පුංචි කාලේ ක්‍රිකට් ගහද්දි පරදින්න යනකොට බෝලෙ හංගනවා වගේ වැඩක් රනිල් කරන්නේ – ඩලස්

මැතිවරණය කල් දැමීමට කටයුතු කරමින් රටේ පළමු පුරවැසියා වන ජනාධිපතිවරයා සිදු කරන්නේ කුඩා කාලයේ ක්‍රිකට් ක්‍රීඩා කිරීමේදී කණ්ඩායමක් පරදින අවස්ථාව පැමිණෙන විට බෝලය සඟවනවා වැනි වැඩක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම පවසනවා.

ඡන්දය සම්බන්ධයෙන් හිතුවක්කාර ලෙස කටයුතු කළ අවස්ථා 5 ක් මෙරට මැතිවරණ ඉතිහාසයේ වාර්තා වන බවත් එයින් අවස්ථා 3 ක ප්‍රධාන වගඋතරකරුවා බවට පත්වූයේ එක්සත් ජාතික පක්ෂය බවයි මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.

එම අවස්ථා 3 සඳහා වත්මන් ජනාධිපතිවරයා එවක මන්ත්‍රීවරයෙක් ලෙස සෘජුව සම්බන්ධවූ බවත් ඔහුට මෙය හුරු පුරුදු ක්‍රීඩාවක් බවද මන්ත්‍රීවරයා සඳහන් කළා.

නැවත වතාවක් රටේ මිනී කඳු ගොඩගැහෙන තැනකට ඡන්දය සම්බන්ධයෙන් ඇති විශ්වාසය පත් නොකරන ලෙස ඉල්ලා සිටින බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළා.

මැතිවරණය කල් දැමීමට සහාය දෙන රජයේ නිලධාරීන්ට එරෙහිව නීතිමය පියවර ගන්නවා – ජී.එල්. පීරිස්

මැතිවරණය කල් දැමීමට සෘජුව හෝ වක්‍රව සහාය දෙන සියලු රජයේ නිලධාරීන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්. පීරිස් පවසනවා.

ඒ අනුව නීතිය යටතේ පනවා ඇති දඬුවම් ක්‍රියාත්මක කරන තැනට කටයුතු කරන බවයි මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

තැපැල් ඡන්දය සැලසුම් කළ පරිදි පවත්වන්න තවමත් හැකියි – මැතිවරණ කොමිස​ම

පළාත් පාලන මැතිවරණයේ තැපැල් ජන්දය සැලසුම් කළ පරිදි පැවැත්වීමට තවමත් හැකියාවක් ඇති බව මැතිවරණ කොමිසම පවසනවා.

ඒ අනුව තැපැල් ජන්ද පත්‍රිකා බෙදා හැරීම පමණක් මේ වන විට ප්‍රමාදවී ඇති බවයි එම කොමිසමේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා සඳහන් කළේ.

තැපැල් ඡන්ද පත්‍රිකා අද දිනයේ බෙදාහැරීමට සැලසුම් කර තිබූ අතර කෙසේ නමුත් මුදල් නොලැබීමේ ගැටවුක් මත තැපැල් ඡන්ද පත්‍රිකා ලබාදීමේ ගැටළුවක් ඇති බවට රජයේ මුද්‍රණාලය ප්‍රකාශ කිරීමත් සමඟ තැපැල් ඡන්දය කල් දැමීමට කටයුතු කර තිබුණා.

මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ සභාපතිව ධූරයෙන් ඉවත් කරමින් ගැසට් නිවේදනයක්

මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති නොයෙල් ස්ටීවන් එම ධූරයෙන් තාවකාලිකව ඉවත් කරමින් සබරගමුව පළාත් ආණ්ඩුකාරවරයා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව, ඔහු ප්‍රදේශීය සභා පනත යටතේ වැරදි කිසිවක් සිදුකර ඇද්ද යන්න සම්බන්ධයෙන් මාස තුනක කාලයක් තුළ පරික්ෂා කර ආණ්ඩුකාරවරයා වෙත වාර්තා කරන ලෙසයි නියෝග කර තිබෙන්නේ.

මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ කාර්යය ඉටුකිරීම සඳහා උප සභාපතිවරයා වන කෝරලේ ගෙදර පියතිස්ස එම තනතුරට පත්කර ඇති බවයි සඳහන් වන්නේ.

අදාළ ගැසට් නිවේදනය පහතින්,

1934a224f51db512eb4a9b5265373084

3332050be7199d4bda725f39875830af

ආණ්ඩුව මැතිවරණය කල් දැමීමට බියගුළු වෑයමක් ගෙන තිබෙනවා – සජිත්

22 වන වතාවටත් ආණ්ඩුව මැතිවරණය කල් දැමීම උදෙසා බියගුළු වෑයමක් ගෙන ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

මැතිවරණය කල් දැමීම උදෙසා කුමණ්ත්‍රණ කරන සියලුදෙනාට එරෙහිව අධිකරණමය ක්‍රියා මාර්ග ගැනීමට සහ නීතිය ඉදිරියේ උපරිම දණුවම් ලබා දීමට කටයුතු කරන බවයි නිවේදනයක් නිකුත් කරමින් විපක්ෂ නායකවරයා සඳහන් කරන්නේ.

මැතිවරණය කල් දැමීමට හෝ නොපැවැත්වීමට ආණ්ඩුව ගනු ලබන බියගුළු ක්‍රියාවන්ට එරෙහිව විපක්ෂයේ සියලු බලවේග සහ සෙසු සියලු ප්‍රගතිශීලී බලවේග එක කඳවුරකට ගොනුවිය යුතු අවස්ථාව උදාවී ඇති බවද විපක්ෂ නායකවරයා සිය ලිපිය මඟින් වැඩිදුරටත් පෙන්වාදී තිබෙනවා.

තැපැල් ඡන්දය දින නියමයක් නොමැතිව කල් යයි

තැපැල් ඡන්දය දින නියමයක් නොමැතිව කල්දැමීමට තීරණය කර ඇති බව මැතිවරණ කොමිසම පවසනවා.

අද මැතිවරණ කොමිසමේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගෙන ඇති බවයි සඳහන් වන්නේ

තැපැල් ඡන්ද පත්‍රිකා බෙදාහැරීම හෙට සිදුකළ නොහැකි බව මැතිවරණ කොමිසම දැනුම් දුන්නා – සාගර කාරියවසම්

හෙට (15) දිනයේ දී තැපැල් ඡන්ද පත්‍රිකාවල බෙදාහැරීම් සිදුකිරීමට නොහැකි බව මැතිවරණ කොමිසම පැවසු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් පවසනවා.

අද (14) මැතිවරණ කොමිසන් සභාව සමඟ පැවති සාකච්ඡාවේ දී මේ බව දැනුම් දුන් බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.

ඡන්ද පත්‍රිකා මුද්‍රණය සඳහා වැයවන වියදම් පියවා ගැනීමට අවශ්‍ය මුදල් ලබා දෙන තෙක් නිල ඡන්ද පත්‍රිකා මුද්‍රණය තවදුරටත් සිදු කළ නොහැකි බවට රජයේ මුද්‍රණ දෙපාර්තමෙන්තුව මැතිවරණ කොමිසමට දැනුම්දී ඇති බව මෙම සාකච්ඡාවේදී දැනුම්දුන් බවද පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් සඳහන් කළා.

ඒ අනුව තැපැල් ඡන්ද පත්‍රියා බෙදාහරින බව මීට පෙර දැනුම්දී තිබූ බවත් නමුත් අද පැවති සාකච්ඡාවේදී තැපැල් ඡන්ද පත්‍රිකා හෙට දිනයේ බෙදාහැරීමේ හැකියාවක් නොමැති බවට මැතිවරණ කොමිසම දැනුම්දුන් බවද ඔහු සඳහන් කළා.

මැතිවරණ කොමිසමට මූල්‍ය ස්වාධීනත්ව​ය ලබාදිය යුතුයි – පැෆරල් සංවිධානය

ඡන්ද පත්‍රිකා මුද්‍රණය සඳහා වැයවන වියදම් පියවා ගැනීමට අවශ්‍ය මුදල් ලබාදෙන තෙක් ඉතිහාසයේ පළමු වතාවට ඡන්ද පත්‍රිකා මුද්‍රණය නැවතී ඇති බවට වාර්තා වන බව පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි පවසනවා.

අද (14) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු සඳහන් කළේ, මීට පෙර පැවති සෑම මැතිවරණයකම බොහෝමයක් රාජ්‍ය ආයතන ගෙවීමේ පදනම මත මැතිවරණ කොමිසම සමඟ සහයෝගයෙන් කටයුතු කළ බවත් පළමුවතාවට මෙවර එම තත්ත්වය වෙනස් වී ඇති බවයි.

මෙහි වගකීම ආණ්ඩුව දැරිය යුතු බවත් රටේ ප්‍රජාතන්ත්‍රවාදය තනි ආණ්ඩුවක් විසින් යටපත් කරන තත්ත්වයක් උදාවී ඇති බවයි පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි සඳහන් කළේ.

මෙම තත්ත්වය වෙනස් කිරීමට නම් මැතිවරණ කොමිසමට මූල්‍ය ස්වාධීනභාවය ලබාදීම අනිවාර්යෙන්ම සිදුවිය යුතු බවත් මේ තුළින් ඉදිරියේදී මැතිවරණ කොමිසමට නිදහසේ මැතිවරණය පැවැත්වීමට ඉඩකඩ ලැබෙන බවද ඔහු සඳහන් කළා.

එසේම ආර්ථික සාධකය මත මැතිවරණය කල් දැමීමට කටයුතු කළහොත් අනාගතයේ එන ඕනෑම පාලකයෙකුට, පාර්ලිමේන්තු මැතිවරණයද ආර්ථික සාධක මත කල් දැමීමට හැකිවීමේ බරපතල අවදානමක් ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

ඡන්දය නොපැවැත්වීමේ අදහසක් රජයට නෑ – බන්දුල ගුණවර්ධන

ඡන්දය නොපැවැත්වීමේ අදහසක් රජයට කිසිසේත් නොමැති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා.

ඒ අනුව මාධ්‍යවේදියෙක් යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ, මහා භාණ්ඩාගාරය එදිනෙදා මූල්‍ය තත්ත්වය සම්බන්ධයෙන් ගැටලුවකට මුහුණදී ඇති බවයි.

ණය ප්‍රතිව්‍යුහගතකරණය සිදු නොකළහොත් ණය ලබාගැනීමට හැකියාවක් නොමැති බවත්, අප්‍රේල් වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය සහනය ලබා ගැනීමට නොහැකිවුවහොත් රට ඉදිරියට ගෙනයාමට නොහැකි බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

රටේ වත්මන් මුදල් තත්ත්වය සම්බන්ධයෙන් මහා භාණ්ඩාගාරය භාර ලේකම්වරයා විසින් අධිකරණයටද කරුණු ඉදිරිපත් කර ඇති බවයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන වැඩිදුරටත් සඳහන් කළේ.

පාර්ලිමේන්තුව පෙබරවාරි 21 සිට 24 දක්වා රැස්වෙයි

පාර්ලිමේන්තුව එළැඹෙන 21 වනදා සිට 24 වනදා දක්වා නැවත රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව ලබන අඟහරුවාදා (21) උදෑසන 09.30ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ.