අලුත් අවුරුද්දට ළිං එක්ක ගනුදෙනු කිරීම පැත්තක දාල වතුර බවුසරේ කටට තමයි ගනුදෙනුව කළේ

ඉඉජ

උමා ඔය බහුකාර්ය ජල ව්‍යාපෘතිය හේතුවෙන් පසුගිය සතියේ පටන් තවත් වසම් දහයක ළිං සිඳී ගොස් ඇති බව උමා ඔය ව්‍යාපෘතියට එරෙහි ජනතා ව්‍යාපාරය පවසයි.

එම වසම් දහය තුළ ඇති නිවාස කිහිපයක් ඉරිතලා ඇති බවද උමා ඔය ව්‍යාපෘතියට එරෙහි ජනතා ව්‍යාපාරයේ කැඳවුම්කරු, ඌව පළාත්සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මාධ්‍ය ෙවත අදහස් දැක්වීය.

“උමා ඔය ව්‍යාපෘතිය සිදුවෙන ප්‍රදේශවල ජනතාවට දැන් වසර තුන හතරක පටන් අලුත් අවුරුදු නැහැ. ගිය අවුරුද්දෙත් ඒ ජනතාව අලුත් අවුරුද්දට ළිං එක්ක ගනුදෙනු කිරීම පැත්තක දාල වතුර බවුසරයක් නවත්තල බවුසරේ කටට තමයි ගනුදෙනුව කළේ.” යනුවෙන් ඔහු ප්‍රකාශ කළේය.

උමා ඔය ව්‍යාපෘතියට එරෙහි ජනතා ව්‍යාපාරයේ කැඳවුම්කරු කියා සිටියේ උතුරු කැබිල්ලේවල වසම, දික්තරාව දෝව, ගෙඩි අරෝදය, තන්තිරිය නැගෙනහිර, වටගමුව, ඇත්තලපිටිය, කිරිඔරුව, කොන්තෙහෙළ, පනන්වල, කුරුකුදේගම යන ගම්මානවල පසුගිය සතියේ පටන් ළිං සිඳී ඇති බවය.

එය සත්‍යයක් බව, උමා ඔය ව්‍යාපෘතිය හේතුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ කමිටු ලේකම් කාර්යාලයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ පී ඩී අමරසේකර ද පිළිගත්තේය.

කෙසේ නමුත් එම ප්‍රදේශයේ ජනතාවට ජල සැපයුම ආරම්භ කර ඇති බවත් පැවතුණු නියඟය හේතුවෙන් බොහෝ ජල මූලාශ්‍ර සිඳීගොස් ඇති බැවින් අවශ්‍ය පමණට බෙදා හැරීම සඳහා පානීය ජලය ලබාගැනීමේ අපහසුතාවකට බලධාරීන් මුහුණ දී ඇති බවත් ඔහු ප්‍රකාශ කරයි.

BBC