මීතොටමුල්ල මිය ගිය සංඛ්‍යාව 16 දෙනෙකු දක්වා ඉහළට

Meethotamulla 2

මීතොටමුල්ල කුණු කන්දේ කොටසක් කඩා වැටීමෙන් මිය ගිය සංඛ්‍යාව 16 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.

මියගිය පිරිස අතර ළමුන් 05 දෙනෙකු ද වන බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රොෂාන් සෙනෙවිරත්න මහතා පැවසුවේය.

ඒ අනුව මියගිය පිරිස අතර වන කාන්තාවන්ගේ සංඛ්‍යාව 07 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මේ අතර සිද්ධියෙන් තුවාල ලැබූවන් 12 දෙනෙකුද කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බව  පොලීසිය සඳහන් ක‍ළේය.

ඊයේ පස්වරුවේ මීතොටමුල්ලේ කුණු කන්දේ කොටසක් කඩා වැටීමෙන් නිවාස 145කට පමණ හානි සිදුව ඇති බව පොලීසිය පවසයි.

පවුල් 180ට අයත් පුද්ගලයින් 625 දෙනෙකු අවතැන්වී ඇති අතර ඔවුන් කොලොන්නාව ටෙරන්ස් ද සිල්වා  පාසලේ සහ අවට ප්‍රජාශාලාවල රැදී සිටින බව පොලීසිය පවසයි.

ඇති වූ හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් අවතැන් වූ ජනතාවට අවශ්‍ය පහසුකම් සැලසීමට මේ වන විටත් කඩිනම් පියවර ගෙන ඇති බව ආපදා කළමනාකරණ අමාත්‍ය  අනුර ප්‍රියදර්ශන යාපා මහතා ප්‍රකාශ කළේය.

මේ අතර කසළ කළමනාකරණය සම්බන්ධයෙන් වන ගැටළුවට නිශ්චිත විසඳුමක් ලබාදීමේ අවශ්‍යතාව පවතින බව ද අනුර ප්‍රියදර්ශන යාපා අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි.

මේ අතර නීතිය, සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා  අද උදෑසන මීතොටමුල්ල ප්‍රදේශයේ නිරීක්ෂණ සංචාරයක නිරත වුණි.