මැතිවරණය ඉල්ලා ජනපති ඉදිරියේ විපක්ෂ මන්ත්‍රීවරුන් විරෝධතාවක

ජනාධිපතිවරයා අද (23) පාර්ලිමේන්තුවෙන් පිටව යන අවස්ථාවේදී විපක්ෂ මන්ත්‍රීවරුන් විසින් මැතිවරණය පවත්වන ලෙස ඉල්ලා විරෝධතාවක නිරත වුණා.

ඒ අනුව ඔවුන් සටන් පාඨ සහිත පුවරු ප්‍රදර්ශනය කරමින් සභා ගර්භය මැදට පැමිණ මෙම විරෝධතාවයේ නිරත වූ බවයි සඳහන් වන්නේ.

ඡන්දෙ කල් දාලා නෑ, කල් දාන්න ඡන්දයක් නැහැ – ජනපති

මැතිවරණ කොමිසම විසින් තවම නීත්‍යානුකූලව මැතිවරණයක් කැඳවා නොමැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

මැතිවරණයක් පැවැත්වීම රටේ ආර්ථිකයට නුසුදුසු බවද, ඊට මුදල් නොමැති බවද අද (23) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් ජනාධිපතිවරයා සඳහන් කළා.

ඡන්දය පැවැත්වීම සම්බන්ධයෙන් දිනය ගැන තීරණය ගෙන ඇත්තේ කොමිසමේ සාමාජිකයන් දෙදෙනෙක් පමණක් බව සහ අනෙක් සාමාජිකයන්ගෙන් පසුව ඒ සඳහා අනුමැතිය ලබාගෙන ඇති බව Sunday Times පුවත්පතේ වාර්තාවක දැක්වෙන බවද ජනාධිපතිවරයා සඳහන් කළා.

ඒ අනුව ඡන්දය පැවැත්වීම සම්බන්ධයෙන් මෙතෙක් නීත්‍යානුකූල ලෙස තීරණයක් ගෙන නොමැති බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු සඳහා ඉල්ලුම් කළ ගුරුවරුන්ගේ හිඟයක් පවතිනවා – අධ්‍යාපන ඇමති

උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු සඳහා ඉල්ලුම් කළ ගුරුවරුන්ගේ හිඟයක් තිබෙන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් පවසනවා.

ඒ සඳහා 19,000ක් අවශ්‍ය වුවත් මේ වනවිට ඉල්ලුම් කර ඇත්තේ ගුරුවරු 15,000ක් පමණක් බවයි අද (23) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් කරමින් අමාත්‍යවරයා සඳහන් කළේ.

ඒ සඳහා අමාත්‍ය මණ්ඩල සන්දේශය මාසයකට පෙර ඉදිරිපත් කළ බවත් අසීරුතා මධ්‍යයේ වුවත් අමාත්‍ය මණ්ඩලය විසින් එය අනුමත කළ බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

ඡන්දය පවත්වන ලෙස ඉල්ලා පාදුක්ක ජනතාව මැතිවරණ කොමිසමට Money Orders යවයි

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා මැතිවරණ කොමිසමට මූල්‍ය ප්‍රතිපාදන නොමැතිවීම හේතුවෙන් ඊට දායවීමට පාදුක්ක ප්‍රදේශයේ ඡන්ද දායකයන් පිරිසක් කටයුතු කර තිබෙනවා.

ඒ අනුව එම පිරිස මැතිවරණ කොමිසමට රුපියල් 100 සහ 200 අගයන්ගෙන් මුදල් ඇනවුම් (Money Orders) යොමුකර ඇති බවයි සඳහන් වන්නේ.

මැතිවරණ කොමසාරිස්වරයාගේ නමට මෙම මුදල් ඇනවුම් යොමු කර ඇති අතර එම ප්‍රදේශයේ ජනතාව සඳහන් කළේ මෙම මැතිවරණය පැවැත්වීමට කටයුතු කළ යුතු බවයි.

පාර්ලිමේන්තුව අද රැස්වෙයි

අද (22) පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව අද දිනයේ කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත යටතේ රෙගුලාසි කිහිපයක් විවාදයට ගැනීමට නියමිත බවයි සඳහන් වන්නේ.

ඊයේ (21) පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේදී විපක්ෂයේ විරෝධතාවක් හේතුවෙන් පාර්ලිමේන්තුව අද දක්වා කල් තැබීමට කටයුතු කළා.

එ.ජා.ප. පළාත් පාලන ආයතන සාමාජිකයින් 1,137 කගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි

එක්සත් ජාතික පක්ෂයේ පළාත් පාලන ආයතන සාමාජිකයින් 1,137 දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය ඒකමතිකව එම තීරණය ගෙන ඇති බවයි සඳහන් වන්නේ. අදාළ සාමාජිකයින් වෙනත් පක්ෂවලට සහාය දැක්වීමේ සිද්ධි හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

මැතිවරණ කොමිසමට මුදල් නොදීමට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක්

පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම සඳහා 2023 වසරේ අය වැය තුළින් වෙන්කර තිබෙන මුදල් ප්‍රතිපාදන මැතිවරණ කොමිසම වෙත නිකුත් නොකිරීමට ගෙන තිබෙන තීරණයට එරෙහිව පෙත්සමක් ගොනුකර තිබෙනවා.

ඒ අනුව සමගි ජන බලවේගයේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර විසින් අදාළ පෙත්සම ඉදිරිපත් කර ඇති බවයි සඳහන් වන්නේ.

අදාළ තීරණය තුළින් මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා ඇතුළු වගඋත්තරකරුවන් මහජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මෙම මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇති බවයි සඳහන් වන්නේ.

මෛත්‍රීට හා දයාසිරිට එරෙහිව අතුරු තහනම් නියෝගයක්

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර ට එරෙහිව කොළඹ දිසා අධිකරණයෙන් අද (21) අතුරු තහනම් නියෝගයක් ලබාදී තිබෙනවා.

ඒ අනුව ජා ඇළ ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රිනී චමාලි පෙරේරා වෙනුවට එම තනතුරට වෙනත් අයකු පත්කිරීම වළක්වාලමින් මෙම අතුරු තහනම් නියෝගය ලබාදී ඇති බවයි සඳහන් වන්නේ.

කිසිදු විනය ක්‍රියාමාර්ගයකින් තොරව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ව්‍යවස්ථාවට පටහැනිව අයුක්ති සහගත ආකාරයට තමන්ගේ මන්ත්‍රී ධුරය ඉවත් කිරීමට කටයුතු කොට ඒ වෙනුවට වෙනත් පුද්ගලයකු පත්කිරීමට සූදානම් වන බවට ඇය විසින් සිය පෙත්සම මඟින් කරුණු දක්වා තිබුණා.

කොහෙද ඡන්දෙ කල් දාලා තියෙන්නේ? – මහින්ද රාජපක්ෂ

පළාත් පාලන මැතිවරණය කල් දැමීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් අද (21) පාර්ලිමේන්තුවේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගෙන් විමසා සිටියා.

එයට පිළිතුරු ලබාදෙමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සඳහන් කළේ, මැතිවරණ කල් නොදැමිය යුතු බවත් මැතිවරණ පැවැත්විය යුතු බව තම ස්ථාවරය බවයි.

මැතිවරණය පවත්වන ලෙස ඉල්ලා පාර්ලිමේන්තුවේ විරෝධතාවක්

පලාත් පාලන මැතිවරණය පවත්වන ලෙස ඉල්ලා විපක්ෂය පාර්ලිමේන්තුවේදී විරෝධතාවයක් ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් විසින් මෙම විරෝධතාව ආරම්භ කර ඇති බවයි සඳහන් වන්නේ.