20 වනදා සිට නිල තැපැල් ඡන්ද පත්‍රිකා බෙදාහැරීමට තැපෑල සූදානම් – තැපැල්පති

එළැඹෙන පළාත් පාලන මැතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ලබන ඉරිදා (19) දිනයේදී තැපැල් දෙපාර්තමේන්තුව විසින් භාරගැනීමට කටයුතු කරන බව නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ පවසනවා.

එලෙස මැතිවරණ කොමිසමේ නියමය පරිදි භාරගන්නා නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා පෙබරවාරි 20 වනදා සිට මාර්තු 03 වනදා දක්වා ඡන්ද දායකයින් වෙත බෙදාහැරීමට කටයුතු සිදුකරන බවයි නියෝජ්‍ය තැපැල්පතිවරයා සඳහන් කළේ.

ලිපි බෙදීම් තැපැල් කාර්යාල 2000 කට අධික සංඛ්‍යාවක් හා ලිපි බෙදීම් කාර්ය මණ්ඩලය 7800 ක පමණ පිරිසක් සිටින බවත් ඔවුන් හරහා මෙම කාර්ය සිදුකරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාජා ගජේන්ද්‍රන් ඇතුළු 18 දෙනාට ඇප

අත්අඩංගුවට ගත් අකිල ඉලංකෙයි තමිල් කොංග්‍රස පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාජා කජේන්ද්‍රන් ඇතුළු 18 දෙනා ඇපමුදා හැර තිබෙනවා.

යාපනය ප්‍රදේශයේ දී අධිකරණ නියෝග කඩ කරමින් විරෝධතාවක නිරත වීම සම්බන්ධයෙන් ඔවුන් ඊයේ (11) අත්අඩංගුවට ගෙන තිබුණා.

ඒ අනුව ඊයේ (11) රාත්‍රියේ ඔවුන් යාපනය මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේ එක් අයෙකුට ලක්ෂ 03 බැගින් වූ ශරීර ඇප මත මුදාහැරීමට නියෝග කර ඇති බවයි සඳහන් වන්නේ.

මැතිවරණය සඳහා මහා භාණ්ඩාගාරයෙන් රුපියල් මිලියන 100 ක් ලබාදෙයි

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා මහා භාණ්ඩාගාරයෙන් රුපියල් මිලියන 100 ක් මේ වනවිට ලබාදී ඇති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පවසනවා.

ඒ අනුව ඔහු සඳහන් කළේ, පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරීම නියමිත පරිදි මේ මස 22, 23, 24 යන දිනවලදි සිදු කරන බවයි.

යම් දෙයකින් මෙම දින තුනේදී තමන්ගේ ඡන්දය සලකුණු කර ගැනීමට නොහැකි වුවහොත් 28 වනදා තමන්ගේ ආයතනය පිහිටි දිස්ත්‍රික්කයේ තේරීම්භාර නිලධාරියා ඉදිරියේ තමන්ගේ තැපැල් ඡන්දය සලකුණු කිරීමේ හැකියාව ඇති බවද ඔහු සඳහන් කළා.

එසේම තැපැල් ඡන්ද අයදුම්පත් සංඛ්‍යාවෙන් 36,000 ක් ප්‍රතික්ෂේපවී ඇති බවයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක වැඩිදුරටත් සඳහන් කළේ.

විරෝධතාවයක් අතරතුරදී පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාජා කජේන්ද්‍රන් අත්අඩංගුවට

යාපනයේ පැවති විරෝධතාවයක් අතරතුරදී අකිල ඉලංකෙයි තමිල් කොංග්‍රස් පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන සෙල්වරාජා කජේන්ද්‍රන් ඇතුළු 18 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. යාප‍නයේ බස් නැවතුම්පොළ ඉදිරිපිට පැවති විරෝධතාවයක් අතරදී මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇති බවටයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

බලශක්තිය, ගමනාගමනය, ජලය හා විදුලිය කිසිම රටක සහනාධාර ලෙස දෙන්නේ නැහැ – එස්.බී

බලශක්තිය, ගමනාගමනය, ජලය හා විදුලිය කිසිම රටක සහනාධාර ලෙස දෙන්නේ නැති බවත් ඊට අදාළ වියදම ජනතාවට දරාගන්න ලෙස අදාළ රටවල් නිර්දේශ කර ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී දිසානායක පවසනවා.

පවතින ආර්ථික අර්බුදයත් එක්ක මේ පවතින වියදම් දරා ගැනීමට නොහැකි වුණත් එය අමාරු වුණත් දරා ගැනීමට වෙන බවයි මන්ත්‍රීවරයා පවසන්නේ. ලක්ෂ 30න් එහාට බදු ගහපු එක මාසෙකට ලක්ෂය දක්වා අඩු කිරීමේ දී ඒක ජනතාවට අමාරු බවත් නමුත් මෙම අමාරුකම් දරා ගන්නේ නැතුව කවදාවත් රටක් විදිහට නැඟිටීමට නොහැකි බවත් මන්ත්‍රීවරයා අවධාරණය කරනවා.

හැමදාම තවත් රටකට හරි, ආයතනයකට හරි ණය වී රටක් විදිහට ඉස්සරහට යාමට නොහැකි බවත්, රටක් ලෙස ශ්‍රී ලංකාවට හොඳටම අමාරු බවත් පෙන්වා දෙන මන්ත්‍රීවරයා කියා සිටියේ වියදම් දරා ගැනීමට පුරුදු විය යුතු බවයි.

විදුලි බිල, ජල බිල දරා ගන්න අමාරුයි නම් ඒවා අඩුවෙන් පාවිච්චි කරන්න පුරුදු විය යුතු බවත් ජාතික පුවත්පතකට අදහස් දක්වමින් මන්ත්‍රීවරයා වැඩිදුරටත් පවසා සිටියා.

ජනප්‍රිය තීරණ විතරක් ගත්තොත් රට දියුණු වෙන්නේ නෑ – ජනපති

ආර්ථික කඩා වැටීම හමුවේ ජනතාව මුහුණ දී සිටින දැඩි අසීරුතාව සහ බදු වැඩි කිරීම නිසා ඇති වූ දුෂ්කරතාව තමා දන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. ඇතැම් අයගේ වැටුපෙන් බදු හා ණය ගෙවූ පසු ඉතුරු වන්නේ ඉතා සුළු මුදලක් බවත් මේ දුෂ්කරතාව දරාගන්න සිදුවන්නේ තව ඉතා ටික කාලයක් බවයි ජනාධිපතිවරයා කියා සිටියේ.

ආණ්ඩුව මේ තීරණ නොගත්තොත් අද රට මේ තත්ත්වයේ තිබෙන්නේ නැති බව අවධාරණය කරන ජනාධිපතිවරයා කියා සිටියේ ඉදිරියේ දී රට පිළිබඳ සිතා තීරණ ගැනීමට සියලු දේශපාලන නායකයින් කැපවනු ඇතැයි තමා විශ්වාස කරන බවයි.

ආණ්ඩුවටත් ජනප්‍රිය තීරණ ගත හැකි බව පවසා සිටි ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ ජනප්‍රිය තීරණ විතරක් ගත්තොත් රට දියුණු නොවන බවයි.

පළාත් පාලන මැතිවරණයට එරෙහි පෙත්සමක් සලකා බැලීම කල් යයි

පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම තහනම් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සමක් සලකා බැලීම ලබන 23 දා දක්වා කල් දැමීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබෙනවා.

විශ්‍රාමික යුද හමුදා කර්නල්වරයකු විසින් මෙම පෙත්සම ගොනුකර ඇති අතර එහි වගඋත්තරකරුවන් ලෙස මැතිවරණ කොමිසමේ සභාපති නීතීඥ නිමල් පුංචිහේවා ඇතුළු සාමාජිකයන්, අග්‍රාමාත්‍යවරයා, මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කර ඇති බවයි සඳහන් වන්නේ.

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබාදෙයි

මැතිවරණ කොමිෂන් සභාව සැලසුම් කර ඇති පරිදි ඉදිරි පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබාදී තිබෙනවා.

පලාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට පියවර ගන්නා ලෙස මැතිවරණ කොමිසමට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මහාචාර්ය ජී.එල්.පීරිස් ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් ගොනුකළ රිට් පෙත්සම් දෙකක් අද කැදවු අවස්ථාවේ දී මෙම නියෝගය ලබාදී ඇති බවයි සඳහන් වන්නේ.

කාරක සභා සඳහා සාමාජිකයන් පත් කෙරේ

09 වෙනි පාර්ලිමේන්තුවේ සිව්වන සභාවාරයේ තේරීම් කාරක සභා සඳහා සාමාජිකයන් පත්කර තිබෙනවා.

ඒ අනුව කතානායක මහින්ද යාපා අබේවර්ධන විසින් අදාළ නම් පාර්ලිමේන්තුවට නිවේදනය කර ඇති බවයි සඳහන් වන්නේ.

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව, රජයේ මුදල් පිළිබඳ කාරක සභාව සඳහා මෙලෙස සාමාජිකයන් පත් කර ඇති බවයි සඳහන් වන්නේ.

අදාළ සාමාජිකයන් පහතින්,

d2a0e6c4638e8bc9ab0d90e77919de10

88c660641d2a7b000079414081cfc736

පළාත් පාලන ඡන්දයට එරෙහි පෙත්සම් අද විභාගයට

පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමේ කටයුතු අත්හිටුවීමේ රීට් ආඥාවක් මැතිවරණ කොමිසම වෙත නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ පෙත්සම සම්බන්ධයෙන් වන විභාගය අද (10) පැවැත්වීමට නියමිතව තිබෙනවා.

විශ්‍රාමික යුද හමුදා කර්නල්වරයෙකු වන ඩබ්ලිව්.එම්.ආර්. විජේසුන්දර විසින් පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමේ කටයුතු අත්හිටුවීමේ රිට් ආඥාවක් මැතිවරණ කොමිසම වෙත නිකුත් කරන ලෙස ඉල්ලා මෙම පෙත්සම ගොනුකර තිබුණා.

රටේ බරපතල ආර්ථික අර්බුදයක් පවතින අවස්ථාවක සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල බරපතල කොන්දේසි පනවා ඇති මෙම අවස්ථාවේ මැතිවරණයක් පැවැත්වීම සුදුසු නොවන බවට සමාජය තුල මතයක් නිර්මාණය වී ඇති බව ඔහු එමඟින් පෙන්වාදී තිබෙනවා.