පොඩිඑකා උදේට කාලා නෑ…

courts

පසුගිය දා (03) විද්‍යා නඩුවේ සාක්ෂිකරුවෙකු ලෙස සාක්ෂි ලබාදුන් එකොළොස් හැවිරිදි දරුවෙකු සාක්ෂිය ආරම්භ කොට විනාඩි කිහිපයක් යත්ම සාක්ෂි කූඩුව මත ක්ලාන්ත වී ඇදවැටී ඇත. එම දරුවාගේ සාක්ෂිය ඉතා වටිනා එකක් වන්නේ මෙම ඝාතනය සිදුවන විට නව හැවිරිදි වියේ පසුවූ ඔහු දූෂණය සිදුවූ ආකාරය සහ එහි සිටි පිරිස් දෑසින්ම දැක ඇති හෙයිනි. තමා දුටු දේ දරුවා විසින් සිය මවට පැවසීමෙන් අනතුරුව මව එකී කරුණු පොලීසියට පවසා තිබේ.

සාක්ෂි කූඩුවේ ක්ලාන්ත වී ඇද වැටුණු දරුවා අසලට පැමිණි පියා ඔහුව වත්තන් කරගෙන යද්දී මහාධිකරණය විනිසුරුවරුන් පියාගෙන් අසා ඇත්තේ දරුවා අසනීපයකින් පෙළෙන්නේද යන්නයි. එවිට පියා පවසා ඇත්තේ ‘නෑ සර්, පොඩිඑකා උදේට කාලා නෑ…. කන්ඩ දෙයක් අරන් දෙන්න මගේ ලඟ සල්ලි තිබුණෙ නෑ….’ කියාය. උසාවියේ රැස්ව සිටි අය ඉහළට ගත් හුස්ම නතර වූවා සේ හැඟිණි.

වහාම ක්‍රියාත්මක වූ මහාධිකරණ විනිසුරු ඉලන්චේලියන් මහතා විනිශ්චයාසනය මත රැඳී හිඳිමින්ම තම පසුම්බිය ගෙන මුදල් නෝට්ටු කිහිපයක් උසාවියේ තෝල්කවරයා අත තැබුවේ එය පියාට ලබාදී වහාම දරුවා රැගෙන ගොස් කෑම ලබාදෙන ලෙස පවසමිනි. එතෙක් නඩුව පැයකට ආසන්න කාලයක් කල්තැබීමට විනිසුරු මඩුල්ල වහාම පියවර ගත්තේය.

හොඳින් කා බී වතුර බෝතලයක් ද අතැතිව සිනාසෙමින් නැවත අධිකරණයට පැමිණ ඇති දරුවා කිසිදු විඩාවකින් තොරව ඉතාමත්ම පැහැදිලි, චතුර ආකාරයට සාක්ෂි ලබා දී තිබේ. ඔහුගේ සාක්ෂිය කෙතරම් ප්‍රබල වීද යත් ඔහුගේ සාක්ෂිය අවසානයේදී පැමිණිල්ල අමතා ඇති මහාධිකරණ විනිසුරුවරුන් පවසා ඇත්තේ ‘තවත් මෙතනින් එහාට සාක්ෂි මෙහෙයවීමේ අවශ්‍යතාවයක් තිබේද’ යන්නයි.


උපුටා ගැනීමක්