By සොනාල ගුණවර්ධන
මේ වන විට පූජ්‍ය ගංගොඩවිල සෝම හිමියන් අපවත් වී තුන් මසක් ගොස් තිබුණි. ඒ වෙනුවෙන් උන්වහන්සේගේ පටිගත කරන ළද දේශනයක් පුළුල් තිරයක් දමා ජනතාවට පෙන්වීමට අප කිහිපදෙනෙකු එක්ව කථිකා කරගෙන සිටියෙමු.
මා ආහාරයට ගැනීමට කැමති දෑ තනිව සාදා ගැනීමට මා කුඩා කළ සිටම කැමතිය (මෙම පුරුද්ද ඇතිවූයේ බොරැල්ල නීලගිරි හෝටලයෙන් කොත්තුවක් අරගෙන දෙන මෙන් මා කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ අම්මාට විරෝධය පෑමක් ලෙස තනිව කොත්තුවක් සෑදීමට ගත් උත්සාහය නිසාය. ලිප තරමටවත් උස නොවූ මට දවසෙන් භාගයක් පමණ වැය කර පිළිස්සුම් තුවාල දෙකක් සහිතව කොත්තුවක් වාගේ පෙනුමැති දෙයක් සාදා ගැනීමට හැකි විය) ඉහත සඳහන් කළ දිනයේද මා කළේ පාන්කුඩු තැවරූ මාලු බැදීමයි. එය සෑදීමෙන් පසු කෑල්ලක රස බලා යාලුවෙකුගේ නිවෙස වෙත තනියම පියමැන්නේ සෝම හිමියන්ගේ පුළුල් තිර දේශනාව ගැන යහලුවා සමග වැඩිදුරටත් සාකච්ඡා කිරීමටය.
එදින රාත්‍රි ආහාර ගෙන නින්දට ගොස් පැය කීපයක් යෑමට මත්තෙන් මාගේ බඩ රිදෙන්නට වූයේ වෙන කවරදාකවත් නොවු ආකාරයටය. සතියකට දෙවතාවක් පමණ විනෝදයට මෙන් කෑම පිසූ මට වැරදීමක් වෙන්නට තිබූ ඉඩකඩ අඩුය. බඩේ රිදිල්ල මොහොතක් ගත වූ පසු බඩඑළිය යාමක් බවට පත් විය. සොරබොර වැව ඇරියාක් මෙන් එය නවතින පාටක් පෙනෙන්නට තිබුණේ නැත. ගෙදර ඈයෝ දන්නා ගොඩ වෙදකම් සියල්ල කළද සුව නොවුනි. පසු දින රාත්‍රිය වන තෙක් සුවයක් නොවු බැවින් වෛද්‍යවරයෙකු වෙත මාව රැගෙන ගියේය. ඔහු කෑම අජීර්ණයක් යැයි පවසා බෙහෙත් ලබා දුන්නනද සුවයක් නොවුන තැන දොස්‌තර මාරු කළ බැලීමට නිවැසියන් තීරණය කර තිබුණි. එහෙත් එයින්ද ප්‍රතිඵලයක් තිබුණේ නැත. නැවතත් වරක් දොස්තර මාරු කළ ද සහනයක් ලැබුණේ නැත. පෞද්ගලික රෝහලක වෛද්‍යවරයෙකුගෙන් බෙහෙත් ගත්තද සුව වූයේ නැත. මට දැන් ආහාර ගැනීමට පිරියක්ද නැත. ජලය පානය කළද එයත් මොහොතින් පිටව යයි. වන විට මාගේ සිරුර අතිශයින් දුර්වල වී තිබුණි. ඉල ඇට කූඩුව පිටතට පෙනෙන්නට විය. මා සිටියේ තනියම ඇවිදීමට පවා නොහැකි තත්ත්වයක ය. ඇඳෙන් නැගිටින විට පරඬැල් පතක් මෙන් නැවතත් ඇඳ මතටම ඇද වැටුණේ නිවැසියන් බිය කරමින්ය.
දින හයක් ගතවූ පසු පැමිණි රාත්‍රියේ එනපොට හොඳ නැති බව වටහාගත් අප පවුලේ හිතවතෙකු ( රෝහිත අයියා නමින් හැදින්වූ ඔහු මීට සති දෙකකට පෙර හදිසි හෘදයාබාධයක් වැළදී සදහටම අපෙන් නික්ම ගියේය) මාව ඔසවාගෙන ගොස් ඔහුගේ වෑන් රථයට දමා ගෙන ගියේ දේවාලයක් වෙතය. එහි සිටියේ කාන්තාවකි. ඇයට පාද තිබුණේ නැත. දෙඅත් තිබුණේ ද වැලමිට දක්වා පමණි. දේවාලයට ඇතුලු වනවාත් සමග මට කලන්තය දැම්මේය. සිහිය එනවිට දේවාලයේ කාන්තාව ඇයගේ වැලමිට දෙකෙහි රඳවාගත් බිත්තරයක් මතුරමින් සිටියාය. මොහොතකට පසු මැතිරීම නැවත්වූ ඇය එම බිත්තරය ගෙන ගොස් හතරමං හන්දියක ගසා බිඳින ලෙසට අපට අණ කළාය. එතැනින් පිටත් වූ අප ඇය අණ කළ ලෙසම බිත්තරය හතරමං හන්දියක ගසා ගෙදර බලා පිටත් වූයෙමු. ගෙදරට ඇතුළු වූ විගසම කොරේ පිටට මරේ කියන්නාක් මෙන් මට වමනය යන්නට පටන් ගත්තේය. නමුත් එය සිදුවූයේ එක්වරක් පමණි. ඉන්පසු මාගේ තත්ත්වය සුවදායක තත්ත්වයට හැරුණි. බඩ එළිය යෑම මුලුමනින්ම නැවතුණි. පසුදින වන විට මා සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත් වීම නිසා නිවැසියන් සැනසුම් සුසුම් හෙළන්නට විය.
වැඩිහිටියන් පැවසු පරිදි එය මා වෙත වැටුණ පෙරේත බැල්මකි. රාත්‍රියේ තනිවම පුළුටු බදින විට හෝ බැදුම් කා තනිව ගමන් කරන විට ප්‍රේතයන් බැල්ම දමන බවත් එසේ සිදුවන්නේ මා මනුෂ්‍ය ගණයෙන් ඉපදී ඇති නිසාත්, දේව ගණයෙන් හෝ යක්ෂ ගණයෙන් ඉපදී ඇත්නම් එසේ නොවන බවත් මට පැවසුවේ ඔවුන්ය.
බොහෝ දෙනෙක් මෙම කතාව අවඥාවෙන් බැහැර කරනවා නියතය.ලෝකය, විද්‍යාව හා තාක්ෂණය කොතරම් දියුණු යැයි අප උදම් ඇනුවද අපගේ ඉන්ද්‍රියයන්ට ගෝචර නොවන හා ප්‍රඥාවට ගෝචර නොවන බොහෝ දෑ මේ අනන්ත විශ්වයේ තිබිය හැකි බව මම වටහා ගත්තේ මේ සිදුවීමත් සමගය.
( මේ ලිපිය ලියූවේ එදා මා දේවාලයට ඔසවා ගෙන ගිය රෝහිත අයියාට උපහාර පිණිසය.)