“ඇයි තමුසේ අර ගෑණි ගාවට ගියේ ? “

Sex-worker-

සංඛ රඹුක්වැල්ල

නුගේගොඩ තියෙන බෝඩිම් කාමරයට යන්න හැමදාම මම කොළඹ විශ්ව විද්‍යාලය ගාවින් ගොඩවෙන්නේ 138 බස් එකට.මිනිත්තුවකට 138 බස් එකක් දෙකක් එතනින් යන නිසාම කිසිම තරඟයක් නැතිව ගොඩවෙන්න පුළුවන් බස් එකක් නිසා 122 වගේ වේගයෙන් යන බස් වලට ගොඩ නොවන්නත් 125 වගේ අඩු වේගයෙන් ඒත් හදිස්සියෙන් යන බස් වලටත් ගොඩ නොවී සැහැල්ලුවෙන් ගමනාන්තය දක්වා යන බස් එකකට ගොඩවෙන්න මම කැමතී.

ජීවිතය කියන්න තරඟයක් කියලා මම දන්නවා.ජීවිතය දිනන්න කෙසේ වෙතත් ජීවත් වෙන්නත් තරඟයක් දෙන්න ඕන කියලත් මම දන්නවා.ඒත් තරඟ කරන්න ඕන සමාන අවස්ථාවන් ඔක්කොටෝම තියන පිටියක මිසක් එක්කෙනෙක් සුගතදාස එකේ දුවද්දී තව කෙනෙක් ගමේ සොහොන් පිට්ටනියේ ඉතුරු වෙච්ච පුංචි කොටසේ දුවන එක තරඟයක් වෙන්නේ නෑ.

ඒ නිසා මවාගත්ත “පොෂ්” එකකුත් නැතිව වැළපුමක් නැති “පුස්” එකකුත් නැතිව ඉහෙන් කණෙන් දාඩිය බේරෙන 138 බස් එකේ මම නුගේගොඩ බලා යනවා.බස් එක නුගේගොඩ හෝල්ට් එකට දාන්නේ හරියට ඉස්සරහ රෝද දෙක උපරිම හරවලා,තවත් පොඩ්ඩක් වැඩිපුර කපලා සනීපෙට බ්‍රේක් පාරකුත් ගහලා.හිර වෙච්ච කලිසම් ඇඳගත්ත අක්කලා නංගිලා වගේම ඇන්ටිලත් මූණ බෙරි කරලා බස් එකේ ඉන්න පිරිමි දිහා බලනවා ඒ බ්‍රේක් පාරේ සැරට.බ්‍රේක් ගැහුවේ අපි නොවන නිසා ඒ අය කරබාගන්නවා ඇති කියලා අපි හිතහදාගමු.

නුගේගොඩ බස් ස්ටැන්ඩ් එකෙන් බැස්ස මම හැටන් නැෂනල් බැංකුව ගාවට ඇවිල්ල එතනින් ගුවන් පාලම යටින් රිංගලා පාරේ අනිත් පැත්තට යනවා.ඒ යන්නේ කොහුවල හංදියට යන පාර පැත්තට.හරියටම කොහුවල පැත්තට හැරෙනකොට “ඕපල්” එක තියෙනවා..ඊට පස්සේ “නෝ ලිමිට් ” එක තියෙනවා.”නෝ ලිමිට්” එක පහුවෙනකොටම බහුතරයක් අය “ලිමිට් ” කරා කියලා පෙන්නන කාර්යයක් “අන්ලිමිට්” විදිහට පාවිච්චි කරන කෙනෙක් මුණ ගැහෙනවා.

ඇයට ගණදෙනුකරුවෙක් මුණ නොගැසෙන ඕනෑම අවස්ථාවක ඇය එම ස්ථානයේ ඉන්නවා.තැඹිලි පාට ටී ෂර්ට් එකකින් සැරසුන ඇය ඩෙනිම් වර්ගයේ රෙද්දකින් නිම කරපු කෙටි සායකින් හැඩවෙලා ඉන්නවා.උස අඩි පහක් විතර වන ඇය කොණ්ඩය කොටට කපලා ඉන්නේ.

කළු පාට පබළු දෙකක් වගේ කරාඹු දෙකකින් අලංකාර වුණ ඇගේ කන්පෙති වලට ඇය ඒ තරම් ලොකු වටිනාකමක් නොදුන්නේ ඇයි කියලා වෙලාවකට මට ප්‍රශ්නයක් මතුවෙනවා.කොහොම නමුත් ඈ එක් අවස්ථාවක් එනතුරු බලාගෙන ඉන්නවා.අවස්ථාව කෙතරම් සංකීර්ණ වුණත්,කෙතරම් සරළ වුණත් තරඟයක් ඇති මිනිසුන් වෙනුවෙන් තරඟයක් නැතිවම ඈ විකිණෙනවා.අයෙක් ඒක අනුකම්පා කළයුතු දෙයක් විදිහට දකිද්දි තවත් අයෙක් එය අනුමත කළ හැක්කක් ලෙසත් තර්ක කරන්න පුළුවන්.අනුමත කිරීම හෝ නොකිරීම පුද්ගලයා සතු පෞද්ගලික කියවීමක් මිසක් එය සමස්තයේ කියවීම නොවන බවනම් මතකතබා ගත යුතුම කාරණාවක්.

මේ ඊයේ පෙරේදා එක්තරා ගුවන් විදුලි නාලිකාවක මධ්‍යහන පුවත් විකාශනය තුළින් එක විශේෂ පුවතක් වාර්තා කරනවා.එක් උප ප්‍රධාන නගරයක පවත්වාගෙන යන ගණිකා නිවාසයක් වසා දමන්න කියලා පංසලේ හාමුදුරුවොයි ,ගමේ කාන්තාවන් සහ පිරිමින් එකතුවෙලා උද්ඝෝෂණයක්.කට්ටිය බොහොම ‍රැඩිකල් විදිහට “වොයිස් කට් ” දීලා කියනවා මේ ගණිකා නිවාසය එම ස්ථානයෙන් ඉවත් කරන්නලු.එතෙක් කලක් පැවතුන සංස්කෘතිය සහ සභ්‍යත්වය විනාස වෙනවලු.ඒ අතරේ එක් කාන්තාවක් මාධ්‍ය නාලිකාවට මේ විදිහේ “වොයිස් කට් ” එකක් දෙනවා..

“අපේ ස්වාමිපුරුෂයන් අපිට ආරක්ෂා කරගන්න ඕන,ඒ නිසා අපි පොලීසියට කියන්නේ ,කරුණාකරලා මේ ගණිකා නිවාසය මෙතනින් ඉවත් කරන්න ”

කියලා ඈ කියනවා.ඈ කියන කතාව මටනම් හරියට අකුණක් ගැහුවා වගේ දැණුනා. “අපේ ස්වාමිපුරුෂයන්” ආරක්ෂා කරගන්න ඕන කියලා ඈ කීවේ ඇගේ අවංක හැඟීමෙන් වෙන්න ඇති.ඒත් ප්‍රශ්නේ තියෙන්නේ ස්වාමි පුරුෂයාව ගණිකාවකගෙන් ආරක්ෂා කිරීමත් ආසියාවේ සාම්ප්‍රදායික ගැහැණියට අයත් කාරණයක් ද කියන එක.ගණිකාවක් සමඟ ලිංගිකව හැසිරිලා එන උත්තම පුරුෂයා කහ දියර ඉහළා පිළිගන්න තවමත් ආසියානු ගැහැණිය සූදානම් ද කියන කාරණය.

ඒ කියන්නේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ තවමත් ගැහැණිය පුරුෂාධිපත්‍යට යටයි කියන එක ද ?  ඇයගේ ප්‍රකාශය හරහා එළියට ආවේ සම්ප්‍රදාය කරේ තියාගෙන ඉන්න සිතිවිලි වලින් දුප්පත් වූ ආසියාතික පීඩනයෙන් මිරිකෙන ගැහැණිය කියලයි මම හිතන්නේ.ඒක වඩාත් සරළව කියනවානම් මෙහෙම .

බිරිඳ සැමියගෙන් අහනවා “ඇයි තමුසේ අර ගෑණි ගාවට ගියේ ? ” කියලා.එතකොට සැමියා උත්තර දෙනවා “උබට මොකටද ඒක? මම පිරිමියෙක් ” කියලා.එතකොට මේකද ආසියාතික ගැහැණිය ආරක්ෂා කිරීමට වෙර දරන සංස්කෘතිය.

සංස්කෘතිය එහෙම ආරක්ෂා කළා කියලා හිතුවත් කෝ සමානාත්මතාවය?

සංස්කෘතිය ආරක්ෂා කිරීමේ සහ සම්ප්‍රේෂණය කිරීමේ වාහකයා ලෙස ගැහැණිය ලෙස හැඳින්වෙද්දී කාන්තාවක් අහම්බයෙන් මුණ ගැහුණොත්,චාන්ස් එකක් ලැබුණොත් ඒ අවස්ථාව “පිරිමියෙක්” වීම නිසා ප්‍රයෝජනයට ගැනීමට පිරිමියාට සාධාරණ අයිතියක් තියෙනවා කියලා ගැහැණිය ඉවසන්න ඕන කියන එකද ඒ කතාවේ යටිපෙළ අර්ථය.ඒක මහ පුදුම සංස්කෘතිකමය ලක්ෂණයක් කියලා හිතෙන්නේ මට විතරක් ද ?.

ඊටත් වඩා පුදුමය ගැහැණිය පුරුෂාධිපත්‍යය දිගින් දිගටම රඳවාගෙන යන්න අනුබල දීම නෙවෙයි ද ? කොහොමද මේ අවස්ථාවන් දෙක තුලනය කරගන්නේ අපි.ඒ කියන්නේ ගමේ ඉන්න ගෑණු ටික කැති පොරෝ අරන් ඇවිල්ලා අර ගණිකා වෘත්තිය කරන අහිංසක ගෑණු ටික පන්නලා දැමීම ද ඒ මහා සංස්කෘතිකමය තුලනය කිරීම ?

ඒක මහ පුදුම තුලිතකරණයක්.එතකොට ඔය උද්ඝෝෂණයෙම ඉන්න ඒ ගණිකාවන්ගෙන් පහස ලබපු පිරිමින්ට ලබාදෙන්න පුළුවන් දඬුවම මොකක් ද ? උන්ට දඬුවමක් නැත්නම් අර ගැහැණුන් දඬුවම් ලබන්න තියෙන අයිතිය මොකක් ද ?

ඒ දඬුවම් ලැබීමට එකම සුදුසුකම ගෑණු ” ගෑණු” වීම නම් අපි තවමත් ඉන්නේ පිරිමියා විසින් සිය ආධිපත්‍ය තහවුරු කිරීමට කෘත්‍රීමව ගොඩ නගපු ඊනියා සංස්කෘතියක කියලා කණගා‍ටුවෙන් වුණත් කියන්න වෙනවා.ඒ නිසා පිරිමින්ගේ සංකෘතියක් ආරක්ෂා කිරීම වෙනුවෙන් අසීමිතව ගැහැණු පෙළ ගැහෙන අමුතු පන්නයේ රටක ජීවත් වීමේ “ලල්” එක ඔබත් විඳින්නකියලා අවසාන වශයෙන් මම කියන්නම්.