ආණ්ඩුව රටේ ප්‍රශ්න විසදන්නේ පොලිස් බැටන් පොලු ප්‍රහාර හා කදුලු ගෑස් ප්‍රහාර වලින් : මුසම්මිල්

mohammed-muzammil
වත්මන් ආණ්ඩුව රටේ ප්‍රශ්න විසදන්නේ පොලිස් බැටන් පොලු ප්‍රහාර හා කදුලු
ගෑස් ප්‍රහාර මගින් යැයි ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක
පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා සදහන් කළේය.

ඊයේ (අප්‍රේල්25) ජාතික නිදහස් පෙරමුණු මූලස්ථානයේදී පැවති මාධ්‍ය
හමුවකදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේය.

ජනතාව සමග එක්වී සාකච්ඡා කර ඔවුන්ගේ ගැටලු විසදනවා වෙනුවට ජනතාව බිය වැද්දීමෙන් ප්‍රශ්න විසදීම ආණ්ඩුවේ ප්‍රතිපත්තිය යැයි හෙතෙම චෝදනා කලේය.

මීතොටමුල්ල කුණු කන්ද නාය යාමේ සිදුවීම නිරාකරණය කිරීම සම්බන්ධයෙන්ද
වත්මන් රජයට නිශ්චිත වැඩපිළිවෙලක් නැති බවත් මේ වන විට එය සාලාව අවි
ගබඩාව පිපිරුම් සිද්ධියේ දෙවන කොටස බවට පත්ව ඇතැයි ඒ මහතා පෙන්වා
දුන්නේය.

අමාත්‍යවරුන් සදහා බෙන්ස් රථ ගෙන්වීමට මිලියන ගණනක් වෙන් කරන ආණ්ඩුව මීතොටමුල්ල සිදුවීමේ ජීවිතක්ෂයට පත් වූ ජනතාවගේ ජීවිතයක වටිනාකම රුපියල් ලක්ෂයකට සීමා කර ඇතැයිද මෙම වාහන ගෙන්වීම නැවැත්වූවා නම් එම පුද්ගලයන් සදහා රුපියල් ලක්ෂ 50ක පමණ වන්දියක් ලබා දිය හැකි බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.