පළාත් පාලන මැතිවරණය සඳහා අපේක්ෂකයන් 80,000 ක් තරඟ බිමට

එක් එක් පරිපාලන දිස්ත්‍රික්කය වෙනුවෙන් නාමයෝජනා ඉදිරිපත් කර ඇති දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් පිළිබඳ තොරතුරු මැතිවරණ කොමිසම විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ඒ අනුව මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා දේශපාලන පක්ෂ 2,529 ක සහ ස්වාධීන කණ්ඩායම් 329 ක නාමයෝජනා පිළිගෙන ඇති අතර තරඟ කරන මුළු අපේක්ෂයන් සංඛ්‍යාව 80,672 ක් බවයි මැතිවරණ කොමිසම සඳහන් කරන්නේ.

එසේම දේශපාලන පක්ෂ 118 ක සහ ස්වාධීන කණ්ඩායම් 45 ක නාමයෝජනා ප්‍රතික්ෂේපවී ඇති බවයි මැතිවරණ කොමිසම වැඩිදුරටත් සඳහන් කළේ.

ඩයනා වරදක් සිදුකර ඇත්නම් අත්අඩංගුවට ගන්න වරෙන්තු අවශ්‍ය නෑ – මහේස්ත්‍රාත්

රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ ආගමන හා විගමන පනත යටතේ වරදක් සිදුකර තිබේ නම් ඇය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා වරෙන්තුවක් අවශ්‍ය නොවන බව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් පවසා තිබෙනවා.

මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක්ද අද (09) දිනයේ අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.

ඩයනා ගමගේගේ උප්පැන්න සහතිකය, ජාතික හැඳුනුම්පත්‍රය සහ විදේශ ගමන් බලපත්‍ර පිළිබඳව විමර්ශනයක් සිදුකරන ලෙස ඉල්ලා ගොනුකර ඇති පැමිණිල්ල අද (09) කැඳවනු ලැබූ අවස්ථාවේදී මහෙස්ත්‍රාත්වරයා මේ බව සඳහන් කර තිබෙනවා.

ජනපති මැදුරෙන් හමුවූ මුදල් තමාගේ බව ගෝඨාභය පිළිගනියි

අරගලයේ නිරත වූවන් විසින් කොටුව ජනාධිපති මන්දිරයේ තිබී සොයාගෙන කොටුව පොලීසියට භාරදී තිබූ රුපියල් එක්කෝටි හැත්තෑ අටලක්‍ෂ පනස්දහසක මුදල තමාගේ මුදල් බව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ ලබාදුන් ප්‍රකාශය මඟින් අනාවරණය කර ඇති බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (08) කොටුව මහෙස්ත්‍රාත්වරයා හමුවේ සඳහන් කර තිබෙනවා.

එම මුදල් රටේ අසරණ ජනතාවට බෙදාදීමට සූදානම් කර තිබූ මුදල් බවට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ සඳහන් කර ඇති බවයි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේ.

එබැවින් මේ වනවිට අධිකරණය භාරයේ ඇති එම මුදල් හිටපු ජනාධිපතිවරයා වෙත භාරදීමට නියෝගයක් කරන්නැයි ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිට තිබෙනවා.

කෙසේ නමුත් අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න ඊට විරෝධය පළ කරමින් සඳහන් කළේ, අදාළ මුදල් හිටපු ජනාධිපතිවරයා උපයා ගත් ආකාරය හෝ ඒවා ඔහුට ලැබුණු ආකාරය ඔහු ලබා දුන් ප්‍රකාශ අනුව අනාවරණය කර නොමැති අතර ඒ පිළිබඳව මුදල් විශුද්ධිකරණ පනත යටතේ හෝ අල්ලස් පනත යටතේ විමර්ශනයක් ද සිදු කර නොමැති බවයි.

A.H.M. ෆවුසි පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයේ දිවුරුම් දෙයි

A.H.M. ෆවුසි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස කතානායක මහින්ද යාපා අබේවර්ධන ඉදිරියේ මීට සුළු මොහොතකට පෙර දිවුරුම් දුන්නා.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධූරය සඳහා A.H.M. ෆවුසි පත් කර තිබුණා.

පාර්ලිමේන්තුව අද රැස්වෙයි

ජනාධිපතිවරයා ඉදිරිපත් කළ රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය සම්බන්ධයෙන් වන විවාදය අද (09) පාර්ලිමේන්තුවේදී ආරම්භ වනවා. ඒ අනුව අද උදෑසන 9.30 ට පාර්ලිමේන්තුව කතානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වීමට නියමිතයි. 09 වෙනි පාර්ලිමේන්තුවේ සිව්වන සභාවාරය ඊයේ (08) ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වුණා.

පාර්ලිමේන්තු​වේ නව සැසිවාරය ආරම්භයෙන් පසු තේ පැන් සංග්‍රහයක්

09 වෙනි පාර්ලිමේන්තුවේ සිව්වන සභාවාරය ආරම්භ කිරීම අද (08) ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් සිදු වුණා.

ඒ අනුව 09 වෙනි පාර්ලිමේන්තුවේ සිව්වන සභාවාරය ආරම්භ කිරීමෙන් අනතුරුව පැවති තේ පැන් සංග්‍රහය සඳහා ජනාධිපතිවරයා ඇතුළු මැති ඇමතිවරුන් පිරිසක් එක්ව සිටියා.

රාජාසන මේනියාව කියමින් විපක්ෂයෙන් ජනපතිට විරෝධයක්

ජනාධිපතිවරයා රාජාසන කතාව පැවැත්වීමට පාර්ලිමේන්තු සභා ගර්භයට පිවිසෙන අවස්ථාවේදී විපක්ෂ මන්ත්‍රීවරුන් පිරිසක් විරෝධය දක්වා තිබෙනවා.

ඒ අනුව “රාජාසන මේනියාව” ලෙස සඳහන් කරමින් මෙලෙස විපක්ෂ මන්ත්‍රීවරුන් පිරිසක් සභා ගර්භයෙන් පිටතට ගොස් ඇති බවයි සඳහන් වන්නේ.

මැතිවරණ කොමිසම් සාමාජිකයාගේ ඉල්ලා අස්වීම ජනපති පිළිගනියි

මැතිවරණ කොමිසමේ සාමාජික පී එස් එම් චාර්ල්ස් විසින් යොමුකරන ලද ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පිළිගෙන තිබෙනවා.

ජනාධිපති ලේකම් සමන් ඒකනායක විසින් මෙම තීරණය ඇය වෙත දැනුම් දුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන්නේ.

2050 වන විට ශ්‍රී ලංකාව හරිත ආර්ථිකයක් කරා ගෙන යාමේ වැඩපිළිවෙළ ආරම්භ කර තිබෙනවා – ජනපති

පරිසරය සම්බන්ධයෙන් වූ ක්‍රියාකාරී සැලැස්ම මේ වන විටත් සකස් කරමින් සිටින අතර වසර 2050 වන විට ශ්‍රී ලංකාව හරිත ආර්ථිකයක් කරා ගෙන යාමේ වැඩපිළිවෙළ ආරම්භ කර ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ශ්‍රී ලංකාව අපේක්ෂා කරන හරිත ආර්ථිකය, පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයෙන් ළඟා කර ගත හැකි බව “හරිත වර්ධන මාවතකට ශ්‍රී ලංකාව ගෙන යාම වේගවත් කිරීම සඳහා වූ උපාය මාර්ග සහ ක්‍රියාමාර්ග පිළිබඳ ඉහළ පෙළේ සාකච්ඡාවට” එක්වෙමින් ජනාධිපතිවරයා සඳහන් කළා.

අද මේ සිදුකරන්නේ හරිත ආර්ථිකයක් නිර්මාණය කිරීමේ කටයුත්තට මුල් පියවර තැබීමක් බවයි මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කළේ.

 

තුර්කියට ආධාර කිරීමට 300ක හමුදා කණ්ඩායමක් යෙදවීමට සූදානම් – විදේශ ඇමති

ඉල්ලීමක් සිදුකළහොත් තුර්කියට ආධාර ලබා දීමට ශ්‍රී ලංකාව සූදානම් බව විදේශ අමාත්‍ය අලි සබ්‍රි පවසනවා.

ඒ අනුව 300කගෙන් යුත් හමුදා කණ්ඩායමක් යෙදවීමට ශ්‍රී ලංකාව සූදානම් බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

මෙම හමුදා කණ්ඩායම සඳහා වෛද්‍ය සහ ඉංජිනේරු බළකායේ සෙබලුන් ඇතුළත් බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.