මැතිවරණය කල් දැමීම ගැන විපක්ෂය විවාදයක් ඉල්ලයි

මැතිවරණය කල් දැමීම ඇතුළු රටේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් විවාදයක් ලබාදෙන ලෙස විපක්ෂය නියෝජනය කරමින් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල විසින් කතානායකවරයාගෙන් ඉල්ලීමක් කළා.

ඒ අනුව මේ සම්බන්ධයෙන් පක්ෂ නායක රැස්වීමක් කැඳවා තීරණයක් ගන්නා බවයි එහිදී කතානායක මහින්ද යාපා අබේවර්ධන පාර්ලිමේන්තුවට සඳහන් කළේ.

පාර්ලිමේන්තුව අද රැස්වෙයි

අද (21) පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව අද පෙවරවරු 9.30 ට කතානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතයි.

අද තේ මණ්ඩල පනත යටතේ නියෝග කිහිපයක් විවාදයට ගෙන සම්මත කිරීමට නියමිතව ඇති බව වැඩිදුරටත් සඳහන්.

අද මධ්‍යම රාත්‍රියෙන් පසු පාර්ලිමේන්තුව විසිරුවා හැරීමේ බලය ජනපති අතට

අද (20) මධ්‍යම රාත්‍රියෙන් පසු ජනාධිපතිවරයාට ඕනෑම අවස්ථාවක දී පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට බලය හිමිවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී G.L. පීරිස් පවසනවා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව මෙම බලය ජනාධිපතිවරයාට හිමිවන බවයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

මාර්තු 09 වැනිදා මැතිවරණය පැවැත්වීමට බාධා පැමිණ ඇති බව මැතිවරණ කොමිසම ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙයි

පොරොන්දු වූ පරිදි පළාත් පාලන ඡන්ද විමසීම මාර්තු 09 වනදා පැවැත්වීමේ කටයුතුවලට බාධා පැමිණ තිබෙන බව මැතිවරණ කොමිසම ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබෙනවා.

ප්‍රමාණවත් මුදල් ප්‍රතිපාදන හා අනෙකුත් පහසුකම් නොලැබීම හේතුවෙන් මෙම තත්ත්වය හටගෙන ඇති බවයි මැතිවරණ කොමිසම දැනුම්දී ඇත්තේ.

ස.ජ.බ. විරෝධතාවයට එරෙහිව අධිකරණ නියෝගයක්

සමගි ජන බලවේගය විසින් අද (20) දහවල් කොළඹදී පැවැත්වීමට නියමිත උද්ඝෝෂණයට අදාළව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර ඇතුළු එහි සංවිධායකයින් 7 දෙනෙකු සහ ඊට සහභාගි වන තැනැත්තන්ට ජනාධිපති කාර්යාලය, ජනාධිපති මන්දිරය, මුදල් අමාත්‍යාංශය, ගාලුමුවදොර පිටිය සහ ඒ ආශ්‍රිත මාර්ග කිහිපයකට අද පස්වරු 2 සිට රාත්‍රී 7 දක්වා කාලය තුළ ඇතුළුවීමෙන් වළකින ලෙස අදාළ නියෝගය සිදුකර තිබෙනවා.

කොටුව පොලිස් ස්ථානය කළ ඉල්ලීමකට අනුව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් මෙම නියෝගය සිදුකර ඇති බවයි සඳහන් වන්නේ.

මැතිවරණය කල් දැමීමට එරෙහිව ස.ජ.බ. අද කොළඹට

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම කල් දැමීමට ආණ්ඩුව ගන්නා උත්සාහයට එරෙහිව සමගි ජන බලවේගය සංවිධානය කරන විරෝධතාවයක් අද පස්වරුවේ කොළඹ දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

එම පක්‍ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක පැවසුවේ ඡන්ද කල් දැමීමට එරෙහිව අද සිට අඛණ්ඩ විරෝධතා මාලාවක් ක්‍රියාත්මක කිරීමට සිය පක්‍ෂය සැලසුම් කර ඇති බවයි.

ආණ්ඩුව සිතා මතා මැතිවරණය කල් දැමීමට උත්සාහ කරන බවත් ආණ්ඩුවට විශාල පරාජයක් අත්වේ යැයි ඔවුන් බියෙන් පසුවන නිසා මැතිවරණය නොපවත්වා කල් දැමීමට සෑම උත්සාහයක්ම ගනිමින් ඇති බවයි ඔහු සඳහන් කළේ.

මෙම විරෝධතා ව්‍යාපාරය සඳහා වෙනත් දේශපාලන පක්ෂ හා සිවිල් සංවිධාන නියෝජිතයන් එක් කර ගැනීමට බලාපොරොත්තු වන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක වැඩිදුරටත් සඳහන් කළේ.

ඡන්ද විමසීම කල්දමන ලෙස ඉල්ලා ගොනුකළ පෙත්සම අද කැඳවයි

පළාත් පාලන ඡන්ද විමසීම කල්දමන ලෙස නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා විශ්‍රාමික යුද හමුදා කර්නල්වරයකු විසින් ඉදිරිපත් කළ රීට් පෙත්සම අද (20) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව එස්. තුරෙයිරාජා සහ ශිරාන් ගුණරත්න යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල ඉදිරියේ එය කැඳවීමට නියමිත බවයි සඳහන් වන්නේ.

එම පෙත්සම ඉකුත් 10 වනදා සලකා බැලීම සඳහා කැඳවූ අවස්ථාවේදී වැඩිදුර සලකා බැලීම ලබන 23 දා දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝග කළ අතර කෙසේ නමුත් අදාළ පෙත්සම ලබන 23 වනදා ට පෙර කැඳවන ලෙස ඉල්ලමින් කර්නල්වරයා විසින් සිය නීතිඥවරුන් මාර්ගයෙන් මෝසමක් ගොනු කර තිබෙනවා.

ආර්ථිකය ප්‍රකෘතිමත් වූ පසු ලබන වසරේ දී තම ඡන්දය භාවිතා කිරීමට ජනතාවට පසුබිම සකස් වනු ඇති – ජනපති

රටක ප්‍රජාතන්ත්‍රවාදය සඳහා පළමුව නීතිය හා සාමය අවශ්‍ය වන බවද, දෙවනුව ස්ථාවර ආර්ථිකයක් අවශ්‍ය වන බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

නීතිය, සාමය සහ ආර්ථික ප්‍රකෘතිය නොමැති රටක ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදය නොව අරාජිකත්වය බවද, රට අරාජිකත්වයේ මාවතේ පහළට ගෙන යාමට තමා කිසිවිටක ඉඩ නොතබන අතර රටේ නීතිය හා සාමය සහතික කිරීමට කැපවන බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් අවධාරණය කරනවා.

ආර්ථිකය යළි ප්‍රකෘත්මත් වීමත් සමඟ ලබන වසරේ දී තම ඡන්දය භාවිත කර, රටේ සිදුකළ යුතු වෙනස්කම් සහ තමන්ට අවශ්‍ය අනාගතය නිර්මාණය කරගැනීමට අවැසි පසුබිම ජනතාවට සකස් වනු ඇති බවද ජනාධිපතිවරයා විශ්වාසය පළ කර සිටිනවා.

48c211c3c09a56f432cb9545d641772d

7b3a4dac07c150c46c94450e784e3fae

පළාත් පාලන මැතිවරණය පිළිබඳව මැතිවරණ කොමිෂමෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට මෝසමක්

මැතිවරණ කටයුතු සඳහා අවශ්‍ය මුදල්, මුදල් අමාත්‍යාංශය මගින් ලබානොදීම ඇතුළු මැතිවරණ කටයුතු පවත්වාගෙන යාමට ඇති බාධා පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මෝසමක් මගින් දැනුවත් කිරීමට කටයුතු කරන බව මැතිවරණ කොමිෂම පවසනවා. මුද්‍රණාලය මගින් මුද්‍රණ කටයුතු ප්‍රමාද කිරීම, ඛනිජ තෙල් සංස්ථාව මගින් ඉන්ධන ප්‍රමාණවත්ව ලබානොදීම, පොලීසිය මුද්‍රණාලයට ආරක්ෂාව ලබානොදීම ඇතුළු කරුණු ද අදාළ මෝසම මඟින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත දැනුම් දීමට නියමිත බවයි වාර්තා වන්නේ.

තැපැල් ඡන්ද පත්‍රිකා දින දෙකකින් මුද්‍රණය කළ හැකියි – මුද්‍රණ සේවක සංගම්

රජයේ මුද්‍රණාලයේ මුද්‍රණ හැකියාව අනුව තැපැල් ඡන්ද පත්‍රිකා ලක්ෂ 6 ක් යනු ඉතා සුළු ප්‍රමාණයක් බව මුද්‍රණ සේවක සංගම් පවසනවා.

උපරිම දිනයකින් හෝ දින දෙකකින් එය මුද්‍රණය කළ හැකි බවයි මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔවුන් සඳහන් කළේ.

ඡන්ද පත්‍රිකා මුද්‍රණයට වැඩි කාලයක් ලබා ගැනීම සම්බන්ධයෙන් ගැටලුවක් පවතින බවත් මැතිවරණයට බාධා කිරීම සඳහා රජයේ මුද්‍රණාලාධිපතිනිය කටයුතු කරන්නේ දැයි යන බරපතල සැකයක් මතුවන බවයි ඔවුන් වැඩිදුරටත් සඳහන් කළේ.