වික්ටර් කසාද බැන්ඳා,එච්චරයි

Victor with wife 2

සංඛ රඹුක්වැල්ල

මම ඔබෙන් ඇහුවොත් ඔබ පිරිසිදු මනුස්සයෙක් ද කියලා කොයි වගේ උත්තරයක් ඔබ මට දෙයි ද ? පිරිසිදුකම නේද ? ඔබ හොඳින් හරි බරි ගැහිලා වාඩිවෙලා ඔබේ පවිත්‍රත්වය පැය ගානක් වුණත් කියවයි.සංස්කෘතියෙන් ඔබ ලද පෝෂණය,බුදු දහමේ ආශිර්වාදයෙන් ලැබුණු පෝෂණය,දෙමාපිය ආදර්ශයන් මේ හැමදේම නිසා ඔබ කළල් ජලයෙන් මතු වුණ නෙළුමක් වගේ පිරිසිදුයි කියලා ඔබ මට කියයි.ඔය ප්‍රශ්නය මම ඔබෙන් විතරක් නෙවෙයි.ලංකාවේ මිනිස්සුන්ගෙන් සීයට අනූවකගෙන් ම ඇහුවොත් ඔවුන් සේරම කියයි ඔවුන් සියලු දෙනාම ඉතාමත් පිරිසිදු අයවළුන් බව.කතාව ඇත්ත වුණත් කාගෙවත් පෞද්ගලික කරුණු කාරණා අදාළ නැති නිසා ඒ කියන්නේ ඇත්තම ද කියලා අපි සාමාන්‍යයෙන් ඔහු හෝ ඇය ඉස්සරහා ප්‍රශ්න කරන්න යන්නේ නෑ.ඔහු හෝ ඇය කියන කාරණය වම් කණින් අහලා දකුණු කනින් පිට කරන ගමන් අපි වෙන කාගෙන් හරි මෙහෙම අහනවා .” මේ අරයා එහෙමද ,එයා මෙහෙම ද ” කියලා.මුලු ලෝකෙටම ඇහෙන්න කෑ ගහලා ඔබ ඔබ කවුරුදැයි කීවත් කිසිම දවසක ඔබ ඔබ ගැන කියන දේ මිනිස්සු පිළිගන්නේ නෑ.ඒ නිසා ඔබට හිත හදාගෙන බලාගෙන ඉන්න වෙනවා සත්‍ය එළියට එනකම් ම.සත්‍ය එළිවෙන්න කොයිතරම් කාලයක් ගියත් ඔබට මට හිත හදාගන්නම වෙනවා.

ඒ කතාව එහෙම ම තියලා මම පොඩ්ඩක් වික්ටර් රත්නායක පැත්තට හැරෙන්නම්.අද මේ ලිපිය මම ලියන දිනයට මගේ වයස අවුරුදු විසි හයක්.මේ අවුරුදු විසි හයටම මම අහපු නිර්ලජ්ජීම සමාජමය වටිනාකමක් ලැබුණු ඕපාදූපය ඇහුවේ වික්ටර් රත්නායක ගැන.වික්ටර් වයස තිහක කාන්තාවක් හා විවාහ වෙලාලු. ඒක අහපු ගමන් මට අනිත්පැත්තට අහන්න හිතුණේ “ඉතිං මොකද ? ” කියලා.නිසි වයස එළඹුනාට පස්සේ මනුස්සයෙක්ට තමන් කැමති කෙනෙක් එක්ක නීත්‍යානුකූලව විවාහවෙන්න අයිතියක් තියෙනවා.ඒ අයිතිය නීත්‍යානුකූලව වික්ටර් පාවිච්චි කළානම් ඊට එහා ඔබට එය ප්‍රශ්න කරන්න තියෙන සදාචාරාත්මක අයිතිය මොකක් ද ? ලංකාවේ කලා ක්ෂේත්‍රයේ ගැහැණියෙක්ට ‍රැඳී ඉන්න අමාරුම ක්ෂේත්‍රවලින් එකක් කියලා මම කීවොත් ඔබ ඒක පිළිගන්නවද ? ලංකාවේ කලා ක්ෂේත්‍රය කියන්නේ සල්ලාල මඬුවක්.බලය ගොඩ නගාගත් ,බලය තහවුරු කරගත් පිරිමින් පිරිසකට යට වුණ පුරුෂාධිපත්‍යයට නතු වුණ සල්ලාලයන්ට නතු වුණ කෙළි බිමක්.ඒ කෙළි බිම ඇතුලේ ඔබ දකින පරමාදර්ශී චරිතවල නිර්ලජ්ජී නිර්වස්ත්‍ර පැතිකඩ බලාගන්න පුළුවන් අවශ්‍යනම් ඔබට. සිංදුවක් කරලා දෙන්නම් නංගී,ෆොටෝ ෂූට් එකක් කරලා දෙන්නම් නංගී,‍ෆිල්ම් එකක පොඩි කෑල්ලක් රඟපාන්න දෙන්නම් නංගී කියන කාලාකාමී අයියලා හැරුණ තැපෑලෙන් ආපහු මෙහෙම කියනවා.”හැබැයි කෙල්ලේ,අපිට සලකන්න ඕන හරි ද ? ” කියලා.ඒ සැලකීම මත්පැන් බෝතලේ ඉඳලා ලිංගික කටයුත්ත දක්වා ඉදිරියට විහිදෙනවා. ඉතිං එහෙම තැනක වික්ටර් ට චෝදනා කිරීම කෙතරම් පදනම් විරහිත දෙයක් ද ? ඔබට හිතන්න බැරිද වික්ටර් කියන්නේ සුපිරි “පොරක්” කියලා.හොරගෑණියෙක් තබා නොගෙන ඔහු ගැහැණියක් සමඟ විවාහ වුණා.එච්චරයි. වික්ටර් ගේ වත් ඒ ගෑණු කෙනාගේවත් රෙද්ද අස්සේ ඇඟිලි ගහන්න යන්න එපා.ඉඩකඩම්,දේපළ ප්‍රශ්න තියෙනවානම් ඒ මිනිස්සු ඒවා විසඳාගනී.මොකද ඔය කුණු හොයන්න යන ඔබෙත් මගෙත් කිල්ලෝටවල හුණු ඕන තරම් ඉතිරිවෙලා තියෙනවා අපි කාටවත් නොකීවට. ඔබට රිදුනද ? රිදුනනම් සමාවෙන්න