වියදම් සීමා ගැන අපේක්ෂකයින් දැනුවත් කිරීමට විශේෂ වැඩසටහනක්

පළාත් පාලන මැතිවරණයට අදාළ වියදම් සීමා කිරීම සම්බන්ධයෙන් අපේක්ෂකයින් දැනුවත් කිරීමේ වැඩසටහනක් ලබන මස මුල් සතිය තුළ ආරම්භ කරන බව පැෆරල් සංවිධානය පවසනවා.

ඒ අනුව මැතිවරණ කොමිසම සමග ඒකාබද්ධව අපේක්ෂකයින් දැනුවත් කිරීමට මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බවයි එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි සඳහන් කළේ.

මැතිවරණ අපේක්ෂයන් සියලුදෙනා මෙම නීති ගැන දැනුවත්ව සිටීම වැදගත් බවත් මැතිවරණය අවසානයේ මැතිවරණ වියදම් නිල වාර්තා ලබාදීම සෑම අපේක්ෂකයෙකුගේම වගකීමක් බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

මැතිවරණ ක්‍රියාවලිය ඇරඹීමට අවශ්‍ය ගැසට් නිවේදනය තවම මුද්‍රණයට යොමු කර නැහැ – ර.ප්‍ර.දෙ.

පළාත් පාලන මැතිවරණ ක්‍රියාවලිය ආරම්භ කිරීම සඳහා අවශ්‍ය වන ගැසට් නිවේදනය මෙතෙක් මුද්‍රණයට යොමුකර නොමැති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් සඳහන් කරන්නේ මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති සහ අනෙකුත් සාමාජිකයන්ගේ අත්සනින් යුතුව එම ගැසට් පත්‍රය මුද්‍රණය කිරීම සඳහා මෙතෙක් රජයේ මුද්‍රණාලය වෙත යොමුකර නොමැති බවයි.

ee4524592c35d1d1e52548789ebdef9a

මැතිවරණ කොමිසමේ තවත් සාමාජිකයෙකුට මරණ තර්ජන

මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජික එම් එම් මොහොමඩ්ටද සිය ධූරයෙන් ඉවත් වන ලෙසට දුරකථනය ඔස්සේ මරණ තර්ජන එල්ල කර ඇති බව වාර්තා වනවා.

ඒ සම්බන්ධයෙන් කොමිසමේ සභාපතිවරයා දැනුවත් කිරීමෙන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටද ඔහු පැමිණිලි කර ඇති අතර මේ වන විට ඔහුට පොලිස් ආරක්ෂාව සපයා තිබෙනවා.

මේ වන විට මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයන් තිදෙදෙනෙකුට මරණ තර්ජන එල්ල කර ඇති බවද, එම තර්ජන සියල්ල එකම දුරකථන අංකයකින් WhatsApp ඔස්සේ සිදු කර ඇති බවද මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි සඳහන් කළා.

ඇතැමුන් හොර අල්ලනවා කිව්වාට අල්ලන විදිහ කියන්නේ නැහැ – සජිත්

ඇතැමුන් හොරු අල්ලන බව පැවසුවද, එය කරන්නේ කෙසේදැයි නොපවසන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

නමුත් සමගි ජන බලවේගයේ ආණ්ඩුවක් යටතේ සොරකම් කරන ලද මුදල් සහ සම්පත් නැවත පවරා ගැනීම සඳහා අණ පනත් සම්මත කරන බවත්, එමඟින් සොරුන් අල්ලා ගන්නා බවයි විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පවසා සිටියේ.

හම්බන්තොට සූරියවැව දී පැවති ජන හමුවකට එක්වෙමින් විපක්ෂ නායකවරයා මේ බව පැවසුවා.

අමාත්‍යාංශ දෙකක ලේකම්වරු වෙනස් කෙරේ

සංචාරක හා ඉඩම් අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස ඩබ්ලිව්.ඒ. චූලානන්ද පෙරේරා සහ ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස ආර්.එම්. ඩබ්ලිව්. එස්. සමරදිවාකර යන අය පත් කොට ඇති බව වාර්තා වනවා. ජනාධිපතිවරයා විසින් නිකුත් කළ ගැසට් නිවේදනයක දැක්වෙන්නේ පසුගිය 20 වැනිදා සිට බල පැවැත්වෙන පරිදි මෙම පත් කිරිම් සිදුකර ඇති බවයි.

1eb5703924a799eda9b018e7ff5c37c3

කල් දාන්න ඕනෙ නැහැ, ඕනෑම මැතිවරණයකට අපි සුදානම් – මහින්ද

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඕනෑම මැතිවරණයකට සුදානම් බව එම පක්ෂයේ නායක මහින්ද රාජපක්ෂ පවසනවා.

ඡන්දය කල් දැමිය යුතු නොවන බවත්, රටේ ‍බොහෝ දෙනා පොදුජන පෙරමුණ ශක්තිමත් පක්ෂයක් ලෙස පිළිගන්නා බවයි ඔහු එහිදී කියා සිටියේ.

අනුරාධපුරයේ සංචාරයක් අතරතුර මාධ්‍යවේදීන් විමසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් හිටපු ජනාධිපතිවරයා මේ බව පවසා සිටියා.

නව වන පාර්ලිමේන්තුවේ තුන් වන සැසිවාරය අවසන් කිරීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කෙරේ

නව වන පාර්ලිමේන්තුවේ තුන් වන සැසිවාරය අද (27) මධ්‍යම රාත්‍රියෙන් අවසන් කිරීමට අදාළ ගැසට් නිවේදනය ජනාධිපති ලේකම් සමන් ඒකනායක විසින් නිකුත් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.

ඊට අනුව නව වන පාර්ලිමේන්තුවේ හතරවන සැසිවාරය එළැඹෙන පෙබරවාරි 08 වන දින පෙ.ව 10.00ට ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් විවෘත කිරීමට නියමිත බවයි සඳහන් වන්නේ.

මෙවැනි සැසිවාර අවසන් කිරීමකින් අනතුරුව යළි නව සැසිවාරයකට පාර්ලිමේන්තුව ආරම්භ කිරීමේ දී ජනාධිපතිවරයා විසින් සිය ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීම සාම්ප්‍රදායිකව සිදු වනවා.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්,

8538b16001477ba704dd88b17fed4617

පනත් කෙටුම්පත් දෙකක් සඳහා කතානායක අත්සන් තබයි

පසුගියදා පාර්ලිමේන්තුවේදී සම්මත වූ පනත් කෙටුම්පත් දෙකක් සඳහා කතානායක මහින්ද යාපා අබේවර්ධන විසින් අත්සන් තබා තිබෙනවා.

මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත් කෙටුම්පත සහ පුනරුත්ථාපන කාර්යාංශය පනත් කෙටුම්පත සඳහා කතානායකවරයා මෙලෙස අත්සන් තබා ඇති බවයි සඳහන් වන්නේ.

ඒ අනුව මෙම පනත් කෙටුම්පත්, බලාත්මක වන බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ජොන්ස්ටන්ගේ නඩුවකට ඉදිරිපත් කළ විරෝධතා අධිකරණය ප්‍රතික්ෂේප කරයි

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම පවරා ඇති නඩුවක් පවත්වාගෙන යාමට නොහැකි බවට විත්තිය විසින් මතුකළ මූලික විරෝධතාවක් අද කොළඹ මහාධිකරණය ප්‍රතික්ෂේප කර තිබෙනවා. අදාළ චෝදනා විභාග කිරීමට තම අධිකරණයට බාධාවක් නොමැති බවත් ඒ අනුව නඩු විභාගය මැයි මස 10 වනදා පවත්වන බවයි විනිසුරුවරයා සඳහන් කළේ. එදින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා සාක්ෂිකරුවන්ට සිතාසි නිකුත් කරන ලෙසද එහිදී නියෝග කර ඇති බවයි සඳහන් වන්නේ. වෙළෙඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී සතොස ආයතනයේ සේවකයින් ඔවුන්ගේ නිල රාජකාරිවලින් ඉවත් කර දේශපාලන කටයුතුවල යෙදවූ බවට චෝදනා කර හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන් තුන් දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් එම නඩුව ගොනුකර තිබෙනවා.

මෛත්‍රීට අධිකරණයෙන් අවවාද

පාස්කු ප්‍රහාරයට අදාළ නඩුවක් විභාග වන අවස්ථාවේ දී විත්ති කූඩුවට නොනැගීම සම්බන්ධයෙන් කොළඹ – කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ, අද (27) හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට අවවාද කර තිබෙනවා.

ඒ අනුව පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් සිරිල් ගාමිණී පියතුමා ඇතුළු දෙදෙනෙකු විසින් හිටපු ජනාධිපතිවරයාට එරෙහි ව ගොනු කර ඇති පෞද්ගලික පැමිණිල්ලට අදාළ නඩුව අද කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ දී විභාගයට ගෙන තිබුණා.

එහි දී හිටපු ජනාධිපතිවරයා විත්ති කූඩුවට නැගීමකින් තොර ව පිටත රැඳී සිටි අවස්ථාවේදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ රියෙන්සි අර්සකුලරත්න ඊට විරෝධය පළ කළ අතර සිය සේවාදායකයාට එරෙහිව පවරා ඇති පෞද්ගලික නඩුව සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනිම අභියාචනාධිකරණය විසින් අත්හිටුවා ඇති බැවින් ඔහු විත්ති කූඩුවට නැගීමක් සිදුනොකළ බව හිටපු ජනපති වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා අධිකරණයට පවසා සිටියා.

අභියාචනාධිකරණය විසින් තම අධිකරණයට නියෝග කර ඇත්තේ එම සැකකරුට චෝදනා පත්‍රය කියවා දී නඩුවේ ඉදිරි කටයුතු යළිත් අභියාචනාධිකරණයෙන් නියෝගයක් ලබාදෙන තුරු වැළැක්වීමක් මිස ඔහුට විත්ති කූඩුවට නොනගින ලෙසට නියෝගයක් නොවන බවට කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මෙහිදී සඳහන් කළා.

ඒ අනුව හිටපු ජනපතිවරයාට විත්ති කූඩුවට නැගීමට සිදුවූ අතර නඩුව යළිත් මාර්තු 17 වනදා නැවත කැඳවීමට මහෙස්‌ත්‍රාත්වරයා නියෝග කළා.