හම්බන්තොට කලාපයට තවත් විදෙස් ආයෝජකයන් 2500ක් ගෙන්වීමට සැළසුමක්

Sujeewa Senasinghe

හම්බන්තොට කලාපයට තවත් විදෙස් ආයෝජකයන් 2500ක් ගෙන්වීමට සැළසුම් කර ඇතැයි ජාත්‍යන්තර වෙළද කටයුතු පිළිබද නියෝජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා සදහන් කළේය.

මේ වන විට ලෝකයේ වැඩිම ආර්ථික වර්ධන වේගයක් අත්පත් කරගෙන සිටින්නේ චීනය හා ඉන්දියාව බැවින් එම රටවල ආයෝජකයන්ට වැඩි අවස්ථාවක් දීමෙන් මෙරට වෙළදපොල එම රටවල් සදහා විවෘත වන බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

මෙම නව ආයෝජන වලදී විදුලි උපකරණ වැනි නවීන තාක්ෂණික උපකරණ වලට මුල් තැනක් දීමට ලබාපොරොත්තු වන බවද හෙතෙම පැවසීය.

ඊයේ (15) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් මණ්ඩල තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අමාත්‍යවරයා මේ බව සදහන් කළේය.

එසේම වසර 3ත් 5ත් අතර කාලයක් තුළදී හම්බන්තොට ප්‍රදේශයේ ඩොලර් බිලියන 6ක් ආයෝජනය කිරීමට චීනය බලාපොරාත්තු වන බව දක්ෂිණ සංවර්ධන වැඩසටහන ආරම්භ කිරීමේ උත්සව අවස්ථාවේ මෙරට චීන තානාපතිවරයා සදහන් කළ බවද අමාත්‍යවරයා පැවසීය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ යුගයේ මෙන් වත්මන් රජය සියයට 7ක් වැනි ගිනි පොලියට ණය ගන්නේ නැතැයිද  ජනතාව පිළිබදව සිතා කටයුතු කරන බවද අමාත්‍යවරයා සදහන් කළේය.

එමෙන්ම වත්මන් රජය ව්‍යාපෘති බහුතරයක් ක්‍රියාත්මක කරනුයේ ජනතාවගේ මුදල් වලින් නොව විදේශ ආයෝජන වලින් යැයි අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.