය.
එහෙත් නව කෘතිම පාදයක් ලබා සිය මිතුරා යළිත් බොහෝ දුරට සාමාන්‍ය දිවි පෙවෙතකට හුරුවීමත් සමග ඔවුන් දෙදෙනා විවාපත් වූ බව අරුණ සමරවික්‍රම මා සමග පැවසුවේ ආඩම්බරය මුසු නිහතමානී හසරැල්ලකින් මුව සරසා ගනිමිනි.
සිය මිතුරා ඇතුළු දහස් ගණනක පිරිසකගේ ජීවිතවලට ආලෝකයක් වූ අයුරින්ම, ශ්‍රී ලංකාවේ පමණක් නොව හැකි නම් ලොව පුරා වෙනත් බොහෝ රටවල වෙසෙන ආබාධිතයන්ගේ වේදනාව ද සුවපත් කිරීම ‘සහෝදරත්වයේ පියසටහන්’ පදනමේ නිර්මාතෘවරයා ද වන මේ තරුණ නිර්මාණකරුවාගේ බලාපොරොත්තුවය.
“මගේ බලාපොරොත්තුව ‘ආබාධිතයා’ කියන වචනය මේ ලෝකයෙන් ඉවත් කිරීම.”
සිය නව නිර්මාණ සම්බන්ධයෙන් බලධාරීන්ගෙන් මෙතෙක් ලැබුණ නිශේධනීය ප්‍රතිචාර මේ තරුණ නිර්මාණකරුවාගේ අධිෂ්ඨානය දුර්වල කිරීමට සමත් වී නැති බව අප දෑස් මුණගැසුන මොහොතේ මම දුටුවෙමි.
– සරෝජ් පතිරණ –