ලබන සතියේ පාර්ලිමේන්තුව රැස්වීමට දින නියම වෙයි

ශ්‍රී ලංකාව සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ අරමුදල් පහසුකම යටතේ වූ එකඟතා සම්මත කරගැනීම සඳහා වූ පාලිමේන්තු විවාදයට දින නියම කර තිබෙනවා.

ඒ අනුව අප්‍රේල් මස 26, 27 සහ 28 යන දින තුන තුළ විවාදය පැවැත්වීමට අද (20) පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය කර තිබෙනවා.

එසේම පාර්ලිමේන්තුව ලබන 25 වනදා සිට 28 වනදා දක්වා රැස්වන බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමක් අද

පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමක් අද (20) කතානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ලබන 25 වැනිදායින් ආරම්භ වන පාර්ලිමේන්තු සතියේ කටයුතු ඇතුළු කරුණු කිහිපයක් මෙහිදී සාකච්ඡාවට ලක් කිරීමට නියමිත බවයි සඳහන් වන්නේ.

එසේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇතිකරගත් එකඟතා සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදය එළඹෙන 26 සහ 27 දිනවලදී පැවැත්වීමටද නියමිතව තිබෙනවා.

අප්‍රේල් 25 මැතිවරණය නොපැවැත්වෙන බවට ගැසට් නිවේදනයක්

අප්‍රේල් 25 දිනට නියමිත පරිදි පළාත් පාලන මැතිවරණය පැවැත්විය නොහැකි බවට තේරීම්භාර නිලධාරීන් විසින් ගැසට් නිවේදන නිකුත් කර තිබෙනවා.

භාණ්ඩාගාරයෙන් මුදල් මුදා හැරීමෙන් පසු හෝ ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවේ තීන්දුවක් දුන් පසුව නව දිනයක් ප්‍රකාශයට පත් කරන බවයි අදාළ ගැසට් නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

20 වනදා පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීමක්

පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමක් එළඹෙන 20 වනදා පැවැත්වීමට නියමිතව ඇති බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව එදින පෙරවරු 11ට කතානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම පැවැත්වෙන බවයි සඳහන් වන්නේ.

මෙම රැස්වීමට සහභාගීවන ලෙස සියලු පක්ෂ නායකයන්ට දැනුම් දී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

IMF වැඩසටහන පාර්ලිමේන්තුවේදී 25 වනදා විවාදයට

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ අරමුදල් පහසුකම පිළිබඳ වැඩසටහන පාර්ලිමේන්තුවේදී අප්‍රේල් 25 වනදා සිට විවාදයට ගැනීමට නියමිත බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක පවසනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ අරමුදල් පහසුකම (IMF/EFF) පිළිබඳ වැඩසටහන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති බවද එහිදී ඔහු සඳහන් කළා.

එහිදී දේශපාලන පක්ෂ තම රටට සහය දෙනවාද නැද්ද යන්න තීරණය කිරීමට අවස්ථාව සැලසෙන බවයි විදේශ තානාපතිවරු සහ මහ කොමසාරිස්වරු දැනුවත් කිරීමට පැවති හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ.

පළාත් පාලන මැතිවරණය නැවතත් කල් යයි

අප්‍රේල් 25 වනදා පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන මැතිවරණය දෙවන වතාවටද කල් දැමීමට සිදුවන බව මැතිවරණ කොමිසම පවසනවා.

ඒ අනුව මේ වන විට අධිකරණයේ විභාගය වන නඩුවේ තීන්දුව මත හෝ මුදල් ප්‍රතිපාදන ලබා ගැනීමේ නිශ්චිත දිනයක් තහවුරුවීමෙන් අනතුරුව මැතිවරණ දිනයක් තීරණය කරන බවයි මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කරන්නේ.

අදාළ නිවේදනය පහතින්,

c448546165d59089cfe602825d36a4cc

සීමානිර්ණ වාර්තාව අද අගමැතිට භාරදෙයි

නව සීමානිර්ණ වාර්තාව අද (11) අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන වෙත භාරදිමට නියමිත බව අග්‍රමාත්‍ය කාර්යාලය පවසනවා.

ඒ අනුව සීමානිර්ණ කමිටුවේ සභාපති මහින්ද දේශප්‍රිය විසින් අදාළ වාර්තාව භාරදීමට නියමිතයි.

මැතිවරණ කොමිසම අද රැස්වෙයි

මැතිවරණ කොමිෂන් සභාව අද (11) රැස්වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සමඟ ඊයේ (10) පැවති සාකච්ඡාවේදී සඳහන් කළ කරුණු පිළිබඳව අද දිනයේ අවධානය යොමු කිරීමට නියමිතයි.

ඉන් පසු පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් ඉදිරි කටයුතු තීරණය කිරීමට නියමිත බවයි මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කළේ.

අප්‍රේල් 25 මැතිවරණය පැවැත්වෙන එකක් නැහැ – ජානක වක්කුඹුර

පළාත් පාලන මැතිවරණය එළැඹෙන 25 වනදාද නොපැවැත්වෙනු ඇති බව පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර පවසනවා.

අග්‍රාමාත්‍යවරයා සහ මැතිවරණ කොමිසම අතර පැවති විශේෂ හමුවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, මැතිවරණ කොමිසම ඉදිරියේදී මුදල් අමාත්‍යාංශය සමඟ වෙනම සාකච්ඡාවක් පවත්වනු ඇති බවයි.

අප්‍රේල් මස 25 වනදා දක්වාත් ඉන් අනතුරුවත් මැතිවරණයට ඉදිරිපත් වූ රාජ්‍ය සේවකයින්ගේ වැටුප් ගෙවන ආකාරය සාකච්ඡා කළ බවත්, ඒ සඳහා මැතිවරණ කොමිසමෙන් නිර්දේශයක් එවීමට කටයුතු කරන බවට මැතිවරණ කොමිසමේ නිලධාරීන් එහිදී සඳහන් කළ බවයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

මැතිවරණ කොමිසම හෙට රැස්වෙයි

මැතිවරණ කොමිෂන් සභාව හෙට (11) රැස්වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සමඟ අද (10) පැවැත්වෙන සාකච්ඡාවේදී අවධානය යොමු කරන කරුණු සම්බන්ධයෙන් හෙට අවධානය යොමු කිරීමට නියමිතයි.

එහිදී පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් ඉදිරි කටයුතු තීරණය කිරිමට නියමිතව ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.