ආණ්ඩු වෙනසක් ඇතිකළ හැක්කේ පාර්ලිමේන්තු මැතිවරණයකින් පමණයි – ජනපති

ආණ්ඩු වෙනසක් ඇතිකළ හැක්කේ පාර්ලිමේන්තු මැතිවරණයකින් පමණක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කර තිබෙනවා.

ඒ් අනුව වීදි බැසීම ඊට විකල්පයක් නොවන බවයි ත්‍රිකුණාමලය ගුවන් හමුදා කඳවුරේ පැවති උත්සවයකට එක්වෙමින් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අද

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් තීරණය කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයන්ගේ විශේෂ සාකච්ඡාවක් අද (03) පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව පවතින තත්ත්වය යටතේ පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් එහිදී තීරණයකට පැමිණීමට නියමිත බවයි මැතිවරණ කොමිසමේ සභාපති නීතීඥ නිමල් ජී. පුංචිහේවා සඳහන් කළේ.

පාස්කු නඩුවලින් ජනපතිව මුදාහරී

පාස්කු වින්දිතයින් 108 දෙනෙකු විසින් ගොනුකර ඇති නඩුවල වගඋත්තරකරුවකු වශයෙන් නම්කර සිටි ජනාධිපති රනිල් වික්‍රමසිංහ එම නඩුවලින් මුදාහැරීමට කොළඹ දිසා අධිකරණය නියෝග කර තිබෙනවා.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් තමන්ට සිදුවූ හානිය වෙනුවෙන් වන්දි අයකර දෙන ලෙස ඉල්ලා මෙම නඩු ගොනුකර තිබූ අතර අදාළ නඩුව අද (01) කැඳවූ අවස්ථාවේදී කොළඹ දිසා විනිසුරුවරයා විසින් මෙම නියෝගය සිදුකර ඇති බවයි සඳහන් වන්නේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු මූලික විරෝධතාවක් මතු කරමින් තම සේවාදායකයා මේ වනවිට ජනාධිපතිවරයා වශයෙන් පත්වී සිටින හෙයින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ඔහුට එරෙහිව මෙම අවස්ථාවේදී නඩුකරයක් පවත්වාගෙන යාමට නොහැකි බව පෙන්වා දී තිබෙනවා.

ඒ අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහිව මෙම අවස්ථාවේදී නඩුකරයක් පවත්වාගෙන යාමට නොහැකි බව තීන්දු කළ දිසා අධිකරණය අනතුරුව මෙම නියෝගය නිකුත් කර ඇති බවයි සඳහන් වන්නේ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද තොරතුරු දැනගැනීමේ පනතට යටත් බව අභියාචනාධිකරණය තීන්දු කරයි

තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනතේ ප්‍රතිපාදන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ද අදාළ වන බවත් වත්කම් හා බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීමට ඔවුන් නීතියෙන් බැඳී සිටින බවත් අභියාචනාධිකරණය විසින් තීන්දු කර තිබෙනවා.

වත්කම් හා බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නාමලේඛනයක් මුදාහරින ලෙස තොරතුරු කොමිසම විසින් දුන් තීරණයක් තහවුරු කරමින් අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල විසින් එම තීන්දුව ලබාදී ඇති බවයි සඳහන් වන්නේ.

තීන්දුව ප්‍රකාශයට පත් කරමින් අභියාචනාධිකරණ විනිසුරු සම්පත් අබේකෝන් සඳහන් කර ඇත්තේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු යනු මහජනතාව විසින් පත්කරන ලද පිරිසක් බවත් එම පිරිස මහජනතාව විසින් නඩත්තු කරන අතර ඔවුන් සිය වත්කම් හා බැරකම් ප්‍රකාශයට පත්කිරීමට නීතියෙන් බැඳී සිටින බවයි.

අද පක්ෂ නායක රැස්වීමක් කැඳවයි

අද (01) විශේෂ පක්ෂ නායක රැස්වීමක් පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව අද පස්වරු 1.30 ට පාර්ලිමේන්තු සංකීර්ණයේ දී එම පක්ෂ නායක රැස්වීම පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළා.

මෙහිදී එළඹෙන සතියේ පාර්ලිමේන්තු කටයුතු පැවැත්වීම සහ පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරිමට නියමිත බවයි සඳහන් වන්නේ.

විරෝධතාවයේදී පුද්ගලයෙක් මියයාම ඝාතනයක් – අනුර දිසානායක

ජාතික ජන බලවේගයේ විරෝධතාවයට එක්වූ පුද්ගයෙකු මියයාම ඝාතනයක් බව ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා.

එම විරෝධතාව ගැටුම්කාරී තත්ත්වයකට වර්ධනය කළේ ආණ්ඩුව විසින් බවත්, එම නිසා මෙය ආණ්ඩුව විසින් සිදුකරන ලද මිනිස් ඝාතනයක් බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ.

මේ සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවත් අනතුරුව අනෙකුත් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට බලාපොරොත්තු වන බවයි අනුර කුමාර දිසානායක වැඩිදුරටත් සඳහන් කළේ.

විපක්ෂ නායක ඇතුළු නියෝජිතයින් පිරිසක් කතානායක හමුවෙයි

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සහ ඊට අදාළ මුදල් වෙන් කරගැනීම ඇතුළු විශේෂ කරුණු තුනක් මුල්කරගනිමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරුන් පිරිසක් අද (28) පෙරවරුවේ කතානායකවරයා හමුවී තිබෙනවා.

එහිදී 2023 අයවැයෙන් මැතිවරණ පැවැත්වීම සදහා වෙන්කර ඇති මුදල් පලාත් පාලන මැතිවරණය පැවැත්වීමට නිදහස් කිරීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවේ දී සම්මත කිරීමට යෝජනා කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කතානායකවරයාගෙන් ඉල්ලා සිටි බවයි විපක්ෂ නායක කාර්යාලය සඳහන් කළේ.

ඒ අනුව කතානායකවරයා ද ඊට සිය එකඟතාවය පළ කර තිබෙනවා.

පාර්ලිමේන්තුව සතු බලය හෑල්ලු කිරීමට කිසිවෙකුට අයිතියක් නැති බවත්, කතානායකවරයා මේ තත්ත්වය වෙනස් කිරීමේ බලය සතු නියෝජිතයා බවත් එම සාකච්ඡාවට සහභාගී වූ මහාචාර්ය ජී.එල්. පීරිස් සඳහන් කර තිබෙනවා

මැතිවරණය සම්බන්ධයෙන් ස.ජ.බ. ඉදිරිපත් කළ පෙත්සම මාර්තු 3 වනදා කැඳවීමට නියෝග

පළාත් පාලන ඡන්ද විමසීම සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර විසින් ඉදිරිපත් කළ පෙත්සම සලකා බැලීම සඳහා මාර්තු මස 03 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබෙනවා.

පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම සඳහා මැතිවරණ කොමිසම වෙත මුදල් ප්‍රතිපාදන මුදා නොහැරීම තුළින් මුදල් අමාත්‍යාංශයේ ලේකම් ඇතුළු වගඋත්තරකරුවන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි තීන්දු කරන ලෙස ඉල්ලා මෙම පෙත්සම ගොනුකර ඇති බවයි සඳහන් වන්නේ.

එස් තුරෙයිරාජා, යසන්ත කෝදාගොඩ සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ එම පෙත්සම අද (27) කැඳවා තිබෙනවා.

ජනාධිපති මේ වෙලාවේ පිඳුරු ගහෙත් එල්ලෙන්න බලනවා – මංජුල ගජනායක

ජනාධිපතිවරයා විසින් ජනතාව සතු පරමාධිපත්‍ය බලය මේ වන විට නතර කොට ඇති බව ප්‍රජාතන්ත්‍රීය ප්‍රතිසංස්කරණ හා මැතිවරණ අධ්‍යයන ආයතනයේ විධායක අධ්‍යක්ෂ මංජුල ගජනායක පවසනවා.

අඛණ්ඩව පැමිණි බාධා සමූහයක් මධ්‍යයේ මැතිවරණ කොමිෂන් සභාවට මැතිවරණය කල් දැමීම හැර වෙනත් විකල්පයක් නොමැති වූ බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ.

ඒ අනුව මැතිවරණ මෙලෙස කල් දැමීම එතරම් හොඳ තත්ත්වයක් නොවන බවත් ජනාධිපතිවරයා විසින් ජනතාව සතු පරමාධිපත්‍ය බලය මේ වන විට නතර කොට ඇති බැවින් ජනාධිපතිවරයා මේ අවස්ථාවේ පිදුරු ගසක හෝ එල්ලීමට සුදානමින් සිටින බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

ජාතික ජන බලවේගයට එල්ල වු ප්‍රහාරය විපක්ෂ නායක හෙළා දකියි

ජාතික ජන බලවේගය සංවිධානය කළ විරෝධතා රැළියට එල්ල කළ කඳුළු ගෑස් සහ අධි පීඩන ජල ප්‍රහාරය හෙළාදකින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

කිසිඳු නායකයෙකු හෝ පක්ෂයක් සෑම විටම සහමුලින්ම නිවැරදි වී නොමැති බැවින්, ප්‍රජාතන්ත්‍රවාදය තුළ විරුද්ධ හඬවල් ඉවසා සිටිය යුතු බව විපක්ෂ නායකවරයා පෙන්වාදෙනවා.

ජාතික ජන බලවේගයේ විරෝධතාවට එල්ල කළ කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර හේතුවෙන් බොහෝ දෙනෙකුට බරපතළ තුවාල සිදුව ඇති බවත්, එම තත්ත්වය තුළ මහජනතාවට එරෙහිව ආණ්ඩුවේ තර්ජනය පැහැදිලි බවත්, ආණ්ඩුව ප්‍රකාශ කරනු ලබන්නේ ජනතාවට නිහඬව පසෙකට වී සිටිය යුතු බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් සඳහන් කරනවා.

7c60402d00403cea558c7c37a0b42cad