නීතිඥ උපුල් කුමාරප්පෙරුම
බිම්ගෙයි සිරකරුවා
දෙල්කඳ හන්දියේ වික්‍රම හෝටලය අද එතැන නැත. වික්‍රම හෝටලය බිමට සමතලා කොට ඇත. වික්‍රම හෝටලය ජීවිතයෙහිම කොටසක් බවට පත්වන්නේ එක්දහස් නවසිය අසූ අට නවය කාලයේදීය. රැවන් සහ මාගේ බොඩිම් තිබුනේ දෙල්කඳ හන්දිය ආසන්නයේය. වික්‍රම හෝටලය තුල ඒවයසට නොගැලපෙන සහ ඔරොත්තු නොදෙන්නාවු බොහෝ දේකතා කලේය. ප්‍රේමය, දේශපාලනය, යම් ආකාරයකින් නන්නත්තාර වූ ජීවිතය සහ අවිනිශ්චිත අනාගතය ඒ අතර විය.
වික්‍රම හෝටලයේ පැයක හමාරක සමාගමය සෑමදාම පාහේ සිදුවිය. එය සැනසිලිදායකය. එකල කොලඹ, අප හඳුනන්නේ නැත, අපද කොලඹ හඳුනන්නේ නැත. ඇති වූ දේශපාලන කැළඹීමකින් අපව කොලඹට කොටු කර ඇත්තේය.
මේ කාලයේ රැවන්ගේ මිත්‍රයෙකුගේ මිත්‍රයෙකු අප හා මිත්‍රවූයේය. ඔහුද අප සමග වික්‍රම හෝටලයේ සවස් කාලයේ පැයක් හමාරක් ගතකරන්නට ආවේය. ඔහුගේ නවාතැනද දෙල්කඳ බෝඩිමකි. ගම බදුල්ලයි. අනූව වසරේදි රැවන් ඔහු හා මිත්‍රත්වය ඉතා හොඳින් පවත්වාගෙන ගියේය. මා එකල ඒ සමීපයේ නොවීය. නැවත වතාවක් මේ දෙදෙනා හා මිත්‍රත්වය අලුත්වන්නේ ඊට පසු වසරේය.
ඔහු බොහෝ අවස්ථාවල දහවල් කාලය ගතකලේ අප නවාතැනේය. අපට වඩා හොඳ නවාතැනක් ගෙන දීමට ඔහු ඉදිරිපත් වූයේය. අලුත් නවාතැනකට ගියද ඔහු බොහෝ දිනවල එහි රාත්‍රිය ගත කලේ නැත. කුමන හෝ හේතුවක් කියා ඔහු රාත්‍රියේ පිටව ගියේය. ඔහුට හදිසි පනිවුඩයක් දෙන්නට අවශ්‍යනම් දෙල්කඳ හන්දිය ආසන්නයේ වූ කුඩා වෙළඳ සැලක හිමිකරැ අපට හඳුන්වා දුන්නේය.
ඔහු සමහර දිනවල විශේෂ කෑමක් රැගෙන එන්නේය. නිවෙසක පිලියෙල කල කෑමද සමහර දිනවල ගෙන එන්නේ අම්මා සහ අක්කා ඔහු බැලීමට පැමිණි බව කියමිනි. කොතෙක් කීවද අම්මා සහ අක්කා ඔහු නවාතැනට ගෙනාවේ නැත. වෙනත් කිසිදු යහලු මිත්‍රයෙකු ගෙනාවේද නැත. රැවන්ගේ ඥාතියෙකු වූ දේශපාලකයෙකු දිනක් පැමිණි අවස්ථාවකද ඔහු මගහැර ගියේය.
කාලය ගෙවී යන්නේය. අනූ එක වසර වැඩි කාලයක් මා සිටියේ ගමේය. මසකට වරක් දෙකක් කොලඹ ආවද වැඩි කාලයක් රැඳුනේ නැත. ඔහු වැඩි කාලයක් ගතකලේ රැවන් සමගය. ඔහු රැවන්ගේ පොතපත ඉතා ආශාවෙන් බලමින් සිටි අවස්ථා බොහෝය. එහෙත් ඔහුට ඒවයෙහි තිබූ දෑ අවබෝධ වූයේ නැත.
දිනක් රැවන් හදිසියේ මාතර ආවේය. කලබලයෙන් පැමිණි රැවන්, ඔහු දින කිහිපයක සිට අතුරැදන් යැයි කීවේය. රැවන් සමග මමද කොලඹ පැමිණියෙමු. එහෙත් සොයා යන්නට තැනක් නොදන්නේය. වෙළඳසැල හිමිකරැද කිසිත් නොදන්නේය. දිනපතා ඔහුගෙන් විමසුවද ලැබුනේ එකම පිලිතුරකි. ඔහුද නොදන්නා බවයි.
දින සති ගෙවී ගියද ඔහු ගැන ආරංචියක් නැත. අනූ දෙක වසරේ මුල්මාසයේ වෙලඳසැල් හිමිකරැ ඔහු ගැන තොරතුරක් කීවේය. එහෙත් අඩමානයටය.ඔහු අත්අඩංගුවේය. ජීවතුන් අතරද ඇත්ද නැත්ද යන්න නොදන්නා බව කීවේය. එසේ වූ හේතු කිසිවක් කවුරැන් හෝ දැන සිටියේ නැත. අසනන්නට හෝ කෙනෙකු නැත. නැවතත් කාලය ගෙවුනේ ප්‍රශ්න ගණනාවක්ද සමගිනි.
අනූදෙක වසරේ අප්‍රයෙල් මාසයේ මුල් සතියේ අහම්බෙන් තොරතුරක් ලැබුනේය. එය කෙසේ ලැබුනේදැයි දැන් අමතකය. කෙසේ වෙතත් ඔහු බූස්සේ රැඳවුම් කඳවුරෙහි රඳවා ඇති බව දැන ගත්තේය. ඒ වකවානුවේ ඔහු බලන්නට බූස්සට යන්නට ඇත්තෙන්ම බියවිය. ඒ එකල තිබූ මර්ධනය සහ අනෙකුත් සාහසිකකම් දුටු නිසාය. එහෙත් ඔහු දැක ගැනීමට අවශ්‍යය. ඔහුට සිදුවූ දේ අසා ගැනීමට අවශ්‍යය. අපි කල්පනා කලෙමු. දිනෙක තීරණයකට ආවෙමු. අප්‍රෙල් දොලහ යමු. ගෙදරට කියන බොරැව; කරාපිටියේ රෝහලෙහි රෝගියෙක් බලන්න යනව කියමු. මෙහෙයුම ක්‍රියාත්මක විය. අපි බූස්සට ගියෙමු. දොදොල් කෑල්ලක්, කේක්, බිස්කට් සහ කැවිලි මල්ලක් රැගෙන ගියෙමු.
එදා කඳවුරෙහි අමුත්තන්ගේ පෝලිම දිගුය. පෝලිමේ අති බහුතරයක් වැඩිහිටියන්ය. තරැණ තරැණියෝ සිටියද සිටියේ වැඩිහිටියන් සමගය. අප පෝලිමේ ගොස් අදාල නිලධාරියාට නම කීවේය. රණවීර, ගෙවල් බදුල්ලේ , සොරණාතොට; එහෙම හොයන්න බැහැ. බදුල්ලෙ රණවීරල පන්සීයක් විතර ඉන්නව. අංකය සහ ශාලා අංකය ඕන. අප මේ කිසිවක් දන්නේ නැත. ඔහු අප පැත්තකට කලේය. පෝලිම දහවල් වනවිට අඩුවිය. අප එතෙක්වේලා රැඳී සිටිනු දුටු අර නිලධාරියා නැවත අපට කතා කලේය. ඔහු පොත්පත් කිහිපයක් පෙරලා ඇතුලේ කාමරයකට යන්නට අපට අණ කලේය. අප කාමරයට වී දොරටුව දෙස බලා සිටින්නේය. ඔහු සරමක් සහ කමීසයකින් සැරසී දොරටුවෙන් ඇතුල්වූයේය.
ඔහු පලමුව අප දෙදෙනා වැලඳ ගත්තේ කඳුලු කැට අප දෙවුර මත ගලා යෑමට ඉඩ හරිමිනි. ඔහු පලමුව කීවේ කෙදිනක හෝ අප පැමිණේයැයි බලාපොරොත්තුවක් විශ්වාසයක් ඔහු තුල තිබුනු බවයි. අද පැමිණ ඇත්තේ අප බව පණිවුඩය ලද විගස සිතූ බවද කීවේය. ඔහු ජීවත්ව සිටීම ඔහුටද පුදුමයක් බවද කීවේය. පහර කෑමෙන් ඇතිවූ තුවාල කැලැල් ඔහු අපට පෙන්වූයේ ඒ තුවාලයන්හි වේදනාවන්ද මුහුණෙහි සනිටුහන් කරමිනි. අපගේ වෙලාව අවසන්වන තෙක් ඔහු සමග රැඳී සිටි අප වේදනාත්මක සමුගැනීමකින් ඔහුගෙන් වෙන්වූයේ නැවත ඔහු බලන්නට එන බවට පොරොන්දු වෙමිනි.
එසේ වෙන්වී දින කිහිපයකින් ඔහුගෙන් ලිපියක් ලැබුනේය. ඔහු අපට ස්තූති කොට තිබුනේය. අප අනාගතයට සුබ ප්‍රාර්ථනා කර තිබුනේය. නැවත පැමණෙන විට කොට කලිසමක් රැගෙන එන්නයයැයි ඉල්ලීමක් කර තිබුනේය. ඔහුව නැවත බලන්නට යන්නට කෙතරම් සැලසුම් සෑදුවද කුමන හෝ හේතුවක් නිසා එය අතපසු වූයේය. කාලයත් සමග අතපසූවීම් සාධාරණීකරනය කරගන්නට හැකියාවක් අපටම ලැබුනේය.
අනුතුන වසරේදී මා නීති විද්‍යාලයේය. දිනක් මා මහාධිකරණය දෙසට කුමන හෝ කාරණයකට ඇවිද ගියේය. වේලාව දහවල් දෙකට පමණ විය. දම්වැලකට අමුනා ගෙන සිර මැදිරිය වෙත ගෙන යන හිරකරැවන් කිහිප දෙනෙකු මා ඉදිරියට පැමිණියේය. ඒ සමග මාගේ නම කියා කවුරැන් හෝ අමතනු ඇසිනි. මම හැරී බැලුවෙමි. දම්වැලෙන් ගැටගසාගෙන ගෙන යන සිරකරැවන් අතර ඔහුද විය. ඔහු මා දැකීමෙන් මහත්සේ සතුටු වූ මුහුණකින් සිනහ සෙමින් සිටියේය. මා සිරකරැවන් පිටුපසින් සිර මැදිරියටදෙසට ගියේ ඔහු සමග කතා කරන්නටය. ඔවුන් මැදිරිය තුලට දැමූ පසු කම්බි කූරැ අතරින් මම ඔහුට කතා කලෙමි.
නඩුවෙහි ඔහුට එරෙහි සාක්ෂි නොමැති බව කීවේය. නිදහස් වුවහොත් විදේශ ගතවන බව කීවේය. ඔහු රඳවා ඇති බන්ධනාගාරය මට කීවේ නැත. නඩුවෙහි දිනයද කීවේ නැත. ඔහු කීවේ මා නීති ශිෂ්‍යයෙකු බැවින් ඔහු සමග ආශ්‍රය ගැටලුවක් විය හැකි බවයි. මා කොතෙක්දෑ කීවද ඔහු එය වෙනස් කලේ නැත. ඒ ඔහු සිතූ හැටියි. අවසන කූඩුවේ කම්බි අතරින් ඔහුගේ ඔහුගේ හිස අත ගා ඔහුගෙන් වෙන් වුනෙමි. ඉන්පසු කිසි දිනෙක ඔහු නැවත හමුවූයේ නැත, ඔහුට සිදුවූ දෙයක් හෝ දන්නේ නැත…..