පළාත් පාලන මැතිවරණය පිළිබඳව අද පක්ෂ ලේකම්වරුන් සමඟ සාකච්ඡාවක්

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ ලේකම්වරුන් සමඟ තීරණාත්මක සාකච්ඡාවක් අද (23) දිනයේ පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව පවතින තත්ත්වය යටතේ පළාත් පාලන මැතිවරණය නියමිත දිනට පැවැත්වීමට හැකිද යන්න එහිදී වැඩි අවධානයක් යොමු කරන බවයි සඳහන් වන්නේ.

පළාත් පාලන මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු මාර්තු මස 28 වන දින සිට 31 වන දින දක්වා සිදු කිරීමට නියමිත අතර මැතිවරණය අප්‍රේල් 25 වන දින පැවැත්වීමට මේ වන විට තීරණය කර තිබෙනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කරගත් එකඟතා ගිවිසුම ජනපති විසින් සභාගත කෙරේ

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් අනුමත කරන ලද විස්තීරණ ණය පහසුකම පිළිබඳව ජනාධිපතිවරයා මේ වන විට පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් පවතිනවා.

සජීවී යාවත්කාලීන කිරීම් පහතින්,

* ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කරගත් එකඟතා ගිවිසුම සභාගත කරනවා.

* ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පහසුකම ලැබීම තරුණ පරපුරට යහපත් අනාගතයක් ගොඩනැගීමට සහ රට නඟා සිටුවීමේ පියවරක්.

* මෙම ණය පහසුකම වසර 4ක් තුළ ආසන්න වශයෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 3ක් වන අතර පළමු වාරිකය ලෙස ඇමෙරිකානු ඩොලර් මිලියන 333ක් ලැබෙනවා.

* මීට අමතරව අනෙකුත් පාර්ශවවලින් ඩොලර් බිලියන 7ක පමණ කඩිනම් ණය ආධාරයක් රට අපේක්ෂා කරනවා.

* මෙමගින් අඩු පොලී ණය සඳහා අවස්ථා නිර්මාණය වනු ඇත, විදේශීය ආයෝජකයින්ගේ විශ්වාසය යළි ස්ථාපිත කර ශක්තිමත් නව ආර්ථිකයක් සඳහා පදනම සකසනවා.

* ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පහසුකම ලබා ගැනීමට ජනතාව සිදුකළ කැපවීම විශාල ශක්තියක් වූ බවත් රටේ ජනතාවට සිය කෘතඥතාව පළ කරනවා.

* අපි දැන් අලුත් ගමනක් ආරම්භ කරනවා. මෙම ක්‍රියාවලිය පුරාම අපට ආර්ථික ප්‍රතිසංස්කරණ රැසක් හඳුන්වා දීමට සිදුවනවා.

* එම ප්‍රතිසංස්කරණවලින් සමහරක් 2022 අතුරු අයවැය සහ 2023 සඳහා වන අයවැය හරහා දැනටමත් යෝජනා කර ක්‍රියාත්මක කර ඇති අතර අපි තවත් ප්‍රතිසංස්කරණ රාශියක් හඳුන්වා දෙන්නවා.

ජනපතිගෙන් අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අද (22) උදෑසන 9.30 ට පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතව තිබෙනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් අනුමත කරන ලද විස්තීරණ ණය පහසුකම පිළිබඳව ජනාධිපතිවරයා මෙම ප්‍රකාශය කිරීමට නියමිත බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

IMF සමඟ ඇති කරගත් එකඟතා ගිවිසුම අද පාර්ලිමේන්තුවට

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අද (22) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් අනුමත කරන ලද විස්තීරණ ණය පහසුකම පිළිබඳව එහිදී ජනාධිපතිවරයා දීර්ඝ වශයෙන් පැහැදිළි කිරීමට නියමිතයි.

එසේම එහිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කරගත් එකඟතා ගිවිසුමද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවයි ජනාධිපතිවරයා ඊයේ (21) සඳහන් කළේ.

වරප්‍රසාද කඩවීම සම්බන්ධයෙන් කාරක සභාවේ නිර්දේශ නීතිපතිවරයා වෙත යොමු කිරීමේ යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මත වෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහ පාර්ලිමේන්තු වරප්‍රසාද කඩවීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම හා සුදුසු නිර්දේශ ඉදිරිපත් කිරීමට පත්කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ නිර්දේශ නීතිපතිවරයා වෙත යොමු කිරීමේ යෝජනාව වැඩි ඡන්දයෙන් අද (21) පාර්ලිමේන්තුවේදී සම්මත වී තිබෙනවා.

මෙම යෝජනාව අද පාර්ලිමේන්තුවේදී ආණ්ඩු පක්ෂය විසින් සම්මත කිරීමට සූදානම් වූ අවස්ථාවේදී විපක්ෂය විසින් ඒ සඳහා ඡන්දයක් ඉල්ලා සිට තිබෙනවා.

එහිදී යෝජනාවට පක්ෂව ඡන්ද 75 ක් හා විපක්ෂව ලැබී තිබුණේ ඡන්ද 43 ක් වන අතර ඒ අනුව අදාළ යෝජනාව වැඩි ඡන්ද 32 කින් පාර්ලිමේන්තුවේදී සම්මත වී තිබෙනවා.

IMF සමඟ ඇති කරගත් එකඟතා ගිවිසුම හෙට පාර්ලිමේන්තුවට

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් අනුමත කරන ලද විස්තීරණ ණය පහසුකම පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් හෙට (22) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතව තිබෙනවා.

එහිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කරගත් එකඟතා ගිවිසුම හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ.

පාර්ලිමේන්තුව අද රැස්වෙයි

පාර්ලිමේන්තුව අද (21) සිට 24 වැනිදා දක්වා රැස්වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව පාර්ලිමේන්තුව අද පෙරවරු 9.30 ට ආරම්භවීමට නියමිත බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

නීති අධ්‍යාපන සභා ආඥා පනත යටතේ අංක 2208/13 දරණ ගැසට් පත්‍රයේ පළකර ඇති රීති විවාද කිරීමකින් තොරව අනුමත කරගැනීමට නියමිතව තිබෙනවා.

එසේම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ සහ පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කඩවීම සම්බන්ධව විමර්ශනය කිරීමට සහ ඒ සදහා සුදුසු නිර්දේශ ඉදිරිපත් කිරීම සදහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සදහා වන යෝජනා සම්මතය විවාදයට ගෙන අනුමැතිය ලබා ගැනීමට නියමිතව ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

මැතිවරණය සඳහා අවශ්‍ය මුදල් ලබාදීමට විපක්ෂය මුදල් අමාත්‍යංශ ලේකම්ට දින 7 ක් කල්දෙයි

දින 7 ක් ඇතුළත මැතිවරණය සඳහා අවශ්‍ය මුදල් ලබාදීමට මුදල් අමාත්‍යංශ ලේකම්වරයා කටයුතු නොකළහොත් ඔහුට එරෙහිව කටයුතු කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලීමක් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්. පීරිස් පවසනවා.

ඒ අනුව විපක්ෂයේ සියලු පක්ෂ එක්ව එම තීරණය ගත් බවයි අද (20) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්. පීරිස් සඳහන් කළේ.

විපක්ෂයේ සියලු පක්ෂ එක්ව ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝගය ක්‍රියාත්මක කරන ලෙස හා මුදල් අමාත්‍යංශ ලේකම්වරයා අධිකරණයට අපහාසයක් සිදුකළ බවට සලකා ඔහුට එරෙහිව පියවර ගන්නා ලෙසත් එහිදී ඉල්ලා සිටීමට බලාපොරොත්තු වන බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළා.

මුදල් ලේකම්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව සජබය දැනුම්දෙයි

මැතිවරණය සඳහා මුදල් ලබානොදීමෙන් මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා අධිකරණයට අපහාස කිරීමක් සිදුකර ඇති බැවින් ඔහුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර පවසනවා.

නීතිඥයෙකු මාර්ගයෙන් ලියාපදිංචි තැපෑලෙන් ලිපියක් යොමු කරමින් මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධනට මේ බව දැනුම් දී ඇති බවයි සඳහන් වන්නේ.

මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාස කර ව්‍යවස්ථාවේ 105 වන වගන්තිය යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් සිදුකර ඇති බැවින් අධිකරණයට අපහාස කිරීමට එරෙහිව නීතිමය පියවර ගන්නා බවයි අදාළ ලිපියේ වැඩිදුරටත් දක්වා තිබෙන්නේ.

පොහොට්ටුවේ ඡන්ද දායකයන්ව බය කරලා තියෙන්නේ – රෝහිත අබේගුණවර්ධන

ඡන්දයක් පැවැත්විය යුත්තේ ඡන්ද දායකයාට නිදහසේ ඡන්දය භාවිත කිරීමට අයිතිය තිබෙන අවස්ථාවක බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන පවසනවා.

නමුත් අද වනවිට නිවාස ගිනි තබා, මනූෂ්‍ය ඝාතනයන් සිදුකොට පොදුජන පෙරමුණේ ඡන්ද දායකයන්ව බියට පත්කර ඇති බවද, එසේ බියට පත් කිරීමෙන් ඡන්දය ලබාගත නොහැකි බවද ඔහු පෙන්වා දෙනවා.

සමහර පක්ෂ මෙම අවස්ථාව ප්‍රයෝජනයට ගෙන තැටිය රත්වූ අවස්ථාවේ රොටිය දමා ගැනීමට උත්සාහ කරන බව වැඩිදුරටත් පෙන්වා දෙනවා.