සමුළුවක් සඳහා මුදල් රාජ්‍ය අමාත්‍යවරයා වොෂින්ටන් වෙත යයි

ණය තිරසාරභාවය සහතික කිරීම සඳහා මෙන්ම ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීම සඳහා ලබා ඇති ප්‍රගතිය තවදුරටත් ඉහළ නැංවීම සඳහා ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර හවුල්කරුවන් සමග සහයෝගීතාව වැඩි දියුණු කිරීමට බලාපොරොත්තු වන බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පවසනවා.

ඒ අනුව හෙට (10) වොෂින්ටන් හිදී පැවැත්වීමට නියමිත 2023 Spring Meeting හිදී එයට කදිම අවස්ථාවක් හිමිවෙනු ඇති බවයි සිය Twitter ගිණුමේ සටහනක් තබමින් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

මෙම සමුළුව සඳහා රාජ්‍ය අමාත්‍යවරයාට අමතරව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ සහ භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධනද එක්වීමට නියමිතයි.

03c18d4517b352f5f23ced89a5d4f8d6

ප්‍රති ත්‍රස්ත පනත පාර්ලිමේන්තුව​ට ඉදිරිපත් කිරීම කල් යයි

ප්‍රති ත්‍රස්ත පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම කල් දමන බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ පවසනවා.

විපක්ෂයේ දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන ඇතුළු පාර්ශව කිහිපයකින් ඉදිරිපත් වූ ඉල්ලීම් සලකා බලා මෙම තීරණය ගත් බවත් පනත අධ්‍යනය කොට අවශ්‍ය නම් ශ්‍රේෂ්ඨාධිකරණයට යාමට සුදුසු ප්‍රමාණවත් කාලයක් ලබාදෙන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

අප්‍රේල් අවසන් සතියේ හෝ මැයි මුල සතියේ එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බවයි අධිකරණ අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත ගැන විපක්ෂයේ මන්ත්‍රීවරුන් අද විශේෂ සාකච්ඡාවක

ජනතාවගෙන් එල්ල වන විරෝධතා වැළැක්වීමේ අරමුණින් ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත ගෙන ඒමට ආණ්ඩුව උත්සහා දරමින් සිටින බව සමගි ජන බලවේගය පවසනවා.

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත එම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් අද (03) පස්වරුවේ විපක්ෂ නායක කාර්යාලයේදී විශේෂ රැස්වීමක් පවත්වන බවයි එහි මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර සඳහන් කළේ.

එහිදී මන්ත්‍රීවරුන්ගේ අදහස් විමසීමෙන් අනතුරුව ගතයුතු ඉදිරි පියවර සම්බන්ධයෙන් තීරණයට පැමිණෙන බවයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

පාඨලීගේ නායකත්වයෙන් මැයි මාසයේදී නව දේශපාලන පක්ෂයක්

මැයි මාසයේදී නව දේශපාලන පක්ෂයක් පිහිටුවීමට පියවර ගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසනවා.

“එක්සත් ජනරජ පෙරමුණ” ලෙස එම පක්ෂය නම් කර ඇති බවයි බදුල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.

කුසලතාවය මත පදනම් වුණ දේශපාලන ව්‍යාපාරයක් අවශ්‍ය බවත්, පවුල් උරුමයෙන් සිදුකරන දේශපාලනයට තිත තැබිය යුතු බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

නියමිත කාලය​ට ඡන්ද විමසීම පවත්වන්නේ නැති එක අපරාධයක් – මහින්ද දේශප්‍රිය

මොනයම් තත්ත්වයක් උඩ හෝ නියමිත කාලය තුළ ඡන්ද විමසීම නොපැවැත්වීම මහ අපරාධයක් බවත්, එය කනගාටුදායක තත්ත්වයක් බවත්, එවන් දේවල් රට තුළ සිදු නොවිය යුතු බව හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය පවසනවා.

මෙම ගැටලුව විසඳා ගැනීමේ හැකියාව ඇත්තේ මැතිවරණ කොමිෂන් සභාව, මුදල් අමාත්‍යංශය, මහ භාණ්ඩාගාරයට පමණක් බවත්, රටේ ජනතාවට නොවන බවයි ඔහු ‍අවධාරණය කරන්නේ.

ප්‍රජාතන්ත්‍රවාදයට රටේ ආර්ථික නිදහස, සංස්කෘතික නිදහස, ආගමික නිදහස, මූලික අයිතිවාසිකම්වල තිබෙන සියලු කරුණු ඇතුළත්ව ඇති බව පෙන්වා දෙන හිටපු කොමසාරිස්වරයා කියා සිටි‍යේ මැතිවරණයක් නොපැවැත්වීම තුළින් ප්‍රජාතන්ත්‍රවාදය නොමැති බවට පෙනී යන බවයි.

අගෝස්තු මාසයේ ලෝක තරුණ දිනයට පෙර හෝ සැප්තැම්බර් 15 ලෝක ප්‍රජාතන්ත්‍රවාදි දිනයට හෝ පළාත් පාලන මැතිවරණයක් පවත්වනු ඇති බවට තමා බලාපොරොත්තු වන බවත් හිටපු කොමසාරිස්වරයා වැඩිදුරටත් පවසා සිටියා.

2048 දී රට භාර ගැනීමට රටේ සිසු පරපුර නවීන තාක්‍ෂණ දැනුමෙන් සන්නද්ධ විය යුතුයි – ජනපති

රටේ සිසු පරපුර 2048 වන විට රට භාර ගැනීමට හැකිවන පරිදි නවීන තාක්‍ෂණයේ සියලු අංශ පිළිබඳ දැනුමෙන් සන්නද්ධ වී, තාක්ෂණයේ නවතම දියුණුවත් සමග යාවත්කාලීන වෙමින් අනාගතය සඳහා සූදානම් විය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය සමඟ වසර හතරකින් ආර්ථිකය ස්ථාවර කිරීමෙන් පසුව පැරණි ක්‍රමවේදයම අනුගමනය කරනවාද නැතිනම් අලුත් ක්‍රමවේදයක් ඔස්සේ දියුණු වන ලෝකයත් සමඟ ඉදිරියට යනවාද යන්න අප තීරණය කළ යුතු බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ.

කොළඹ ආනන්ද විද්‍යාලයේ 135 වැනි වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයට අද (29) පෙරවරුවේ එක් වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කළා.

මිල ස්ථායි කිරීමේ අරමුදල වහාම ආරම්භ කළ යුතුයි – හර්ෂ

මිල පහළට යනවිට පමණක් නොව ඉහළට යන විටද පාරිභෝගිකයාට සාධාරණයක් වීම සඳහා මිල ස්ථායි කිරීමේ අරමුදල වහාම ආරම්භ කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා පවසනවා.

අද (29) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ, යම් හේතුවක් නිසා ඉන්ධන මිල ඉහළ යන අවස්ථාවකදී එම අරමුදල හරහා රජයට ඒ සඳහා දායක විය හැකි බවයි.

ඕනෙම මැතිවරණයකට අපි ලෑස්තියි – මහින්ද රාජපක්​ෂ

එළඹෙන දෙසැම්බර් මාසයට පෙර මැතිවරණයක් පැවැත්වෙනු ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.

නාරාහේන්පිට අභයාරාමයේදී අද (27) මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේ, අවශ්‍ය මොහොතේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සියලු කණ්ඩායම් එක්වන බවයි.

කුමන ආකාරයක මැතිවරණයක් පැවතියද තම කණ්ඩායම ඒ සඳහා සූදානම් බවයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ වැඩිදුරටත් සඳහන් කළේ.

මැතිවරණය ගැන විමසීමට මැතිවරණ කොමිසම පාර්ලිමේන්තුවට කැඳවනවා – අගමැති

මැතිවරණය ගැන විමසීමට මැතිවරණ කොමිසම පාර්ලිමේන්තුවට කැඳවීමට බලාපොරොත්තු වන බව අගමැති දිනේෂ් ගුණවර්ධන පවසනවා.

විපක්ෂය යොමුකළ පැනයකට පිළිතුරු දෙමින් අගමැතිවරයා සඳහන් කළේ, ඉතා ඉක්මනින් මැතිවරණ කොමිසම කැඳවා මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරන බවයි.

විපක්ෂ මන්ත්‍රීවරුන් ඒකාබද්ධ ප්‍රකාශයකට අත්සන් තබයි

අධිකරණයේ ගෞරවය හා පෞරුෂය හෑල්ලුවට ලක්කිරීමේ ආණ්ඩුවේ ප්‍රයත්නයට එරෙහිව විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරු ඒකාබද්ධ ප්‍රකාශයකට අත්සන් තබා තිබෙනවා.

ඒ අනුව සමගි ජන බලවේගය, නිදහස් ජනතා සන්ධානය, ජාතික ජන බලවේගය හා දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් මේ සඳහා අත්සන් තබා ඇති බවයි සඳහන් වන්නේ.

නීතියේ ආධිපත්‍යය හා අධිකරණයේ ස්වාධීනත්වය සම්බන්ධයෙන් ඉතිහාසයේ පෙර නොවූ විරූ අර්බුදයකට මේ වනවිටත් රට මුහුණදී සිටින බවත් එවැනි තත්ත්වයකට එරෙහිව ඒකාබද්ධ වැඩපිළිවෙළක් අවශ්‍ය බවයි එම ඒකාබද්ධ ප්‍රකාශය මඟින් සඳහන් කර තිබෙන්නේ.