වාහනවල සවිකර ඇති අංක තහඩු ගැන පොලීසියෙන් දැනුම්දීමක්…..

News Iamges.00_00_00_05.Still2200

වාහනවල සවිකර ඇති අංක තහඩු නිසි ප්‍රමිතියට අනුකූල නොවන පරිදි සකසා තිබේ නම්, එවැනි වාහන පොලිස් භාරයට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන බව පොලීසිය පවසයි.

පොලිස් රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. පී.ජේ. සේනාධීර මහතා අද (16) පැවැති මාධ්‍ය හමුවකදී මේ බව අනාවරණය කළේය.

ඔහු සඳහන් කළේ, නියමිත ප්‍රමිතියට අනුකූල නොවන අංක තහඩු භාවිත කරන වාහන පොලිස් භාරයට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් 15,000 සිට 25,000 දක්වා දඩ මුදලක් නියම කරන බවය.

තවද, පසුගිය කාලය තුළ නව වාහන සඳහා අංක තහඩු ලබාදීමේ ප්‍රමාදයක් පැවති බවත්, එය ඉදිරි සති කිහිපය තුළ විසඳාගත හැකි වනු ඇති බවත් ඔහු පැවසීය. අංක තහඩු නිසි ආකාරයෙන් සවිකරන ආකාරය පිළිබඳව මෝටර් රථ ප්‍රවාහ කොමසාරිස් කාර්යාලය විසින් වාහන හිමියන් දැනුම්වත් කර ඇති බව නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසීය.

නියමිත ප්‍රමිතිය අනුව ඉදිරිපස අංක තහඩුව සුදු පසුබිමක කළු අකුරු සහ ඉලක්කම් සහිතවද, පසුපස අංක තහඩුව කහ පසුබිමක කළු අකුරු සහ ඉලක්කම් සහිතවද තිබිය යුතුය.

කෙසේ වෙතත් වර්තමානයේ විවිධ වර්ණ සහ ආකෘති භාවිත කරමින් අංක තහඩු වෙනස් කර වාහන ධාවනය කිරීම වැඩිවී ඇති බවත්, එවැනි වෙනස්කම් හේතුවෙන් අනතුරු හෝ අපරාධ සිදුවන අවස්ථාවලදී වාහන හඳුනාගැනීම අපහසු වන බවත් පොලීසිය පෙන්වා දෙයි..